සියවසක් ඉක්මයන්නටත් පෙර අභාවයට ගිය #රික්ෂෝ සේවය
=============================================
ගමනාගමනයේ ශීඝ්ර දියුණුවත් සමඟම ගම නගරයට සංක්රමණය විණි. ජනාකීර්ණභාවයෙන් සංකීර්ණ වූ නාගරික සමාජය නව විලාසිතා හා නව පන්න උරුමකර ගන්නට විය. එසේ උරුම වී සිය වසක් ඉක්ම යන්නටත් පෙර කෞතුක වස්තුවක් බවට පත්වූවකි රික්ෂෝ රථය.
රික්ෂෝ රථය අප රටේ ආවේණික වාහනයක් නොවේ. එය ප්රථම වරට ශ්රී ලංකාවේ භාවිතයට පැමිණි අන්දම එවක ‘සිලෝන් ඔබ්සර්වර්’ පත්රයේ කතුවර ජෝන් පර්ගියුසන් ලියූ ‘1903 ලංකාව’ නමැති ග්රන්ථයේ සඳහන් වේ.
“කොළඹ නගරයේ ජනාකීර්ණ වීදි හා එහි වැසියන් නැරඹීමට හොඳම එසේම පහසු ක්රමයක් වූ විදුලි ට්රෑම් රථ සේවයක් ඇති කිරීම දිගු කලෙක සිට අර අඳින ලද්දකි. එහෙත් ඒ සඳහා නගරයේ එක් පසෙකින් පමණක් දිවෙන දුම්රියට අමතරව පහසු කුලියකට ගත හැකි විවිධ වාහන අතුරෙන් ජපානයේ හා ඈත පෙරදිග භාවිත අපූර්වතම මිනිස් බලයෙන් යන ‘ජින් රික්ෂෝ’ රථද වෙයි.
කොළඹ, නුවර හා නුවරඑළිය ආදී ලංකාවේ නගරවල විශේෂයෙන් ජනප්රිය වී තිබෙන රික්ෂෝ රථ 1884 දී බහුල වශයෙන් ධාවනය සඳහා යොදවන ලද්දේ චීනය, ජපානය ආදී රටවල රික්ෂෝ භාවිතය දැක එය විශේෂයෙන් කොළඹ නගරයට ගැළපෙන බව පෙන්වා දෙමින් කළ යෝජනාවක ප්රතිඵල වශයෙනි. හොංකොං හි පුරවැසියෙකුව සිටි විටෝල් මහතා විසින් මීට ටික කලෙකට පෙර ප්රථම රික්ෂෝ රථය මෙහි ගෙන්වූ නමුත් ලිපි මඟින් අවධානය යොමු කරවන තුරු ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන ලදී.”
ජේම්ස් විටෝල් විසින් 1883 මැයි මාසයේදී ප්රථම රික්ෂෝ රථය ශ්රී ලංකාවට ගෙනා බව 1885 ලංකා වාර්ෂික ග්රන්ථයේ දැක්වේ.
පසුව කුලියට යොදවන රථවලට අමතරව සමාජයේ ප්රභූවරු සිය පෞද්ගලික ප්රයෝජනය සඳහා ඒවා මිලදී ගන්නට වූහ. ඇතැම් ප්රභූ පවුල් රික්ෂෝ රථ කිහිපයක් තමන් සතුව තිබීම ගෞරවයක් කොට සැලකූහ. මේ හේතු නිසා විටෝල් සමාගමට අමතරව දොන් කරෝලිස් සමාගම හා කාර්ගිල්ස් සමාගම ද ජපානයෙන් රික්ෂෝ ගෙන්වා අලෙවි කරන්නට විය. පසුව දොන් කරෝලිස් සමාගම ඒවා මෙහි ම තනන්නට විය.
මුල් අවදියේ රික්ෂෝ රථ මෙන්ම රියකරු ද අතිශය ප්රිය උපදවන දර්ශනයක් විය. රිය සැදූ ලීය මෙන්ම ඒ මත සවිකොට දිලිසෙමින් තිබූ පිත්තල තහඩු, ආසනය සැකැසූ විල්ලුද රෙදි, වහලෙන් එල්ලූ මුතු පොටවල් හා රිය සක බැඳි මිණි ගෙඩි එය දෙව්ලොවින් බට වාහනයක් සේ අලංකාර කළේ ය. රියකරු සැරසී සිටියේ හමුදා තූර්ය වාදක නිල ඇඳුමට සමාන ඇඟලුම්වලිනි. සුදු පැහැති දිග කලිසමක් හැඳි රියකරු ෂර්වානියක් බඳු දිග කබායක් ඇඟලා බඳ වටා වර්ණවත් බඳපටියක් ද බැඳ සිටියේ ය. හිස පැලැඳි තලප්පාව නිසා ඔහු ඉන්දීය රාජ සේවකයෙකුගේ ස්වරූපය ගත්තේය. ඔහුට ඇතැම් විට පසුපසින් දිව යන අතවැසියෙක් ද සිටියේය. ඔහුගේ කාරිය වූයේ කන්දක් හමුවූ විට රිය තල්ලු කිරීමය.
රික්ෂෝ රථ බහුලවත් ම නගර සභාව විසින් ඒවා සඳහා බලපත්ර නිකුත් කිරීම 1884 සිට අරඹන ලදී. බලපත්ර නිකුත් කිරීම භාර වූයේ නාගරික පශු වෛද්යවරයාටය. රථයේ සුදුසුකම් මෙන්ම රියැදුරුගේ තත්ත්වයද ඒ සඳහා සැලකිල්ලට ගනු ලැබිණි. රික්ෂෝ රථ ගමනාගමනය සඳහා කුලී ගාස්තු නියම කිරීමද නගර සභාව විසින් ඉටු කරන ලදී. එහෙත් එසේ නියමිත ගාස්තුව නිශ්චිත වශයෙන් අය කරන ලද්දේදැයි සැක සහිතය.
අභිමානය පිටුවට සුජී සුජී විසින් ලියන ලද ලිපියකි...
No comments:
Post a Comment