Friday, December 21, 2018

රටගිය මුදියන්සේ තැනු වලව්වේ පන්සල

රටගිය මුදියන්සේ තැනු වලව්වේ පන්සල

කෙළොම්පුරේ බටහිර ජාතින් අල්ලාගෙන දියුණු නගරයක් බවට පත්කෙරේව්වත් කැළණි පන්සලේ සිට බෙල්ලන්විල පන්සල දක්වා වු ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක් පිහිටලා තිබුනේ නෑ. පන්සලක් තියා බුදු පිළිමයක් ඉදි කරන්නටවත් අධිරාජ්‍යවාදි ආණ්ඩුවෙන් අවසරයක් ඉඩක් ලැබුණේ නෑ. එහෙම බෞද්ධ විරෝදි පරිසරයක් තුල කොළොම්පුරේ ඉදිවු පළමු බෞද්ධ විහාරස්ථානය වුයේ කොටහේනේ දිපදුත්තාරාමය  විහාරස්ථානයයි. 

 

   

රටගිය මුදියන්සේ නමින් ප‍්‍රකටවු සවියෙල් තාබ්‍රෙව් උභයකුලතුංග විජේසිරිවර්ධන  මහ මුදලිතුමන් එවකට හිටිය  ඕලන්ද ආණ්ඩුකාරතුමන්ගෙන් විශේෂ අවසරයක් අරගෙන තමන්ගේ වලව්වේ විහාරයක් පිහිටුවා ගත්තා. ඔහු මුල් කාලේ සීනිගම ධම්මක්ඛන්ධ හිමියන් විහාරයට වැඩමවාගෙන ආගමික කටයුතු හා වස් වස්වා ගැනිම ආදි කටයුතු කරගත්තා. එ් කොටහේන අවට හිටිය ප‍්‍රභූ පවුල්වල හා වලව්වල අයගේ අරමුණවුනේ තම ආගමික අවශ්‍යතා ඉටුකරගන්නයි. ප‍්‍රභූ පවුල්වල අයගේ පන්සලක් වුනු නිසා සාමාන්‍ය පොදු ජනතාව මේ පන්සලේ කටයුතු වලින් ඈත්ව තමයි හිටියේ. පසුව සීනිගම ධීරක්ඛන්ධ හිමියන් මේ ස්ථානයේ ස්ථිර ආරාමයක් ආරම්භකලා.  1806 වසරේ දි මේ පන්සලේ පැවැත්වු මහා සති පිරිත් පිංකමින් පස්සේ පොදු ජනතාවත් පන්සල වටා එක්වෙන්න පටන්ගත්තා. 1835 බි‍්‍රතාන්‍ය පාලන කාලේදි ඇතිවු දැඩි ආගමික බලපෑම් හින්දා පන්සල විනාසවෙලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ.



ඔන්න ඊළඟට කොටහේනේ දිපදුත්තාරාමය පන්සලේ තුන්වැනි විහාරාධිපති කමට පත්වෙන්නේ වාදීසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමයි. දක්ෂ කථිකයෙක් හා ධර්ම ශාස්තී‍්‍රය කටයුතු ඉහල දැණුමක් තිබුනු වාදීසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමයි පන්සල ආපහු ගොඩනගලා ගන්නේ. දන්නවානේ සුප‍්‍රසිද්ධ පානදුරාවාදය? මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමයි පානදුරාවාදයේ නියමුවා. ඒ හිමියන්ගේ දැඩි කැපවිම හේතුවෙන් ආයෙත් මේ පුදබිම බෞද්ධයන්ට ලැබෙනවා. උන්වහන්සේ මේ පන්සලේ වැඩවසමින් සිදු කරපු ආගමික හා ජාතික මෙහෙවර නිසා මේ විහාරස්ථානය දෙස් විදෙස් සුපතල බෞද්ධ ආයතනයක් බවට පත්වුනා. පංච මහා වාදයට පානදුරා වාදයට හා එකල ඇතිබු බෞද්ධ ප‍්‍රබෝදයටත් මේ විහාරස්ථානය මුලීක වෙලා තියෙනවා.  ඔයාලා දන්වාද බෞද්ධ කොඩිය පළමු වරට ගුවනට එසවු හා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශකල පින් බිමක් ලෙසින් මේ විහාරය ඉතිහාස ගතවෙනවා කියලා? 

