Saturday, January 23, 2021

සුද්දටවත් ගලවන්න බැරිවුණු පිටකොටුවේ බෝධිය

 සුද්දටවත් ගලවන්න බැරිවුණු පිටකොටුවේ බෝධිය

======================================
පිටකොටුව යනු කොළඹ හදවතය. එය අද අලුත් කතාවක් නොවේ. කොළඹ යැයි කී සැණින් අපට අදත් සිහිවන්නේ පිටකොටුවය. සැබෑවටම අද කොළඹ නඟරයේ අතිශයින්ම ජනාකීර්ණ ස්ථානයක් ලෙස මෙම පිටකොටුව හැඳින්විය හැකිය. අතීතයේ අප රටේ මිනිසුන් උද්ඝෝෂණ මෙන්ම සත්යග්රහ ආදිය පැවැත්වූයේ පිටකොටුවේය.
මේ අතර පිටකොටුව කියූ සැණින්ම අපට සිහිවෙන එක් දෙයක් තිබේ. ඒ අතීතය තුළත් වර්තමානය තුළත් බොහෝ දුරට අනාගතය තුළත් මේ පිටකොටුවේ සලකුණ වෙන ඉපැරණි බෝ ගසය. කියවන ඔබ නොදන්නවාට එම බෝ ගසට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.
එදා ඕලන්ද යුගය ආරම්භ වෙන්නට ප්රථම කොළඹ නගරය තුළ තිබුණු විශාලතම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. වර්තමානයේ “වුල්ෆැන්ඩර් දේවස්ථානය” ඇත්තේ එතැනය. කෙසේ හෝ එකල එය “කොළඹ මහා විහාරය” නමින් ප්රසිද්ධව තිබී ඇත. අතීතයේ සංඝමිත්තා තෙරණිය ජය ශ්රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක් පැනනැඟී තිබේ.
පසුව එයින්ද තවත් අංකුර තිස් දෙකක් හටගෙන තිබේ. එදා එයින් එක් බෝධියක් ඉහතින් කී ආදුරුප්පුවීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරය තුළ රෝපණය කර ඇති බව සඳහන්ය. කාලයත් සමඟ ඕලන්ද ජාතිකයෝ ඒ විහාරය විනාශ කර ඔවුන්ගේ දෙව් මැඳුරක් වූ “වුල්ෆැන්ඩර් දේවස්ථානය” එතැන ඉදිකර ඇත. අද පිටකොටුවේ ඇත්තේ ඒ විනාශ කළ විහාරයේ වූ දෙතිස්ඵල බෝධියෙන් ආ පැළයකි.
ඕලන්දයන් මෙරට පාලනය කළ සමයේ එවකට කොළඹ ප්රවාහනය සිදුව ඇත්තේ කරත්ත හා රික්ෂෝ මඟිනි. එකල බස් ලොරි තිබී නැත. එකල එම කරත්ත සහ රික්ෂෝකරුවන්ගේ නවාතැන්පොළ වූයේ බේරේ වැව අසල ස්ථානයකි. එදා ඕලන්දයන් ආදුරුප්පුවීදිය මහා විහාරය විනාශ කිරීමත් සමඟම ඔවුන් ගොස් විහාරයේ තිබූ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ එක් පැළයක් ගෙනවිත් බේරේ වැව අයිනේ රෝපණය කර තිබේ. මුල් කාලයේ සිටම ඔවුන් ඊට වැඳුම්පිදුම් පවා කළ බව සඳහන් වෙයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්රික්කයේ පිටකොටුවේ පිහිටි කොළඹ නගරයේ හදවත බඳු බෝ ගසේ උත්පත්ති කතාව එසේය. අද කිසි සෙවණක් නැති කොන්ක්රීට් නගරයක් වූ කොළඹ නගරයේ පිටකොටුවේ බෝ ගසේ වටිනාකමද මිල කළ නොහැකිය. ඒ පිටකොටුවට සෙවණ දෙන එකම ගස එය නිසාය. එනිසා අද එහි වටිනාකම ඉහළය.
ලන්දේසි හෙවත් ඕලන්ද යුගයෙන් පසුව මෙරටට ඉංග්රීසි පාලනය ආ අතර එහිදී ඔවුන්ට කොළඹ විශාල කිරීමට අවශ්ය විය. ඒ සඳහා ඔවුන් බේරේ වැවේ එක් කොටසක් මුහුදු වැලි පුරවා ගොඩ කළ අතර එයින් නොනැවතී කොටුව දුම්රිය ස්ථානයත් මැනිං මාර්කට් එකත් සෑදීම සඳහා බේරේ වැවේ තවත් කොටසක් හා කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා තිබුණු ඇළ මාර්ගයද ගොඩකර තිබේ. එනිසා කරත්තකරුවන්ට සහ රික්ෂෝකරුවන්ට බේරේ වැව ආසන්නයේ සෑදූ බෝ ගස එතැනින් ඉවත්කර ගැනීමට සිදුව තිබේ. ඉන් පසුව එතැනින් ඉවත් කරන බෝ ගස අද පිටකොටුවේ බෝ ගස ඇති ස්ථානයේ රෝපණය කරයි.
