මේ ගොඩනැගිල්ල නිර්මාණය වෙන්න පාදක වෙන සංසිද්ධීන් මේ ගොඩනැගිල්ලේ වැඩකටයුතු ආරම්භ කළ කාලයටත් වඩා අතීතයට දිව යනවා.දශක ගණනාවක් තිස්සේ කොළඹ අවට විවිධ තැන් වල පවත්වා ගෙන ගිය කොළඹ තැපැල් කන්තෝරුවට එයටම වෙන් වූ ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කිරීමත් සමග තමයි මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තේ.
ඊට කලින් බොහෝ තැන් වල, විශේෂයෙන්ම පිටකොටුව පැරණි ඕලන්ද කෞතුකාගාරය සහ කාලයක් ජනාධිපති මන්දිරයේ (ඒ කාලේ රජගෙදර) කොටසක පවා තැපැල් කාර්යාලය පවත්වා ගෙන ගියා. ලංකාවේ තැපැල් සේවයේ දියුණුවත් එක්ක තමයි මධ්‍යම තැපැල් කාර්යාලය නමින් විශේෂ ගොඩනැගිල්ලක් තුලට කොළඹ තැපැල් කාර්යාලය ගෙන යන්න තීරණය වුණේ. හැබැයි මේක ක්‍රියාවට නංවද්දී නම් ප්‍රශ්න බොහොමයක් ආවා. මොකද මේ සුවිසල් ගොඩනැගිල්ල හදන්න තීරණය කරපු ස්ථානය මුළුමන්ම වගේ හුණුගල් කුළුණු වලින් වැහිලා තිබුණු ප්‍රදේශයක්. ගොඩනැගිල්ල හදන්න කලින් මේ සේරම හුණුගල් කොටස් වශයෙන් කඩලා ඉවත් කරලා තමයි වැඩේට සුදුසු විදිහට ඉඩම සකස් කර ගන්න පවා සිද්ධ වුණේ.
ඒ කාලේ පොදු වැඩකටයුතු දෙපාර්තමේන්තුව (Public Works Department) තුල සේවය කරපු හර්බට් ෆ්‍රෙඩ්රික් තෝමලින් මහතා (Herbert Frederick Tomalin) තමයි මේ සංකීර්ණ කාර්යය භාර අරගෙන කටයුතු කළේ. ගෘහ නිර්මාණ ශිල්පී ටන්ස්ටල් (Tunstall) මහතාගේත් සහයෝගය ලබාගෙන එතුමා ඉදි කරපු මේ සුවිසල් ගොඩනැගිල්ල ඒ කාලයේ යුරෝපයේ ඉදි වුණු මේ වර්ගයේ ගොඩනැගිලි එක්ක වුණත් කරට කර තියන්න පුළුවන් මහාර්ඝ නිර්මාණයක්.
විශේෂයෙන්ම වැය කෙරුණු මුදල අතින් බැලුවාම නම් යුරෝපීය ගොඩනැගිලි ගණනාවකට වඩා මධ්‍යම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෑහෙන ඉදිරියෙන් තිබුණා. 1891 අවුරුද්දේ ඉදිකිරීම් ඇරඹෙන කාලයේ රුපියල් 50,000ක් වියදම් කරන්න ඇස්තමේන්තු කෙරුණත් (මතක තියා ගන්න ඒ දවස් වල රුපියලක් රන් පවුමකට වඩා වටිනවා. අද කාලේ නම් රුපියල් 50,000කට කාමරයක් ටයිල් කර ගන්නවත් අමාරුයි නේද?) වැඩ අවසන් වෙද්දී මේකට රුපියල් 210,000ක් වියදම් වෙලා තිබුණා. මේ වගේ රුපියල් 160,000ක්ම වැඩිපුර වැය වෙන්න ප්‍රධාන හේතුව වුණේ තෝමලින් මහතා මේ සඳහා උසස්ම අමුද්‍රව්‍ය සහ දක්ෂතම කාර්මිකයන් යොදා ගන්න ඕනේ කියපු එකයි.
