Sunday, December 23, 2018

කැළණි ගංවතුර



කැළණි  ගඟ  කියන්නේ  සැහෙන  දුරක් ඉතාම පහත්  තැනිතලාවක් දිගේ ගලන  විශාල  ජල ප්‍රවාහයක්  සහිත ගඟක්. ඇවරේජ් ඩිස්චාජ්  එක  (වාර්ෂික) අනුව  දෙවැනි විශාලම  ගඟ. කැළණි  ගඟේ  ජලය මුදාහැරීම  මූලිකව  පවතින්නේ  මෝසම්  කාලයට  පමණයි. ඉතිරි  කාලෙට  ගඟ දිගේ  ලවන  ජලය ඉහලට  ගලනවා. ඒ කියන්නේ   කැළණි ගඟ මෝසම්  කාලෙට  එක  පාරට විශාල  ජල  ප්‍රමාණයක්  ඉතාම  පහත, මුහුදු මට්ටමට  ආසන්න ප්‍රදේශයකට මුදාහරින බව. මේ  නිසා  ගඟේ  නැවුම් ආශිතව පිටාර  තැනි  බිහිවෙනවා.  අතීතයේ  කැළණි ගඟ  වර්තමාන  කොළඹ  නගරය  මෙන්ම  ජා ඇල  වත්තල  ආදී  ප්‍රදේශ  හරහා  මෙසේ  පිටාර  ගලන්න  ඇති.  කොළඹ  නගරයේ  හා  අවට  පෙදෙස්  වල  පැතිරුණු   වගුරු  පද්ධතියක්  පවතින්න හේතුව ඒ  කැළණි  ගඟේ  පිටාර තැන්න  නිසා. 

කැළණි  ගඟ හරස්  කරලා හදන මුල්ම  ජනාවාසය  වනුයේ  නිශ්ශංක  අලගක්කෝනාර කැලණියේ  ජලය  බස්සවා  තැනු කෝට්ටේ  [බලකොටුව] පසුව  මෙය  අගනගරයක්  වෙනවා.  ඊට  ටික  කලකට  ප්‍රතුගීසින් කොළඹ  නගරය  තම  වාසස්ථානය කරගන්නවා.  පෘතුගීසින්  කොළඹ  කිව්වේ  වර්තමාන ගාලු  මුවදොර  හරියේ  ඉඳලා  කොටුව දිහාට  තියෙන   කඳුගැටයක්  වැනි පෙදෙස. මේ  වෙද්දී  වර්තමාන දකුණු කොළඹ  වගුරේම  කොටසක්.  කැළණි  ගඟ  එතනින්  පිටාර ගලන්න  ඇති.  මෙම වගුරෙන් කොටසක් ජලාශයක්  බවට  පත්කරන්නේ පෘතුගීසින්.  බෙරේ  වැව  ලෙස හඳුන්වන ජලාශය නිර්මාණය කරගන්නේ  රාජසිංහ  රජුගේ  ආක්‍රමණ  වලින්  නගරය  බේරා ගන්න. මේ  වගුරු  කොළඹ  හා  කෝට්ටේ  මැදින්  ගඟට  සම්බන්ධ  වී  තිබුණු  බවට  පහත  ඕලන්ද  සිතියම  සාධකයක්. එහි  ලොකු  කොටු  වශයෙන්  තියෙන්නේ  වගුරු  හෝ කුඹුරු.






ලන්දේසි යුගය සහ සෙබස්තියන් ඇල 

ලන්දේසින් කොළඹ කොටුව පුළුල්  කරද්දී  කොටුවට  මදක්  උතුරෙන්  වේල්ලක්  බන්දලා කැළණි  ගඟ  එක්ක  ඇති  වගුරු  සම්බන්ධය  බිඳ  දමනවා. අද  වේල්ල  වීදිය  කියන්නේ  එතන. ඒ  සමගම  ඔවුන් එතනින්  ඇල මාර්ගයක්  දානවා. සෙබස්තියන් ඇල  ලෙස  ප්‍රකට  වෙන  මේ  ඇල  බෙරේ වැව  සහ  කැළණි  ගඟ  සම්බන්ධ  කරනවා.  ගූගල් ගෙන්  හොරකම් කල  මේ  සිතියමේ  තියෙන්නේ  ඒ  ඇල.



 වර්තමානයේ  සෙබස්තියන්  ඇලේ  කොටසක්  කොළඹට  නැගෙනහිරින්  ගිහින්  කෝට්ටේ  ඇලට  වගේම  නාවල  දිහාවෙන්  වැල්ලවත්ත  ඇලටත්  තව  දෙහිවල  නැදිමාල  බෙල්ලන්තර  කවුඩාන ඒ  වගේම  කෝට්ටේ මාදිවෙල  වගේ  පැතිවලින් ඇවිත්  වේරස්ස  ගඟටත්  සම්බන්ධ  වෙනවා.  ඒ  වගේම  මුතුවැල්ල  හෙවත්  මුට්වෝල්  හරියෙන්  උමඟකින්  මුහුදට  ගලා බහිනවා.


ඕලන්දක්කාරයින් මේ  ඇල  තනන්නේ  ගොඩබිම්  ප්‍රවාහනය  දුබල  කාලේ  නගරයට  ප්‍රවාහන  මාධ්‍යයක්  ලෙස  භාවිතා  කරන්න.  සෙබස්තියන්  ඇලේ  මැද  හරිය  කැළණි  ගඟට  වඩා  උසයි.