එතැන් පටන් මෙය නිකන්ම බෝ ගසක් නොව බෝධියක් බවට පත්වෙයි. ඒ මිනිසුන් ඊට වැඳුම්පිදුම් කරන්නට පටන් ගත් නිසාය. එම පුරුද්ද උඩ අදත් අප පිටකොටුවේ ඒ බෝ ගස හඳුන්වන්නේ බෝධිය යනුවෙනි.
එදා කාලයත් සමඟ පිටකොටුවේ මෙම බෝධීන් වහන්සේ තරමක් විශාල වූ අතර කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ පෙරටත් වඩා ඊට මල් පහන් පුදා වැඳුම්පිදුම් කරන්නට විය. එදා මෙය ඉංග්රීසි පාලකයින් වෙත තේරුම් ගැනීමට නොහැකි වූ අතර පසුව ඔවුන් සිංහල මිනිසුන් බෝ ගසකට වැඳුම්පිදුම් කිරීමට එන හේතුව සොයන්නට විය. එහිදී ඉංග්රීසීන්ට දැනගන්නට ලැබෙන්නේ එය බෞද්ධ පුද සිරිතක් බවයි. පසුව එය නැති කිරීමට ඔවුන්ට අවශ්ය වී බෝධිය කපා දැමීමට ඔවුන් තීරණය කර ඇත.
එකල අපේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වාසය කර ඇත්තේ කොළඹ ඩයස් පෙදෙසේ දැනට බෝධිරුක්ඛාරාම විහාරය අද පිහිටි ස්ථානයේය. මෙම සිදුවීම වෙන විට උන්වහන්සේ 26 හැවිරිදි තරුණයෙකි. එම නිසා උන්වහන්සේ කරන්නේ පිටකොටුවේ බෝධිය කැපීමට ඉංග්රීසින්ට ඉඩක් ලබා නොදීමයි. එවකට උන්වහන්සේ කියා සිටින්නේ තමන් වහන්සේගේ ජීවිතය ගියත් එසේ බෝධියක් කැපීමට ඉංග්රීසින්ට ඉඩ නොදෙන බවයි.
වර්ෂ 1938 දී නැවත වරක් ඉංග්රීසි රජය විසින් මෙම පිටකොටුවේ බෝධිය කැපීමට උත්සාහ ගෙන තිබේ. එහිදී ඊට විරුද්ධ වී තිබෙන්නේ ඊට වැඳුම්පිදුම් කරනා මිනිසුන්ය. මෙම බෝධිය කැපීමට බොහෝ විරුද්ධ වී ඇත්තේ එකල සිටි දෙමළ ව්යාපාරිකයෙකි. ඔහු කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ සමඟ පැමිණ බෝධිය කැපීමට ඉඩක් ලබා දී නැත. එම දෙමළ ව්යාපාරිකයාගේ නම ටී.සින්නදුරේය.
එයින්ම අද මිනිසුන්ට නැති එදා ජීවත් වූ මිනිසුන්ගේ තිබූ ගුණ ධර්මයක් ඉස්මතු වෙයි. ජාති භේද ප්රශ්න ඔළුවේ තියන් ඉන්නා අපට මෙම කතාව කදිම ආදර්ශයකි. මේ අතර ඔහු බෝධිය ඉදිරිපිට කුඩා ගෘහයක් සාදා අඩි දෙකක් පමණ උස කිරිගරුඬ බුද්ධ ප්රතිමාවක්ද එහි තැන්පත් කළ බව සඳහන්ය. ඒ අසලින් පිං කැටයක්ද තබා ඇත. එම පිංකැටයට එදා මිනිසුන් මුදල්වලට අමතරව පිටරට මුදල් නෝට්ටු මෙන්ම වටිනා ආභරණද දමා ඇති බව අදටත් ප්රසිද්ධ රහසකි.
එදා බෝධීන් වහන්සේ යනු කරත්තකරුවන්ගේ නවාතැන්පොළ වූ නිසා එය වර්ෂාවට මඩ වගුරක් වී තිබේ. පසුව එය අසල ගොනුන් බැඳීම නතර කෙරුණි. ඊට දායක වූයේද මුලින් කී දෙමළ ව්යාපාරිකයාය. මුල් කාලයේදී පිටකොටුව බෝධියේ කටයුතු කර ඇත්තේ “වීර සමාජය” නැමැති සංවිධානයක් මඟිනි. පසුව එය “පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය” නමින් නම වෙනස් කරගෙන තිබේ. එවකට එහි ලේකම් විලියම් සිල්වා වූ අතර භාණ්ඩාගාරික වූයේ ටී.සින්නදුරේය. ඒ අර දෙමළ ව්යාපාරිකයාය. මේ අතර කාලයත් සමඟ පිටකොටුවේ බෝධිය සංවර්ධන වූ අතර පසුව එහි තිබූ කිරිගරුඬ බුද්ධ ප්රතිමාව වෙනුවට විශාල වෙන බුද්ධ ප්රතිමාවක් එහි තැන්පත් කෙරුණි.
අදත් කොළඹ ගිය විට අපට දකින්නට ලැබෙන පිටකොටුවේ මෙම බෝධියේ කතාව එසේය. එමෙන්ම 1987 අප්රේල් මස 21 වැනිදා පිටකොටුවේ පුපුරා ගිය බෝම්බයේ නිහඬ සාක්ෂිකරුවා වන්නේද මෙම බෝධියයි.