කාර්මික ශිල්පීන් 375ක්, එයිනුත් 180ක් තමන්ගේ ක්ෂේත්‍ර වල විශේෂඥයන් වසර 5ක් තිස්සේ මහන්සි වෙලා තමයි මේ මධ්‍යම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කළේ. මේ ගොඩනැගිල්ලට යොදා ගැනුණු වර්ණ දෙකක් සංයෝග වුණු (Two tone) ග්‍රැනයිට් පාෂණ හොයා ගන්න පුළුවන් වුණේ රත්නපුරයේ සහ රුවන්වැල්ලේ තිබුණු ගල් කොරි වලින් විතරයි. ගෙනෙන්න මොන තරම් අමාරු වුණත් සාමාන්‍ය ග්‍රැනයිට් වෙනුවට මේ ග්‍රැනයිට්ම යොදා ගන්න තෝමලින් මහත්මයාට අවශ්‍ය වුණා. ඒ නිසා හරියට පාරක්වත් නොතිබුණු ඒ කාලයේ මේ සියලු ගල් කොළඹට ප්‍රවාහනය කරන්න කැළණි ගඟ තමයි යොදා ගත්තේ. 1890 ගණන් වලදී ඔරු පාරු වලින් මේ තරම් දුරක් බර ගල් කුට්ටි ගේන එක මොන තරම් අමාරු වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
තමන්ට ලැබුණු හොඳම ව්‍යාපෘතිය කියලා සලකලා තෝමලින් මහතා මේ ගොඩනැගිල්ලේ නිර්මාණ කටයුතු සහ ඉදිකිරීමේ වැඩ කළේ අසාමාන්‍ය කැපවීමකින්. ඒ කාලේ පුවත්පත් වාර්තා වල තෝමලින් මහතාට මේ ගොඩනැගිල්ල ගැන තිබුණේ උමතුවකට සමාන ලැදිකමක් කියලත් ලියවිලා තියෙනවා දකින්න ලැබෙනවා. ඊට පෙර කොළඹ ප්‍රදේශයේ ඉදිකරපු හැම ගොඩනැගිල්ලකටම වඩා මේක අති ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බව ඒ කාලේ පොදු වැඩකටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි රොබට් නොක්ස් මැක්බ්‍රයිඩ් මහතා (Robert Knox MacBride) පවා ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගේ වාර්තා වල මේ විදිහට ඒ පිළිබඳව ලියැවිලා තියෙනවා දකින්න පුළුවන්. “සිලෝන් දිවයිනේ වැඩකරුවන්ට මේ තරම් සූක්ෂමව සකස් වුණු නිර්මාණයට දායක වෙලා අත්දැකීම් නැති තරම්. සාපේක්ෂව වැඩි කාලයක් ගත වුණත්, ඔවුන් තෝමලින් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රශංසනීය ලෙස සිය කාර්යය ඉටු කර තිබෙනවා.”
මේ ගොඩනැගිල්ල 1895 අවුරුද්දේ ජූලි මාසයේ වැඩ අවසන් කරලා තැපැල් සේවයේ මෙහෙයුම් කටයුතු වලට යොදා ගැනීම ආරම්භ වෙද්දී ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් පරිපූර්ණව පැවතුණා. ලංකාව යටත්විජිතයක් වෙලා තියෙන අවධියේදීත්, නාමික නිදහස යටතේත්, ජනරජ ව්‍යවස්ථා දෙකකට පස්සෙත් රටේ සමස්ත තැපැල් සේවයේ හදවත විදිහට පුරා අවුරුදු 106ක කාලයක් තිබුණේ මේ මධ්‍යම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල. 2001 අවුරුද්දේ රටේ පවතින ආරක්ෂක ගැටළු නිසා (විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව සහතික කරන්න ඕන නිසා) කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ තියෙන තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයට මෙහෙයුම් කටයුතු ගෙන ගියේ ඊට පස්සෙයි.
චායාරුප: මිනාලි හපුතන්ත්‍රී/පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ
උපුටා ගැනීම - https://roar.media
No comments:
Post a Comment