 

   Prince Prisdang Chumsai  (පැවිදිවිමට පෙර)  

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පස්සේ මේ පන්සලේ අධිපති කමට පත්වෙන්නේ ගුණානන්ද හිමියන්ගේ ජාතික මෙහෙවරට තම ඥාණ ශක්තියෙන් උදව් උපකාර කල රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති නාහිමියන්ටයි. ගුණානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකුවු මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියන් අකාලයේ අපවත්වු නිසා වස්කඩුවේ ශ‍්‍රී සුභූති නාහිමියන් තමන් යටතේ වස්කඩුව විහාරයේ පැවදිවූ සියම් ජාතික රජකුමරෙකුවූ පී.සී ජිනවරංශ  හිමියන්ට (Prince Prisdang Chumsai)  මේ විහාරස්ථානය පවරලා දුන්නා. පී.සී ජිනවරංශ හිමියන් ප‍්‍රසිද්ධවුනේ කුමාර හිමියන් නමින් තමයි. උන්වහන්සේ ලෝක ප‍්‍රකට රත්න චෛත්‍ය මෙහි ඉදිකකෙරේව්වා. මේ චෛත්‍යයේ තැම්පත් කරලා තියෙන්නේ රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති නාහිමියන්ට කපිලවස්තු පුරයෙන් ලැබුණු බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක්. විහාර ගෙය ඉදිරිපිට තනා තිබෙන තායි සම්ප‍්‍රදායට අනුව ඉදිකල රත්න චෛත්‍යයට 1908 මාර්තු 20 දින Penang  හි Lim Leng Cheaf  නම් කාන්තාවක් විසින් මුල්ගල තැබිම සිදුකරලා තියෙනවා.

 

 මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ගේ නාමය වෙනුවෙන් ජිනවරංශ කුමාර හිමියන් ගුණානන්ද විද්‍යාලය බිහිකලා. කුමාර හිමියන් ගෙන් පස්සේ මේ පන්සලේ අධිපතිකමට පත්වෙන්නේ මාදම්පිටියේ ජිනානන්ද හිමියන්. උන්වහන්සේ ධර්මශාලාව පුස්තකාලය ඇතුලූ ධාතු මන්දිරයක්ද ඉදිකරේව්වා. ඊට අමතරව කුමාර හිමියන්ගේ ශ‍්‍රී නාමය වෙනුවෙන් කුමාර විද්‍යාලයද ආරම්භකලා. මුන්වහන්සේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහනායක ධුරයට පත්වුණා. උන්වහන්සේ ගෙන් පස්සේ පින්වත්තේ ජිනරතන හිමියන් විහාරාධිපති ධුරයට පත්වුනත් එ් හිමියන්ගේ අකල් අපවත්විමත් එක්කම 1997දි මේ පිං බිම අමරපුර ශ‍්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක ධුරන්දර වස්කඩුව රාජගුරු ශ‍්‍රී සුභූති මහා විහාරය ඇතුලූ විහාර ගණයේ අධිපති ශාස්ත‍්‍රපති වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ භාරකාරත්වයට පත්වුනා. කඩාවැටි තිබුණ විහාර මන්දිරය හා රත්න චෛත්‍ය ප‍්‍රතිසංස්කරණය කර නව බුදු පිළිම වහන්සේලා තැම්පත් කිරිම හා තායිලන්ත රජ පවුලේ අනුග‍්‍රහයෙන් නව කොත් වහන්සේ නමක් පැළඳවිම ආදි තවත් විශාල සේවාවන් ගොඩාක් පන්සල වෙනුවෙන් සිදුකෙරුණා. බිඳ වැටි තිබුණ ජාත්‍යන්තර සබඳතා යළිත් ගොඩනැගුණා. තායිලන්ත රජතුමාගේ දියණියන් දෙදෙනෙකුද මේ විහාරස්ථානයට සැපත්වුනා.  1999 දි චූලාබෝන් කුමරියද 2013 දි මහාචකී‍්‍ර සිරින්තෝන් කුමරියද මේ පිං බිම වැඳපුදාගත්තා. එමෙන්ම හිටපු අගමැති තක්ෂින් ෂිනවත‍්‍රා මැතිතුමා මෙන්ම අගමැතිනි යින්ග්ලක් ෂිනවත‍්‍රා මැතිනියද මෙම විහාරස්ථානයට සැපත්වෙලා තියෙනවා. ලංකාවට පැමිණ වැඩභාරගන්නා සෑම තායි ජාතික තානාපතිවරයෙක්ම තමන්ගේ වැඩභාරගැනිමෙන් පසුව ප‍්‍රථමයෙන්ම මෙම විහාරස්ථානයට පැමිණ වැඳපුදාගැනිම චාරිත‍්‍රයක් බවට පත්වෙලා තියෙනවා. විටින් විට පැමිණි තායි රජ පවුලේ සාමාජිකයින් රෝපනය කල ශාකයන් විහාර භූමියේ අදටත් සුරැකිව තියෙනවා. 