රුවන් එස්. සෙනවිරත්න
(උපුටාගැනීමකි)

ටෙක්නිකල් හංදිය

 ටෙක්නිකල් හංදිය

==============
පිත්තල හංදිය, බෙලෙක්කඩේ හංදිය, ගම්සභා හංදිය, ටෙක්නිකල් හංදිය වගේ විවිධ හේතු නිසා රටපුරා ප්රසිද්ධ උන හංදි තිබුනත් හංදියක් කියපු ගමන් කොයි කගෙත් ඔළුවට එන්නෙ කොත්තු ගහන ටකරන් සද්දෙ විහිදෙන සයිවර් කඩ පේලියක් සහිත ත්රීරෝද රථ නැවතුම්පලක් තියෙන ඇඟපුරාම පච්ච කොටපු බාච්චු කලිසම් ඇඳපු චන්ඩි මදාවි අයියලා එකතු වෙන තැන් හැටියට.
කොළඹ පිටකොටුව බස් නැවතුම් පල පහුකරලා මරදාන පැත්තට එනකොට හමුවෙන මරදාන මරියකඩේ ප්රදේශයත් අදත් මේ වගේ ලක්ෂණ ටිකක් උරුම කරගත්ත තැනක්. බොහොම ඈත අතීතයෙ මේ ප්රදේශය මංපහරන්නන්ගෙ රජ දහනක් වෙලා තිබුනා කියලා කතාවකුත් තියෙනවා. හංදි ලක්ෂණ වගේම ගමට යෙදිලා තිබුන මරදාන කියන නම නිසාත් මේ ප්රදේශය පිලිබඳ කාගෙවත් හිත්වල යහපත් ආකල්පයක් තිබුනෙ නෑ. ඒ වගේම මරදානට එන කෙනෙකුට හැදෙනවට වඩා වැනසෙන්න ඕන තරම් අවස්ථා තිබුනා. මේ නිසාම ආනන්දෙන් ප්රඥාවට යන අය වගේම ආනන්දෙන් මරදානට යන අයත් ඉන්නවා කියන කතාව සමාජ ගත වෙන්න ඇති. ආනන්දෙ පිහිටලා තියෙන්නෙත් මරදානෙ.
මරදානෙ කතාව ඔය වගේ උනත් 1893 වසරෙදි මරදාන ලංකා රජයේ දුම්රියමාර්ග ගොඩනැගිල්ලට නුදුරින් පිහිටි අලුත්වැඩියා කරනලද කෝපි ගබඩා ගොඩනැගිල්ලක ආරම්භ වුනු සිලොන් ටෙක්නිකල් කොලේජ් එහෙම නැත්තම් රජයේ කාර්මික පාසල නිසා මේ හංදිය ටෙක්නිකල් හංදිය බවට පත්වෙනවා. අද වෙනකොට මරදාන ටෙක්නිකල් හංදිය කිව්වම නොදන්න කෙනෙක් නැතිතරම්. බස්වල කොන්දොස්තර මහත්තුරුත් කියන්නෙ “ටෙක්නිකල්” බහින්න කියලා. මරදානෙ ආරම්භ වුනු කාර්මික විදුහල මේ විදියට ජනතාවගේ හදවත් තුලට එකතුවෙනවා.
කුඩා කර්මාන්ත ශාලාවකින් පර්යේෂනාගාරයකින් දේශන ශාලාවක් හා කුඩා පන්ති කාමරයකින් යුක්තව සිසුන් විසිපස් දෙනෙකුගෙන් ආරම්භ වුනු කාර්මික විදුහල ලාංකිය අධ්යාපන ක්ෂේත්රයේ විශිෂ්ට පෙරලියක් කරන්න සමත්වෙනවා. රජයේ දෙපාර්තමේන්තු වලට අවශ්ය කාර්මික ශිල්පීන් ඉංජිනේරුවන් බිහිකරන්න මේ කාර්මික විද්යලය ආරම්භ කරත් විද්යාව, කලාව, වාණිජ්ය, වෛද්ය විද්යාව වගේ විෂයන් ලංකාවේ අධ්යාපන ධාරාවට එකතු කරන්නෙත් මේ කාර්මික විද්යාලය මගින්ම තමයි.
ශ්රි ලංකා වෛද්ය විද්යලය ආරම්භ වුන මුල්කාලයෙත් වෛද්ය සිසුන් සඳහා රසායන විද්යාව, භෞතික විද්යාව, ජීව විද්යාව හා සාමාන්ය විද්යාවද සමග පන්ති පැවැත් උනෙත් මේ කාර්මික විද්යාලයේදි. පසුව වෛද්ය විද්යාලය වෙනමම ආයතනයක් බවට පත්වෙලා වෙන් වෙනවා. මෙහි පාසල් ගුරුවරුන් සඳහා විද්යා පාඨමාලාද ආරම්භ වෙනවා. මෙතනින් ඉගෙන ගත්ත ගුරුවරු තමයි පොදු අධ්යාපන ක්රමය තුල විද්යාව ඉගැන්වීමේ පුරෝගාමී ගුරුවරු වෙන්නෙ. ගුරුවිද්යාල ආරම්භ වී ගුරු පාඨමාලා ඇරඹීමත් එක්ක විද්යා ගුරු අධ්යාපනය ගුරුවිද්යාල වල කාර්යක් බවට පත්වෙනවා.
1906 වන විට රජයේ කාර්මික විදුහල කියන නම ලංකා කාර්මික විද්යාලය කියලා වෙනස් වෙනවා. මේකාලය වනවිට සිවිල් ,විදුලි කාර්මික, යාන්ත්රික ඉන්ජිනේරු පාඨමාලාවන් වගේම විදුලි පනිවුඩ සේවා ,භෞතික විද්යා ,රසායන විද්යා පාඨමාලාවන් ආරම්භවෙනවා. 1908 විතර වෙනකොට විද්යා පාඨමාලාවන් වගේම කළමනාකරන හා ව්යාපාර අධ්යන පාඨමාලාවනුත් ආරම්භවෙනවා. වෘත්තීය මට්ටමේ ගණකාධිකරණය සඳහා සන්ද්යා පාඨමාලා 1943 දී ඇරඹෙන අතර, උපාධි මට්ටමේ වානිජ විද්යා පූර්ණ කාලීන පාඨමාලාව ආරම්භ වෙන්නෙ 1946 දි. 1951 දී තක්සේරුකරනය පිළිබඳ වෘත්තීයමය පාඨමාලාවක්ද ආරම්භ වෙලා තියෙනවා. මීට අමතරව බ්රිතාන්යයේ වෘත්තීය ආයතනයන්හි ලේකම්වෘත්තීය, ගමනාගමනය සහ බැංකු වෘත්තීය අංශයන්හි බාහිර විභාග සඳහා ද පාඨමාලාවන් ආරම්භ වෙනවා. ගණකාධිකරණය, අලෙවිකරණය සහ ලඝුලේබණ විද්යාව පිළිබඳ පාඨමාලාද ආරම්භ වීම නිසා මේ කාලයෙ ලංකාවෙ තිබුන ප්රමුඛතම අධ්යාපන ආයතනය වෙන්නෙත් මේ කාර්මික විද්යාලය. පසුකාලීනව ගණකාධිකරනය බැංකු වගේ ක්ෂේත්ර වලට වෘත්තීය ආයතන ආරම්භ වෙලා පාඨමාලා පටන්ගත්තත් අදටත් කාර්මික විද්යාලයේ ගණකාධිකරන පාඨමාලා වලට හිමිවෙන්නෙ ඉහලම ස්ථානයක්.
