Sunday, December 23, 2018

කොළඹ ලන්දේසි කෞතුකාගාරය

කොළඹ ලන්දේසි කෞතුකාගාරය

ලන්දේසි කෞතුකාගාරයේ ඉහළ මාලය එහි මැද මිදුලේ සිට පෙනෙන අයුරු. රූපය : රචකයාගෙනි
පිටකොටුවේ කුමාර වීදියේ, නැතිනම් ප්‍රින්ස් වීදියේ පිහිටා තිබෙන කෞතුකාගාරයේ ගොඩනැගිල්ල ඉදි කෙරුණේ කොළඹ ප්‍රදේශය ලන්දේසි පාලනය යටතේ තියෙන කාලයේදීයි. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වුණු තෝමස් වෑන් රී (Thomas van Rhee)ගේ උපදෙස් අනුව 1692-1697 කාලයේදී මෙය ඉදි කළ බවට සැලකෙනවා.
පසුකාලීනව බ්‍රිතාන්‍ය පාලනය යටතේ මේ ගොඩනැගිල්ල විවිධාකාර අවශ්‍යතාවන් ගණනාවක් සඳහා යොදා ගැනුණා. වරෙක ආයුධ ගබඩාවක් විදිහටත්, පසුව යුධ හමුදා රෝහලක් විදිහටත්, ඉන් පස්සේ සන්නිවේදන කටයුතු සඳහාත් මේ ගොඩනැගිල්ල යොදා ගැනුණු බව වාර්තා වල සඳහන් වෙනවා.
1696-1796 අතර ශත වර්ෂයක තරම් කාලයක් පුරාවට ගුරුවරුන් සඳහා පුහුණු විද්‍යාලයක් විදිහටත් මේ ස්ථානය භාවිතයට ගෙන තියෙනවා. ඊට අමතරව ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන යන අනාථ කඳවුරක් විදිහටත්, 1900 දී පොලිස් පුහුණු පාසලක් විදිහටත්, 1932දී පිටකොටුව තැපැල් කාර්යාලය සඳහාත් ලන්දේසි කෞතුකාගාර ගොඩනැගිල්ල භාවිතයට ගැනුණා.
ලන්දේසි කෞතුකාගාරයේ තිබෙන මේ පොකුරු පහන (chandelier) පිටුපසින් විවිධ ස්ථාන වල නම් සඳහන් පුවරු පිරුණු බිත්තියක් දැක ගන්න පුළුවන්. රූපය : රචකයාගෙනි
අතීතයේ ඉඳලා විවිධ දේවල් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනුණු මේ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත් කෙරුණේ 1973 අවුරුද්දේදියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකාවේ නෙදර්ලන්ත ආදී පුරවැසි සංගමය (Netherlands Alumni Association of Lanka) කියන ආයතන වල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් තමයි මේ තීරණයට එළඹුණේ. ලන්දේසි සමයේ වටිනා කෞතුක භාණ්ඩ ගණනාවක් එක්ක මේ ස්ථානය 1982දී මහජනයා වෙත විවෘත වුණා.
ලන්දේසි කෞතුකාගාරයේ සොහොන් කොත් සඳහාම වෙන් කෙරුණු කාමරයක් තිබෙනවා. අතීතයේ මියගිය ලන්දේසි ජාතිකයන්ගේ සොහොන් ගල් මෙහි දැකගන්න පුළුවන්. රූපය : රචකයාගෙනි
කොළඹ ලන්දේසි කෞතුකාගාරය දැන් සංචාරකයන් ඒ තරම් ගැවසෙන්නේ නැති තැනක් කිව්වොත් වරදක් නැහැ. දේශීය සංචාරකයන්ට ටිකට් එකක මිල රුපියල් 20ක් වුණත් විදේශිකයන්ගෙන් ඒ සඳහා රුපියල් 500ක් අය කෙරෙනවා. මීට අමතරව ඇතුලත ඡායාරූප ගන්න කැමති නම් ඒ සඳහාත් රුපියල් 250ක් ගෙවා කැමරා අවසරපතක් ලබා ගන්න අවශ්‍යයි.
ඇතුළත තියෙන කෞතුක භාණ්ඩ ගැන විස්තර සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත් සඳහන් කරලා තියෙනවා. ඇතුලත කාමරයක අල්මාරියක තැන්පත් කරපු ලන්දේසි යුවලකගේ පිළිරුවකුත් දැක ගන්න පුළුවන්. ගොඩනැගිල්ලේ මැද මිදුලට ගියාම අවට ප්‍රදේශය පැහැදිලිව දැක ගන්න ලැබෙනවා. එතන ඉඳලා බැලුවාම වටපිටාව පෙනෙන්නේ වංකගිරියක් වගේ.
පැරණි ලන්දේසි කෞතුකාගාරය ඇතුලේ නිතරම දැනෙන්නේ තරමක බියසුළු බවක්. තවමත් පැරණි දූවිලි සුවඳ වරින් වර දැනෙනනවා. මේ ස්ථානය මොන තරම් පැරණිද කියලා හිතුවාම වෙලාවකට පුදුමත් හිතෙනවා.

No comments:

Post a Comment