 

අගසිපුජා පාඨය හා 1586 වර්ෂය සඳහන් ගල්භාජනයක් හමුවිමත් එක්ක මේ විහාරස්ථානයේ සියවස් තුනක් එහාට දිවයන ඓතිහාසික පසුබිමක් තිබෙන බව නම් කියන්න පුළුවනි. දිපදුත්තාරාමයේ අනෙක් කැපී පෙනෙන ගොඩ නැගිල්ල නම් 19 වන සියවසට අයත් බි‍්‍රතාන්‍ය වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ පෙන්වන පිළිමගෙයයි. දිගින් මිටර් 27 ක්ද පළලින් මිටර් 15 ක්ද වෙනවා. මේ පිළිමගේ දොරටුවට ඉහලින් වෛත්‍යයක් උස්කර බැඳ ඇති නිසා බෞද්ධ මුහුණුවරක් පෙන්නුම් කරනවා. බිම් සැකැස්මට අනුව නම් මේ පිළිම ගෙය කොටස් පහකින් සමන්විත වෙනවා. ඉදිරියෙන් ඇත්තේ ආරුක්කු තුනකින් යුක්තවු ප‍්‍රවිෂ්ඨ මණ්ඩපයයි. මේ ආරුක්කු අතරේ අඩක් මතුකරපු කුළුණ බැගින් වෙනවා. ඊට ඉහලින් වර්ණවත් විදුරු යෙදු වටකුරු කවුළු සහිත කුඩා ආරුක්කු 18 ක්ද වෙනවා.  

 

මෙහි ඇතුල් ගැබේ ඉදිරි කොටසේ ස්වර්ණ ආලේපිත තායි බුදු පිළිමයක් හා කිරිගරුඩෙන් කල කුඩා සැතපෙන පිළිමයක්ද වෙනවා. එ දෙපසින් දැවයෙන් කරපු සැරියුත් මුගලන් අගසව් දෙනමගේ කුඩා පිළිමවල් දෙකක්ද වෙනවා. මේ පිළිමවලට ඉහළින් දැවයෙන් කරන ලද විසිතුරු තොරණක් වෙනවා.  මේ තොරණේ පහළ කොටස නිමකර ඇත්තේ 1785 දි එය මැදිකර 1873 දි තවත් කොටසක් එකතුකර ඇත. මේ තොරණ මුදුනේ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනය දක්වලා තියෙනවා. එහි කිරීටයට යටින් ධාතු කරඬුවක් හා ධර්ම ග‍්‍රන්ථයක් කැටයම්කර තිබෙනවා. ලාංඡනය මැද  ඕවලයේ මේ පාඨය සධාතුක චෛත්‍යය සහ සධාතුක බුද්ධ ප‍්‍රතිමාව බුද්ධ වර්ෂ 2416 යන්න ලියවිලා තියෙනවා. මෙහි බිත්ති විසිවෙනි සියවසේ මුල් භාගයට අයත් ලක්ෂණ පෙන්නම් කරන බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා හා රහත් රූපවලිනුත් සිවිලිම නෙලූම්මල් රටාවලින්  හා මල්ලියකම් වලින් විසිතුරු කරලා අලංකාර කරලා තියෙනවා.