1921 ලංකා විශ්ව විද්යාලයෙ විද්යා අධ්යාපන අංශය වෙන්නෙත් කාර්මික විද්යාලයෙ පිහිටලා තිබුනු විද්යා අංශය.1933 වෙනවිට ලංකා ලංකා කාර්මික විද්යාලය ප්රතිසංවිධානය වෙලා ලන්ඩන් විශ්වවිද්යාලයෙ ඉංජිනේරු විද්යාව සඳහා සිසුන් යොමුකිරීම ආරම්භ වෙනවා. 1950 ලංකා විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ වෙනතුරුම මේ විදියට ලන්ඩන් විශ්ව විද්යාලය සඳහා සිසුන් යොමුකරන්නෙ මරදාන කාර්මික විද්යාලය. ලංකා විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ වෙලත් 1952 -1960 අතර කාලයෙදි එම පීඨය පේරාදෙනියේ පිහිටි නව පරිශ්රය වෙත ගෙන යන තුරුම ඉංජිනේරු පීඨය භාවිතා කරන්නෙත් කාර්මික විද්යාලයේ වැඩහල්.
1953 වසරෙදි කාර්මික විද්යාලයේ කලාශිල්ප අංශය රජයේ සෞන්දර්ය විද්යාලය නම් නව දෙපාර්තමේන්තුවක් වෙත අනුයුක්ත කෙරෙනවා. වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්යාලය බවට පත්වෙලා තියෙන්නෙ මේ ආයතනය. මරදාන කාර්මික විද්යලයෙ තිබුන ප්රායෝගික තාක්ෂණය පිළිබඳ පාඨමාලා 1960 අවුරුද්දෙදි මොරටුව කටුබැද්ද ප්රදේශයට ගෙන යනවා. 1966 දි ශ්රි ලංකා තාක්ෂණ විද්යාලය වශයෙන් උසස් කරපු මේ ආයතනය තමයි 1972 මොරටුව විශ්වවිද්යාලය බවට පත්වෙන්නෙ.
එහෙම බලා ගෙන යනකොට මොරටුව විශ්වවිද්යාලය, වෛද්ය විද්යාලය, සෞන්දර්ය කළා විශ්වවිද්යාලය,පේරාදෙණිය විශ්වවිද්යාල ඉංජිනේරු පීඨය වගේ ලංකාවට විශිෂ්ඨයො බිහිකරපු ආයතන රැසක ආරම්භය මේ ටෙක්නිකල් හංදිය. ඒ වගේම ලංකාවේ පලමු තාක්ෂණ විශ්වවිද්යාලය වුන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යලය ආරම්භ කරන්නත් මරදාන කාර්මික විද්යලය ලොකු මෙහෙයක් කරලා තියෙනවා
කාලයත් එක්ක දියුණුවට පත්වුන මරදාන කාර්මික විද්යාලය පළාතකට එක් තාක්ෂණ විද්යාලයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ 2008 වසරෙදි කොළඹ තාක්ෂන විද්යාලය බවට උසස්වෙනවා. තොරතුරු තාක්ෂණය මෙකාට්රොනික් තාක්ෂණය ,ජීවවෛද්ය උපකරන තාක්ෂණය, ස්වර්ණාභරන තාක්ෂණය, සැලසුම් ශිල්පය වගේ අළුත් ලෝකෙට ගැලපෙන තාක්ෂණික පාඨමාලාවන් ආරම්භවෙලා ටෙක්නිකල් හංදියෙන් බහින තරුණ දරුවන්ට ජීවිතේ ඉහලට නගින්න පාර පෙන්නනවා.
එහෙම ටෙක්නිකල් හංදියෙන් බැහැලා ලෝකෙම දිනපු උගත්තු විශාල ප්රමාණයක් ඉන්නවා. මුළු රටම ජල විදුලියෙන් ආලෝකමත් කරපු ජල විදුලි බලයේ පියා වශයෙන් සලකන ඩී. ජේ. විමලසුරේන්ද්ර මැතිතුමත් ටෙක්නිකල් හංදියෙන් බැහැපු ශේෂ්ඨ යුග පුරුෂයෙක්. එතුමා මරදාන රජයේ කාර්මික විද්යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත්වී ඉගෙනුම ලබා පිටවෙලා තියෙන්නෙ 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්රථමයා ලෙසින්. ඒ වගේම කුලසිංහ කොන්ක්රීට් නමින් ප්රකට පෙරසවි කොන්ක්රීට් තාක්ෂනය හඳුන්වාදීලා ඒකට පේටන්ට් බලපත්රය පවා ලබා ගත්. කොන්ක්රිට් සිල්පර හඳුන්වාදීපු ආචාර්ය එන්. එස් කුලසිංහ මැතිතුමත් ටෙක්නිකල් හංදියෙන් බැහැලා ගල් පඩිපෙල නැගලා ඇතුලට ආපු කෙනෙක්. 1936 කාර්මික විද්යලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් එතුමා තංගල්ල, මිරිස්ස, යාපනය, බේරුවල වරායන්ද කොළඹ වරාය ජැටිය, පුත්තලම සිමෙන්තිකර්මාන්තශාලාව ,පොල්ගොල්ල වේල්ල, ග්රහලෝකාගාරය, දළදාමාලිගාවේ රන්වියන, කළුතර චෛත්ය වගේ විශිෂ්ට නිර්මාන මෙරටට දායක කරපු කෙනෙක්. තුන්මං හංදියෙන් හැරිලා චිත්ර ඉගෙන ගන්න මරදානට ඇවිත් විශිෂ්ඨ සාහිත්ය නිර්මාණ රාශියක් දායාද කරපු මහගම සේකර මැතිතුමත් මරදාන කාර්මික විද්යලයේ කීර්තිමත් ආදිශිෂ්යයෙක්.
මේවගේ රටට විශිෂ්ඨ සේවයක් ඉටුකරපු , කරමින් ඉන්න විශාල පිරිසක් ටෙක්නිකල් හංදියෙන් බැහැපු අය. මේ වගේ ජීවිතේ දිනන්න වෙර දරන විශාල පරපුරක් අදත් ටෙක්නිකල් හංදියෙන් බහින්න බලාගෙන ඉන්නවා. අවුරුදු 132 කට කලින් බක්කි කරත්තෙන් ඇවිත් බැහැලා ගල්පඩිපෙල නැගපු තරුණ දරුවො වගේම අද සමන්තුරේ ඉඳලා ඉන්දියන් බස් එකේ ඇවිත් ටෙක්නිකල් හංදියෙන් බහින දරුවන්ටත් ජීවිතේ වැරදිලා නෑ කියලා බොහොම අභිමානවත් විදියට ටෙක්නිකල් හංදිය දිහා බලාගෙන ඉන්න, ඉංග්රිසි ආකෘතියට ගොඩ නැගුන මේ රක්තවර්ණ ගොඩ නැගිල්ල සාක්ෂි දරනවා. ගිනිගෙන දැවෙන කොළඹ නගරයෙම පයින් යන දුරින් තියෙන ටෙක්නිකල් හංදිය විශාල තුරුගොමුවකින් සිසිල් වෙනවා. කොළඹ බස් නැවතුමෙන් ගම්රටවල් බලා යන හැම කෙනෙක්ම ටෙක්නිකල් හංදිය පහුකරලා ගම්රටවල් බලාගෙන යනවා. රටේ හතර දිග් භාගයෙන්ම එන දරුවො මෙතනින් බැහැලා ජීවිතේ සරුකරගන්නවා. ඉදිරිකාලයෙදි “ ටෙක්නිකල් බහින්න ජීවිතේ නගින්න ” කියලම කොන්දොස්තර මහත්තුරු කියයි කිලලා මට හිතෙනවා.