මුතුරාජවෙල 


කැළණි  ගඟ  මෝය  ආසන්නයට ගලද්දී  මුතුරාජවෙල  වගුර  හමුවෙනවා  එය  තියෙන්නේ  කැළණි  ගඟට  උතුරට  වන්නට, එයත්  ගඟේ  නැම්මක  පවතින  පිටාර  තැන්නක්.  මුතුරාජවෙල  ඉස්සර  කැළණි  ගඟේ  සිට  මීගමුව  දක්වාම  පවතින්න  ඇති,  එහෙත්  දැන්  ඉතුරු  පුළු  ප්‍රමාණයක්  පමණයි.  මුතුරාජවෙලට  සමාන්තරව  ඕලන්ද  කාරයින්ගේ  ඇලක්  යනවා.  මුතුරාජවෙල  දැන්  කැළණි  ගඟට  සම්බන්ධ  වන්නේ  නැහැ  ම අ දන්නා  තරමින්. එය වර්තමාන  සිතියම්  වල  එතරම්  විශාල  ලෙස  නැති  නමුත්  මාර්ග  සැලසුමක   පහත  පැරණි  සිතියමෙන්  පෙනෙනවා වඩාත්  පැහැදිලිව.

මුතුරාජවෙල  හරියේදී  ගඟ  මුහුදු  මට්ටමට  ආසන්නයි.    



ඉංග්‍රීසි  යුගය

 
ඉංග්‍රීසි  යුගයේ  කැළණි  ගඟේ  දකුණු  පිටාර  තැන්න  අහුරමින් කරන  ඉඩම්  ගොඩ  කිරීම නිසා  තමයි  අද  තිඹිරිගස්යාය  තුම්මුල්ල  හරියේ  ඉඳලා  නාරාහේන්පිට  වෙනකම්  තීරුව  ගොඩබිමක්  වන්නේ.  මේවාත්  ගඟෙන්  අල්ලපු  ඉඩම්.  කොළඹ  හත  කියන සැලසුම්  කල කොළඹ  ටිකක්  ලස්සන හරිය  හදන්නේ  එහෙම.

මේ  කාලේ  මතය  අනුව  මූලික  වැදගත්  පෙදෙස  වන්නේ  සම්ප්‍රදායික  කොළඹ  නිසා  
[ග්‍රෑන්ඩ් පාස්  පෙදෙසේ සිට] ඉවුරට  ආරක්ෂක  පවුරු  දමනවා නගරය  ගංවතුරෙන්  බේරාගන්න. හදිසි  ගංවතුර  තත්වයකදී  කැළණි  ගඟ  සෙබස්තියන්  ඇල  හරහා  කොළඹ දිහාට  උතුරන  එක  වලකන්න  ග්‍රෑන්ඩ්පාස්  හරියෙන් ලොක්  ගේට්  එකක්  දානවා,  නෝත්  ලොක්  ගේට්  කියන්නේ  ඒකට.

ඒ  අනුව  ගඟ  හරහට  නගරය පුළුල්  කරලා  නගරය පමණක්  බේරනවා. ඒ කාලේ  දැක්මෙන්  ඔරුගොඩවත්තේ  විතර  ඉඳලා  කඩුවෙල  දිහාට  පෙදෙස  බේරාගන්න  ලොකු  උනන්දුවක්  නැහැ  මොකද  ඔය  කියන  කාලේ ඒවායේ  වැඩි  [උසස්  සමාජයේ] ජනගහනයක්  නැති  නිසා වෙන්න ඇති.  ඒ  අනුව  ගඟේ  ස්වාභාවික  ගමන  බාධා කරලා නගරය පුළුල්  කිරීමෙන් නගරයට  කලින්  ගඟේ  පිහිටි  එම  පෙදෙස්  යටවීම  ඔවුන්  බලාපොරොත්තු  වූ තත්වය  වෙන්න ඕනේ.

පහත  "ස  රස" කොමෙන්ටුවක  කියන පරිදි ලොක්  ගේට්ටු  කැළණි  ගඟට  ගලන  හැම  ඇලකම  වගේ  තියෙනවා.  මේ  ලොක්  ගේට්ටු  වලින්  මනාව  පැහැදිලි  වන්නේ  සම්ප්‍රදායික  කොළඹ  පමණක්  බේරාගන්නට  එවකට  පාලකයින්  දැක්වූ  උනන්දුව.  නගරයේ  වතුර  ගඟට  බස්සන්නත්,  ගඟේ  වතුර  නගරය  හරහා  පුරුදු  විදිහට  ගලන  එක  නවතන්නත්  තමයි  ඉවුරු  වල  පවුරු  බන්දලා  ලොක්  ගේට්ටු  දාන්නේ.  මේ  හේතුව  නිසා  කැලණියේ  පිටාර තැනි  වලින්  මුහුදට  ගැලීම  නැවතෙනවා.  ඒ  බ්ලොක්  වෙච්ච  වතුර  තමයි දැන්  ගංවතුරක්  වන්නේ.
උපුටා ගැනීම - http://vagathuga.blogspot.com


No comments:

Post a Comment