Sunday, December 23, 2018

වුල්වන්ඩාල් (Wolvendaal) පල්ලිය

වුල්වන්ඩාල් (Wolvendaal) පල්ලිය

J. L. K. වෑන් ඩෝට් විසින් 1888 දී අඳින ලද වුල්වන්ඩාල් පල්ලියේ සිතුවමක්. රූපය : everipedia.com
වැඩි දෙනෙක් වරක් දැක්කොත් ආපහු හැරී බලන ආකර්ෂණීය ගොඩනැගිල්ලක් නොවුණත් වුල්වන්ඩාල් පල්ලිය ඇත්තටම කොළඹ තියෙන වැදගත් ස්ථානයක්. පිටකොටුවේ වුල්වන්ඩාල් වීදියේ පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල අයිති වෙන්නේ ඩොරික් ගෘහ නිර්මාණ කලාවටයි. මේකේ බිත්ති බොහොමයක් අඩි පහක් විතර පළලට ඉතාම ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා.
ඒ වන විට ලංකාව භාරව සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා වුණු “ගුස්ටාව් විලෙම් වෑන් ඉම්හෝෆ්”ට (Gustaaf Willem van Imhoff) තමයි මේ ස්ථානයේ අලුතින් පල්ලියක් හදන්න මුලින්ම උවමනා වුණේ. ඒ ස්ථානයේ පිහිටා තිබුණු පැරණි පල්ලිය ඉවත් කරලා අලුත් පල්ලියක් ඉදි කරන්න ඔහු ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමෙන් (Dutch East India Company එකෙන්) අවසර ඉල්ලා සිටියා. නමුත් ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ නැහැ.
නමුත් 1743දී ලංකාවට අලුතෙන් පත් වෙලා ආපු “ජුලියස් වැලෙන්ටයින් ස්ටේන් වෑන් ගොලෙනේසේ” (Julius Valentyn Stein Van Gollenesse) කියන ආණ්ඩුකාරවරයා ඒ සඳහා අවසර ලබා ගන්න සමත් වුණා. ඔහුගේ අදහස වුණේ නගර ප්‍රදේශයෙන් එපිට තිබුණු වගුරු බිම් ප්‍රදේශයේ පල්ලිය ඉදි කරන්නයි. මේ පැත්තේ ඒ කාලයේ බහුලව නරියන් ගැවසිලා තියෙනවා. නරින්ව වෘකයන් විදිහට වරදවා හඳුනා ගත්තු නිසා යුරෝපීයයන් ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ වුල්වන්ඩාල් (Wolvendaal) නැතිනම් වෘක පළාත කියලයි. එහි ඉදිවුණු පල්ලියටත් වුල්වන්ඩාල් පල්ලිය කියලා නම් ලැබුණා.
වුල්වන්ඩාල් පල්ලිය අද පෙනෙන ආකාරය. රූපය : sundayobserver.lk
17 – 18 වැනි සියවස් වලට අයත් මේස, බංකු ඇතුළු ලී භාණ්ඩ තවමත් මේ පල්ලිය ඇතුලේ සුරැකිව තියෙනවා. 1620 ඉඳලා 1936 වෙන තුරුම මේ පල්ලියේදී ලියාපදිංචි කෙරුණු විවාහයන් සහ බෞතීස්ම කිරීම් වල වාර්තා මෙහි ලේඛනාගාරයේ අදටත් දැක ගන්න පුළුවන්. තවමත් දේව මෙහෙයන් පැවැත්වෙන මේ පල්ලියේ ලිපි ලේඛන නෙදර්ලන්ත රාජකීය තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ අදටත් සංරක්ෂණය කෙරෙනවා.
පල්ලියේ යාඥා කටයුතු සඳහා භාවිත වන දිග බංකු. (pews) රූපය : රචකයාගෙනි.
වුල්වන්ඩාල් පල්ලියට යන ඕනෑම කෙනෙක්ට දැනෙන්නේ පුදුමයක් වගේම සන්සුන් බවක්. මේ ස්ථානයේ තියෙන ඓතිහාසික බව ඇඟටම දැනෙනනවා. ඔබ සිටගෙන ඉන්න බිමට යටින් තියෙන්නේ වසර සිය ගණනක් පැරණි සොහොන් නිසා මෙතන ඉන්න එක හරිද කියලත් හිතෙන්න පුළුවන්.
මේ පල්ලිය පිටින් බැලුවාම තරමක ජරාජීර්ණ බවක් පේනවා වගේම ඇතුළත තියෙන්නෙත් පාළු බවක්. කොහොම වුණත් මෙතන අතහැරලා දාපු තැනක් නම් නෙවෙයි. හැම සතියකදීම ඉරිදා දේව මෙහෙය මෙහි පැවැත්වෙනවා. මෙතන බලා කියා ගන්න පැවරිලා තියෙන උදවියත් නිතරම ගැවසෙනවා දැක ගන්න පුළුවන්. අතීතයේ මිය ගිහින් මෙතැන වල දමාපු ලන්දේසි ජාතිකයන් තැනින් තැන ඉඳගෙන ඔබ දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමකුත් දැනෙනනවා.
ඉතින් ඉතිහාසය ගැන අදහසක් ගන්න යන්න මේ වුල්වන්ඩාල් පල්ලිය බොහොම හොඳ තැනක්.

No comments:

Post a Comment