- පාරදිගේ /- අසිරු කරුණාරත්න -

රෙජිනා වලව්ව හෙවත් වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් මන්දිරය

 රෙජිනා වලව්ව හෙවත් වර්තමාන කොළඹ විශ්වවිද්යාලයේ කොලේජ් හවුස් මන්දිරය

===========================================
රෙජිනා වලව්ව හෙවත් වර්තමාන කොලේජ් හවුස් හී නිර්මාතෘ දානපති චාර්ල්ස් හෙන්රි ද සොයිසා ගේ සිවුවැනි පුත්රයා වන වරුසහැන්නැදිගේ තෝමස් හෙන්රි ආතර් ද සොයිසා වර්ෂ 1874 දී මොරටුව සොයිසා වලව්වේ උපත ලද්දේය.මොරටුව වේල්ස් කුමර විද්යාලයෙන් සහ කොළඹ රාජකීය , ගල්කිස්ස ශාන්ත තෝමස් යන විදුහල් වලින් සිප් සතර හැදෑරූ ඔහු වර්ෂ 1892 දී දිවංගත පියාගේ ව්යාපාරයන්ට සම්බන්ධව විය.වර්ෂ 1898 දී සොයිසා පවුලේ මහනුවර කේන්ද්රකොට ගත් ව්යාපාර සම්පූර්ණයෙන් භාරගෙන කටයුතු කල අතර තමාගේම ව්යාපාරද ආරම්භ කලේය.සාමාන්ය වෙළඳාම, එවක නව්යතම තාක්ෂණයක් වූ වාෂ්පයෙන් බලගැන්වූ යන්ත්ර සහිත මිනිරන් පතල් ව්යාපාර සහ තේ,පොල්,රබර්,කුරුඳු,පැඟිරි වගාවන්ද ඔහුගේ ව්යාපාර අතර වීය.ලංකාවේ විශාලම වතුයායක් වූ වයඹ පලාතේ කීනකැලේ වත්තද ඇතුලුව දිවයින පුරාම ඔහුට හිමි ඉඩම් විය.කොම්පඤ්ඤවීදිය දියතලාව මෝල සහ වැල්ලවත්ත කොහු ගබඩාවන්හී අපනයනයට පෙර ගබඩා කල කොහු,කොහු ලණු,ගුදිරි කොහු, පොල්,
පොල්තෙල්,දිසිඳි පොල්, කොප්පරා, තේ, රබර්,එනසාල්,කොකෝවා,පැඟිරි තෙල්,කුරුඳු සහ මිනිරන් ආදී නිෂ්පාදන අංක 02 ,ඇල වීදිය කොටුව යන ලිපිනයේ පවත්වාගෙන ගිය ඔහුගේ අපනයන ව්යාපාරයේ කාර්යාලය හරහා යුරෝපයට අපනයනය කල අතර ආතර් ද සොයිසාගේ කීනකැලේ කොහු නිෂ්පාදන සහ කදිරාන කුරුඳු යන සන්නාමයන්ට යුරෝපයේ සහ ලෝකයේ නොයෙක් රටවලදී ඉහල මිලක් ලැබිණි.කොළඹ ඔහුගේ නිවස බ්රොඩී හවුස් නම් වූ අතර කළුතර සහ මීගමුව කදිරානේද ඔහුට අයත් නිවාස විය.
ගාල්ලේ අබේවර්ධන පවුලේ සයිමන් පෙරේරා අබේවර්ධනගේ එකම දියණිය වූ රෙජිනා පෙරේරා අබේවර්ධන සමග වර්ෂ 1899 දී විවාහවූ ආතර් ද සොයිසා විසින් තම බිරිඳගේ නම යොදා තම උරුමයයෙන් ලද ඉඩමක මෙම මන්දිරය ඉදිකරන ලදී.එක්දහස් නවසියයේ මුල් ගණන්වලදී සොයිසා පවුලට හිමි ඇල්ෆ්රඩ් හවුස් මන්දිරය ඇතුළු බගතලේ වතුයායට රෙජිනා වලව්වේ සිට ඇල්ෆ්රඩ් හවුස් හරහා බම්බලපිටිය මැජෙස්ටික් සිටි දක්වාද සියළු ඉඩම් අයත් විය.1912 දී පමණ ඉදිකිරීම් ආරම්භ කළ තම නමින් ඉදිකල මේ මන්දිරයේ ජීවත් වීමට වාසනාව නොලද රෙජිනා පෙරේරා අඩු වයසින් කළුරිය කළාය.කාලයාගේ ඇවෑමෙන් ව්යාපාරයන්ගෙන්ද බංකොලොත් වූ ආතර් ද සොයිසා වර්ෂ 1920 දී පමණ එවක සිලෝන් යුනිවර්සිටි කොලීජිය ආරම්භ කිරීම වෙනුවෙන් බ්රිතාන්ය ආණ්ඩුවට මෙම ගොඩනැගිල්ල විකුණා ඇත.
(උපුටා ගැනීම සන්ද්යා බටුගහගේ දමන ලද ලිපියකින්) දෙරන my city වැඩසටහනින්

කාගිල්ස් ව්‍යාපාරයේ ඉතිහාසය හා මිලර්ස් ගොඩනැගිල්ල ..

 කාගිල්ස් ව්යාපාරයේ ඉතිහාසය හා මිලර්ස් ගොඩනැගිල්ල ..