 

වෙනත් විහාරස්ථානයක දකින්න නොලැබෙන සුවිශේෂි අංගයක්ද මෙහි බලාගන්න පුළුවනි. ඇතුල් ගැබ ඉදිරි කොටසේ බිම 1937 හා 1938 වර්ෂ වල මියගිය දෙදෙනකු වෙනුවෙන් මෙය කැපකර ඇතිබව ඉංග‍්‍රීසි බසින් සඳහන් කර ඇති කිරිගරුඬ පුවරුවක් තිබෙනවා. එ් දිපදුත්තාරාමයේ භහාන්ඩාගාරිකවරයෙකුවු ඩි.ජේ.පෙරේරා මහතාගේ මිණිබිරිය හා ඇගේ දියණියවු මොනිකා හයසින්ත් බ්‍රෙන්ඩා හා මොනිකා ලක්ෂ්මි දෙදෙනාගේ නම් සඳහන් වෙන්නේ. මේක බෞද්ධ සිද්ධස්ථානයක විරල ලක්ෂණයක් වුවත් කතෝලික හා කි‍්‍රස්තියාණි දේවස්ථානවල සුලබව දකින්න ලැබෙනවා. 

ඇතුල් ගැබේ පසුපස කොටසේ මිටර් 8 ක් පමණ දිගැති සැතෙපෙන පිළිමයක් හා එ් දෙපස විෂ්නු  හා සමන් දේව ප‍්‍රතිමා දෙකක්ද වෙනවා. බිත්ති අලංකාර කර ඇත්තේ සතරවරම් හා රහතන් වහන්සේලාගේ රුපවලිනුයි.  මේ ඇතුල්ගැබට ඇතුල්විමට දොරටු තුනක් වෙනවා. ඉන් එකක් ඉදිරිකොටසටද අනෙක් දෙක පසුපස කොටසටද විවර වෙනවා. මේ හැම දොරටුවකටම ඉහළින් විසිතුරු මකර තොරණ් දකින්න පුළුවන්. මැද දොරටුව දෙජස නාථ හා මෛත‍්‍රි බොධිසත්ව පිළිම දකින්න ලැබෙනවා. එ් දෙපස කඟවේන රූප දෙකක් ද අනෙක් දොරටුව දෙක දෙපසින්  දෙපයින් නැගිටගත් සිංහ රූප දෙකක්ද තිබෙනවා. මේ ක`ගවේනා හා සිංහයා බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලාංජනයේ සිටින සතුන් දෙදෙනා වෙනවා. මේ පැරණි ගොඩනැගිලි අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැඩ වාසය කල ආවස ගෙයද තිබෙනවා බලාගන්න පුළුවනි.  

මෑත ඉතිහාසයේ දි මේ දිපදුත්තාරාම සිද්ධස්ථානයෙන් ඉටුකල වැදගත් කාර්්‍යයක්වූයේ බෞද්ධ ජනතාවගේ හදවත් තුල සිටින බෞද්ධ පුනරුදය ඇතිකල වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සිහිකර පිළිරුවක් කොටහේන නගර මධ්‍යයේ ඉඳිකිරිමයි.  

ඉතිං කොටහේන පැත්තේ යන කොට අපේ බොෟද්ධ පුනරුදයේ වැදගත් කාර්්‍යභාරයන් සිදුකරපු මේ පිංබිම දැකබලාගෙන වැඳපුදා ගන්නත් අමතක කරන්න එපා. 

ඔන්න මේ ලිපියත් නිකං කියවලා යන්න හදනවා. ඔයාලා දන්න මම නොදන්න දෙයක් එහෙම ඇත්නම් අදහස් එහෙම දක්වලා කොමෙන්ටුවක් දාලා ගියෝත් තවත් කොළොම්පුරේ අතීත සවාරියක් එක්කගෙන යනවා.

මෙහි පලකරන ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් ලබාගත් ඡයාරූපයි.

උපුටා ගැනීම - https://kolompure.blogspot.com

No comments:

Post a Comment