============================================
ශ්රී ලංකාවේ හදවත බදු කොළඹ කොටුවට පිවිසෙන්නකුට යටත් විජිත යුගයට අයත් පෞරාණික ගොඩනැඟිලි රැසක්ම දැකගත හැකි වන්නේය. ඒ අතර එක්වරම නෙත් ඇදගන්නා සුවිශේෂී ගොඩනැඟිල්ලක් ඇත. යෝක් වීදිය, බාරොන් ජයතිලක මාවත (ප්රින්ස් ස්ටී්රට්), මුදලිගේ මාවත (බේලි ස්ටී්රට්) යන මාවත්වලට මායිම්ව පිහිටා ඇති ආරුක්කු රැසකින් හා පුළුල් කොරිඩෝවකින් මෙන්ම මල්ලියකමින් අලංකාර වූ රතු සහ සුදු පැහැයෙන් වර්ණ ගැන්වුණු මෙම ගොඩනැඟිල්ල හඳුන්වන්නේ කාගිල්ස් සහ මිලර්ස් ගොඩනැඟිල්ල ලෙසිනි. එහි එක් පසෙක කාගිල්ස් වෙළෙඳ සලත් අනික් පසින් මිලර්ස් වෙළෙඳ සලත් සියවසරකට අධික කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යනු ලැබිණි.
කාගිල්ස් වෙළෙඳ ව්යාපාරයට සහ එම ගොඩනැඟිල්ලට ඇත්තේ අපූරු ඉතිහාසයකි. 18 වැනි සියවසේ එංගලන්තයේ ව්යාපාර පවත්වාගෙන ගිය විලියම් මිල්නේ එවක එංගලන්තයේ යටත් විජිතයක් වූ ලංකාවේ ද ව්යාපාරයක් ආරම්භ කිරීම පිණිස මෙරට පැමිණියේය. 1844 දී ඔහු කොළඹ කොටුවේ “මිල්නේ සහ සමාගම” නමින් ව්යාපාරයක් ආරම්භ කළේය. එම ව්යාපාරය එදිනෙදා අත්යවශ්ය භාණ්ඩ වෙළෙඳාම හා ආනයනික භාණ්ඩ බෙදාහැරීම සදඟා වෙන්වූවක් විය. පසුව මහනුවරත්, ගාල්ලේත් ශාඛා පිහිටුවනු ලැබූ අතර මෙරට ජීවත් වූ විදේශිකයන්ගේ හා කොළඹ අවට ජීවත් වූ ධනවතුන්ගේ සියලු පාරිභෝගික භාණ්ඩ අවශ්යතා එම වෙළෙඳසලෙන් සපුරා ගත හැකි වූයේය.
1850 පමණ කාලයේ එංගලන්තයේ ව්යාපාර කටයුතුවල නිරත ඔහුගේ මිත්රයකු වූ ඬේවිඞ් සයිම් කාගිල් ශ්රී ලංකාවට පැමිණි අතර ඔවුහු දෙපළ එක්වී ව්යාපාරය පු`ඵල් එකක් බවට පත් කළහ. එය නම් කෙරුණේ “මිල්නේ කාගිල්” සහ සමාගම ලෙසිනි. 1860 වසරේ විලියම් මිල්නේ ලංකාවේ ව්යාපාරවලින් ඉවත්ව නැවත එංගලන්තය බලා නැව් නැංඟේ ග්ලස්ගෝව්හි පවත්වාගෙන ගිය කාගිල් මව් සමාගමේ ව්යාපාර කටයුතුවලට ප්රමුඛත්වය ලබාදීමේ අරමුණිනි. එතැන් සිට මඳ කලක් තනිව ව්යාපාර කටයුතු පවත්වාගෙන ගිය ඬේවිඞ් කාගිල් පසුව ඬේවිඞ් මැකන්සි නම් තවත් ව්යාපාරිකයකු හා අත්වැල් බැඳ ගත්තේය. එතැන් සිට එම වෙළෙඳ ව්යාපාරය නම් කෙරුණේ “කාගිල් සහ සමාගම” ලෙසිනි. එවක එම සමාගමේ කොළඹ ප්රධාන වෙළෙඳසලේ සේවක සංඛ්යාව සය දෙනෙකු වූ අතර මහනුවර ඉහළ වැව පාරේ පිහිටි වෙළෙඳසලේ සේවකයෝ පස්දෙනෙක් ද, ගාල්ල පෙඞ්ලර් වීදියේ අංක 22 දරන ස්ථානයේ පිහිටි වෙළෙඳසලේ සේවකයෝ තිදෙනෙක් ද වූහ.
ගාල්ල ශාඛාව 1863 වසා දැමිණි.
ඬේවිඞ් කාගිල් ස්කොට්ලන්තයේ ධනවත් පවුලක සාමාජිකයකු වූ අතර දක්ෂ ව්යාපාරිකයකු වූයේය. බුරුම තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ ඔහු ලංකාවට පැමිණීමෙන් පසු මතුරට ප්රදේශයේ කෝපි වතු අක්කර ගණනාවක් මිලට ගෙන වගා කටයුතුවල නිරත විය. කෝපි වගාව විශාල වශයෙන් ව්යාප්තව පැවති එම කාලයේ එම සමාගමට විශාල වශයෙන් ආදායම් උපයා ගැනීමට අවකාශ සැලසිණි. කාගිල් සමාගම මෙරට පිහිටුවන ලද පළමු සුපිරි වෙළෙඳසල ලෙස හැඳින්විය හැකිය. එකල එය නම් කෙරුණේ ඩිපාර්ට්මන්ටල් ස්ටෝර්ස් නමිනි. එනම් බහු අංශ වෙළෙඳසලක් ලෙසිනි. එහි විවිධ අංශ යටතේ ආහාර වර්ග, රටබීම වර්ග, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, කු`ඵබඩු, පොත්පත්, කාන්තාවන්ට අවශ්ය උපකරණ වැනි දෑ මෙන්ම කාන්තා හා පිරිමි ඇඳුම් මැසීමේ අංශයකින් ද සමන්විත වූයේය. 1890 දී කාගිල් ව්යාපාරය තවදුරටත් පු`ඵල් කෙරිණි. ඒ අනුව “මෙඩිකල් හෝල්” නමින් ඖෂධ අලෙවිහලක් ද, සාමාන්ය ජනතාවට මිලට ගත හැකි මිල අඩු සාමාන්ය බඩු භාණ්ඩ අලෙවි කිරීම සඳහා “සයිම් සහ සමාගම” නමින් ව්යාපාරයක් ද ආරම්භ කෙරිණි. සයිම් යනු ඬේවිඞ් කාගිල්ගේ බෞතිස්ම නාමය විය.
1896 දී කාගිල් සමාගම සීමාසහිත සමාගමක් ලෙස ගලස්ගොව්හි ලියාපදිංචි කෙරිණි. ඉන් දෙවසරකට පසු එය ජේම්ස් මැක්ලරන් සහ සමාගම සමග බද්ධ වූයේය. නුවරඑළියේ කාගිල්ස් ශාඛාව විවෘත කෙරුණේ ඉන්පසුවය.
තම ව්යාපාරය දියුණු වෙමින් පැවති මෙම වකවානුවේ වඩාත් පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක අවශ්යතාව එහි හිමිකරුවන්ට වැටහී ගියේය. 1896 පමණ කාලයේ ඬේවිඞ් කාගිල් මෙම ස්ථානය මිලට ගෙන තිබිණි. ඒ වන විට ඔහු කාගිල් සමාගමේ සභාපතිවරයා වූ අතර වෝල්ටර් හැමිල්ටන් අධ්යක්ෂවරයා ලෙස ද විලියම් ජෙන්කිංග්ස් ප්රධාන කළමනාකරු ලෙස ද කටයුතු කළහ. ඒ අනුව නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ආරම්භ වූයේ 1902 දීය. මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා තෝරාගත් ස්ථානයේ පිහිටා තිබූ නිවස ලන්දේසි පාලන සමයේ කපිතාන්වරයකු වූ ස්ලුයිස්කින් නම් පුද්ගලයකුගේ නිවහන විය. ඔහු කලක් ගාල්ලේ කොමදෝරුවරයා ලෙස ද කටයුතු කර තිබිණි. පසුව ෆ්රෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා ද එම නිවසේ කලක් වාසය කළ අතර එම ගොඩනැඟිල්ල මඳක් උෂ්ණාධිකයැයි පවසමින් ඔහු වෙනත් ස්ථානයක පදිංචියට ගොස් තිබිණි. 1904 දී නව ගොඩනැඟිල්ලේ වැඩ අවසන්වීමට පෙර ඬේවිඞ් කාගිල් අභාවප්රාප්ත විය. 1906 දී වර්තමානයේ අපට දැකිය හැකි අලංකාරවූත් ප්රතාපවත්වූත් ගොඩනැඟිල්ල අංක 40 යෝක් වීදියේ විවෘත කෙරිණි. ඊ. ස්කිනර්ගේ සැලසුමකට අනුව යුරෝපීය පුනරුද ශෛලියට අනුගත වන අයුරින් (රෙනෙයිසන්ස් ස්ටයිල්) මෙම ගොඩනැඟිල්ල ඉදි කරන ලද්දේ එවක මෙරට බොහෝ ගොඩනැඟිලි ඉදිකළ වෝකර් සහ සමාගමය.
විදුලි පංකා සහ හයිඩ්රොලික සෝපාන සහිතව කොළඹ ඉදිවූ ප්රථම ගොඩනැඟිල්ල එය වූයේය. 1907 වන විට ප්රධාන වෙළෙඳසලේ සහ ශාඛාවන්හි යුරෝපීයෝ තිස් දෙදෙනෙක් හා ශ්රී ලාංකිකයෝ 600ක් පමණ සේවය කළහ. කොළඹ වරාය අසලම මෙම වෙළෙඳසල පිහිටා තිබූ හෙයින් නැව් මඟින් ගමන් ගන්නා විදේශිකයන් අතර පවා මෙම ස්ථානය ප්රචලිතවී තිබිණි. එංගලන්තයේ සිට ඔස්ටේ්රලියාව බලා යාත්රා කළ නැව් කොළඹ ජැටියට පැමිණි කල එහි ගමන් ගත් විදේශිකයෝ මොහොතකට හෝ කාගිල් සාප්පුවට ගොඩවැදීමට අමතක නොකළහ. විශේෂයෙන් කාන්තාවන් සඳහා වූ උසස් තත්ත්වයේ නිමි ඇඳුම්වලට එය ප්රචලිත විය. 1960 දසකයේ අග භාගයේ එවක කුඩාවුන් වූ අප ද අපගේ පියා සමඟ සතියකට දෙකකට වරක් මෙම ගොඩනැඟිල්ලට යාම සිරිතක්ව පැවතිනි. අප එහි ගියේ එම සාප්පුවෙන් පමණක් මිලදී ගත හැකි වූ සුවිශේෂී රසකැවිලි වර්ගයකට දැක්වූ ආසාව හේතුවෙනි. එංගලන්තයෙන් ගෙන්වූ එම විශේෂ රසකැවිලි රාත්තලක එවක මිල රුපියල් 2.00ක් පමණ විය. පියා අවශ්ය දෑ මිලට ගන්නා තෙක් එයද රස විඳිමින් එම වෙළෙඳසලේ වූ පොත් සාප්පුවට රිංගා ගන්නා මාත් මගේ සොහොයුරාත් බොහෝ වේලා ඉංග්රීසි ළමා පොත් අතපතගාමින් සිටි අයුරු මගේ මතකයෙන් බැහැර නොවේ.
එහි බිම මනාව මදින ලද ලෑලි අතුරා සකස් කොට තිබූ හෙයින් ඒ මත ඇවිදීමේදී එයින් නැඟෙන “කිරි කිරි” හඬ ඇසීම අපේ විනෝදාංශයක් විය. ඬේවිඞ් කාගිල්ගේ පසු පරම්පරාව ශ්රී ලංකාවේ පැවැති තම ව්යාපාර විකුණා දැමීමට තීරණය කළ අතර 1946 දී සිලෝන් තියටර්ස් සමාගමේ හිමිකරු වූ ශ්රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් විසින් මෙම ගොඩනැඟිල්ල සහ ව්යාපාරය මිලට ගන්නා ලදී. එම ව්යාපාරය කාගිල්ස් නමින්ම පවත්වාගෙන යාමට ඔහු තීරණය කළේය. ඔහුගෙන් පසු එම ව්යාපාරය ඇල්බට් පේජ් මහතා සතු වූ අතර වර්තමානයේ ඔහුගේ පුතුන් විසින් කාගිල්ස් සුපිරි වෙළඳසල් ජාලය දිවයින පුරා ව්යාප්ත කර තිබේ.
1877 වැනි කාලයේ සිට එංගලන්තයේ ව්යාපාර කටයුතු කළ මිලර්ස් සමාගම ශ්රී ලංකාවේ ව්යාපාර කටයුතුවලට සම්බන්ධ වූයේ 1900 මුල් කාලයේය. 1907 දී ඔවුහු කාගිල්ස් සමාගම සතු ගොඩනැඟිල්ලට යාබදව තම ව්යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කළහ. එය නම් කෙරුණේ මිලර්ස් ගොඩනැඟිල්ල ලෙසිනි. එයද කාගිල්ස් සමාගමේ අනුරුවටම වෝකර් සමාගම මඟින් ඉදි කරනු ලැබූ අතර පිටතින් බලන කල එක් ගොඩනැඟිල්ලක් ලෙස දිස්වෙයි. මිලර්ස් සමාගමේ හිමිකරු වූයේ විලියම් ක්රැමන්ඞ් මිලර්ය.
ඔස්ට්රේලියානු හා එංගලන්තයෙන් ආනයනය කළ ආහාර ද්රව්ය සහ රටබීම එහි අලෙවි කළ අතර පසුව ඇති වූ විශාල ඉල්ලුම හේතුවෙන් චීනයෙන් ද වීදුරු භාණ්ඩ හා ඉලෙක්ට්රෝ ප්ලෙටඞ් උපකරණ හා අත්යවශ්ය ද්රව්ය ආනයනය කළ බැව් සඳහන් වෙයි. එඩින්බරෝ සාන්ත පාවුළු බෲවරි සමාගමේ ලංකා නියෝජිත ලෙස කටයුතු කළේ ඔවුන්ය. 1907 වන විට එහි සේවක සංඛ්යාව 43 දෙනකුගෙන් සමන්විත වූයේය. පසු කාලයේ ඡායාරූප උපකරණ අලෙවි කිරීම සඳහා ප්රසිද්ධියක් ඉසිලූ මිලර්ස් සමාගම කොඩැක් ඡායාරූප උපකරණ අලෙවියේ මෙරට නියෝජිතවරයා ද විය. එම සමාගමේ ශාඛාවක් මහනුවර ද පිහිටා තිබිණි.
අතීත මතක රැසක් සඟවා ගනිමින් කොළඹ නගරයට අලංකාරයක් එක් කරන මෙම ගොඩනැඟිල්ල තවත් බොහෝ කලක් පවතිනු ඇත.



උපුටා ගැනිමකි
ස්තුතිය
සාරවිට

දැයෙන් සමුගත් එම්පයර් සිනමා ශාලාව

 දැයෙන් සමුගත් එම්පයර් සිනමා ශාලාව

==============================
බහුකාර්ය ශාලාවක් වුව පබ්ලික් හෝල් ශාලාව ඒ වකවානුවේ පැවැති ඉතාම සුඛෝපභෝගි ශාලාව විය. එහි අවට වාසය කළ බහුතරය ඉංග්රිසි උගත් එමෙන්ම ඉහළ සමාජයට අයත් වූවන් ය. ඔවුහු බහුතරය මෙරට ගොඩනැගුණ ලාංකික නුර්ති සදහා ආශක්ත වූවෝ නොවූහ. එබැවින්ම දෝ පබ්ලික් හෝල් සිංහල වේදිකාවේ වැදගත් ලකුණක් නොවූයේය. එමෙන්ම එය චිත්රපට ප්රදර්ශනයට එළැඹිය ද සිංහල චිත්රපට ප්රදර්ශනයේ දී ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේ නැත. එනමුදු එම්පයර් කොළඹ ඉතා ඉහල මට්ටමේ සිනමාහලක් විය. එහි ප්රදර්ශනය කෙරුණේ ද බහුතරය ඉංග්රිසි චිත්රපටය. පබ්ලික් හෝල් ශාලාවේ මංගල දර්ශනය පැවැත්වුව ද ජෝන් ද සිල්වා ආදින්ගේ නාට්ය දැක්ම සඳහා වඩා විපුල හා එතිහාසික කාර්ය භාරයක් සිදුකරනුයේ ද වඩා ජනතාවක් අතරට යොමු වන්නේ ද මරදානේ ටවර් රඟහල ඇතුළු රංග ශාලාවන්ගෙනි. මෙරට නාට්යය හා සිනමාවේ කේන්ද්ර ස්ථානය මරදාන බවට අනුක්රමයන් පරිවර්තනය වූයේය. එමෙන්ම සිංහල සිනමාව වඩා ජනප්රිය කරවනුයේ ද මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් හා ගාමිණි සිනමාහලය. එම්පයර් සිනමාහලට යාබද ව එම භූමියේම කුඩා සිනමාහලක් ද 1930 ගණන්වල දී තිබුණ වග ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වරක් පැවසීය. එම සිනමාහල වෙන්ව තිබුණේ සම්භාවනීය චිත්රපට සදහා පමණි.
මුල්ම චිත්රපට දැක්ම පැවැත් වූ සිනමාහල ලෙස ගෞරවය දිනා ගත යුතු පබ්ලික් හෝල් ශාලාව විසි වැනි සියවසේ දෙවන දශකය වන විට පබ්ලික් හෝල් නම සදහටම අතහැර සම්පූර්ණ සිනමා ශාලාවක් ලෙස ස්ථාවර වන්නට පටන් ගත්තේය. ඒ මදාන් සමාගම මඟින් එය මිළයට ගත් පසුවය. මදාන් සමාගම එම්පයර් සිනමාහලට අමතරව මෙරට සිනමා ශාලා ඉදිකිරිමට ද උත්සුක විය. (මදාන් ලංකාවේ කාර්යභාරය පසුව ලියමි) 1939 වසර වන විට මදාන් සමාගම වස්තු භංගත්වයට පත්විය. ඒ වන විට නැගී එමින් පැවැති දේශිය සිනමා සමාගම වූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින් මදාන් සතු ලංකාවේ දේපළ මිළයට ගන්නා ලදී. ඔවුහු එම්පයර් සිනමාහල පසුකලක නවීකරණය කොට වඩා දියුණු සිනමාහලක් බවට පත් කළහ. කලක් එය කොළඹ ඉතා අංග සම්පූර්ණ හා සුඛෝපභොගී සිනමාහලක් ලෙස වැජඹිණ. එහි මුහුණුවර සහමුලින්ම වෙනස් වන්නට පටන් ගත්තේ එයින් පසුවය. එහි පැරණි දොරටුව කොතැනක වෙත්දැයි සියල්ලටම අමතකව ගියේය. ( 1995 වසරේ පැරණි සිනමා රසිකයකු මේ දොරටුව මට චිත්රපටයක් නරඹන්නට ගිය අවස්ථාවක දී අහම්බෙන් පෙන්වා දුන්නේය. ඔහුගේ ඔත්තුව අනුව මා සමඟ ගිය දැන් අමෙරිකාවේ වෙසෙන ඡායාරූප ශිල්පී ශ්රියන්ත වල්පොල එහි පැරණි අංග සියල්ල සිය කැමරාවට නඟා ගත්තේය. එවකට සිලෝන් තියටර්ස් සමාගමේ ප්රචාරක නිලධාරි තුසිත ද අල්විස් අපට උපකාර කළේය.)
එම්පයර් සිනමාහල ඒ වන විටත් එහි ස්වර්ණමය යුගය හමාර කොට විශ්රාම ලබන්නට නියමිතව සිටියේය. මෙරට සිනමා රසිකයන්ගේ පරිවර්තනය වටහා ගන්නට වඩාත් සුදුසු සිනමාහල වනුයේ ද එම්පයර් සිනමාහලය. ඒ එතරම් සුඛෝපභොගී සිනමාහල වැසුණු අන්දම කල්පනා කරන විට එය පැහැදිලිය. එම්පයර් සිනමාහල පිහිටි ස්ථානය නිතර ජනී ජනයා නොගැවසෙන ප්රධාන බස් රථ මාර්ග වලින් බැහැර වූවකි. චිත්රපට නැරඹීමට නම් සිනමාහලටම යා යුතුව තිබුණු කලක එය ගැටලුවක් නොවිණ. එහි ප්රක්ෂේපණය ඉතා ඉහළ මට්ටමක තිබිණ. එහි අවසන් සමය වන තෙක් තිරගත වූ බොහෝ ඉංග්රිසි චිත්රපට ඉහළ මට්ටමේ විය. මෙරට සිනමා ඉතිහාසයේ දැවැන්ත ප්රදර්ශන වාර්තාවක් තැබූ අභිමාන් චිත්රපටය තිර ගත කරන ලද්දේ එම්පයර් සිනමාහලේය. අභිමාන් 1977 සැප්තැම්බර් මස 01 වැනි දින තිර ගතවීම අවසන්වූයේ අති සාර්ථක දින 530කින් පසුවය. එහෙත් සිනමාව ගෙදරට එන කල සිනමාශාලා සොයා යායුතු නැත. එම්පයර් සිනමාහල ස්වභාවික මරණයකට ළංවූයේය. මෙරට සිනමාවට රාජ්ය මැදිහත්වීම සමඟ එයට ව්යාපාරික දැක්මක් නොමැති වීමේ ශාපය බොහෝ සිනමා ශාලාවලට මෙන්ම එම්පයර් සිනමාහලට වැදී තිබිණ. සිනමාහලට එන කවර මට්ටමේ හොඳ චිත්රපටයක් වුව දින කිහිපයකින් ගැලවීම ස්වාභාවික කරුණක් විය. චිත්රපට ප්රදර්ශනයේ ඇති වන සියලු අර්බුදවලට ද එම්පයර් එයට ගොදුරු විය. එය තවදුරටත් නඩත්තු කර ගත නොහැකි දැවැන්ත හස්ති රාජයකු විය. එමෙන්ම එම බිම්කඩෙහි සිනමාහලක් පවත්වනවාට වඩා ඉහල ආයෝජනයක් කළ හැකි බැව් එහි හිමිකරුවෝ වටහා ගත්හ.
2003 වසරේ ඔක්තෝබර් 31 වැනි දින සවස 6.30 ට ප්රදර්ශනය වූ “මෙන් ඉන් බ්ලැක්“ චිත්රපටයේ නිමාවත් සමග සිනමාහලේ සියලු දොරවල් සදාකාලයටම වසා දැමිණ. චිත්රපට සියයකට වඩා නරඹා එහි නිත්ය ප්රේක්ෂකයකුව සිටි මා අවසන් දර්ශනය නරඹා ආපසු ආවේ මගේ මිහිරි සිනමා සිහින රැසක් පිළිබඳ දුකක් ද සහිතවය. එහි එයට පෙර තිර ගත වූ සිංහල චිත්රපටය වූයේ ශ්රී ලාල් ප්රියදේව අධ්යක්ෂණය කළ නොම්මර එකේ චණ්ඩියාය.
එයින් වසර ගණනාවකට පසු බේබෘෘක් පෙදෙසේ අංක 51 දරණ තැන අහස සිඹින නිවාස සංකීර්ණයක් ඉදිවිණ. එය එම්පයර් නම අරගත්තේ සිනමාහල පිළිබද මතකය රසිකයන්ට ඉතිරි කරමිනි. එහෙත් එම්පයර් සිනමා ශාලාව සමග 19 වැනි සියවසේ හා විසි වැනි සියවසේ ඓතිහාසික සටහනක් ද අහිමි වූ වග අමතක කළ යුතු නැත. ඒ ඉතා හොඳ සිනමාහලක් පිළිබඳ ආදරණීය සටහනකි.

උපුටා ගැනීම aruna gunarathna මහතාගේ ලිපියකින් ..