Saturday, January 23, 2021

පිටකොටුව දුම්රිය ස්ථානය දැකලා තියනවද?

 පිටකොටුව දුම්රිය ස්ථානය දැකලා තියනවද?

==================================
කොළඹ නගරයට දුම්රියෙන් යන එන අයගෙන් අපි ඒහෙම ඇහුවොත් ඒ හැමෝම කියාවි ... , "මොකද නැත්තෙ අපි ඔන තරම් දැකල තියනවා.., එතෙන්ට ගිහින් තියනවා.., අපි හැමදාම යන්නෙ ඔතනින් නේ..මේ අද උදෙත් එතනින් තමයි ගියේ......" වගේ උත්තර රාශියක්..
ඒත් ඇත්තටම එහෙම කියන අය එක්කෙනෙක්වත් පිටකොටුව දුම්රිය ස්ථානයට ගිහින් තියා සමහරවිට දැකලවත් නැහැ කියලා අපි කිව්වොත් ඔබ පිළිගන්නවද..?
අද පිටකොටුවෙ තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානය මිසක් පිටකොටුව දුම්රිය ස්ථානය නෙවෙයි. ඒත් මීට අවුරුදු 103කට විතර ඉස්සර පිටකොටුවට වෙනමම දුම්රිය ස්ථානයක් තිබුණා.
කොළඹ නගරය ගැන ලියැවිලා තියන අතලොස්සක් වූ සිංහල ජන කවි අතර අපට හමුවන එක් ජනකවියක් මේ...
රටින දන ඇවිත් ගැවසෙන බලකොටුවේ
යනෙනා දන ගොසින් රැස්වෙති බෝට්ටුවේ
නොයෙනා දන බලන් සිටිතැයි ගේට්ටුවේ
දුවනා හැඩ බලන් දුම්රිය පිටකොටුවේ...
අතීතයේ කොළඹ නගරයෙන් විශාල කොටසක් යටවෙලා තිබෙුනෙ බේරේ වැවෙන්. මරදානෙ ඉදන් ඇරඹුනු මුහුදුබඩ දුම්රිය මාර්ගය සකස්කරල තිබුණෙ ඉස්සර තිබුණ මේ බේරේ වැවේ ඉවුර අසලින්මයි. ඊට සමාන්තරවම අද ඔල්කට් මාවත නමින් හදුන්වන එදා නොරිස් පාරත් ඉදිකරල තිබුණ. අද පිටකොටුවෙ බෝ ගහ හන්දිය පහුකරගෙන කොටුව පැත්තට පොඩ්ඩ දුරක් යනකොට එදා තිබුණ ඒ බේරේ වැවේ ඉවුරේ දුම්රිය වේදිකාවන් දෙකක් තිබුණ දුම්රිය ස්ථානයක් තිබුණා. ඒ තමයි පිටකොටුව දුම්රිය ස්ථානය.
මේ දුම්රිය ස්ථානය ආරම්භ කරේ 1877 මාර්තු මාසයේ මුහුදුබඩ දුම්රිය මාර්ගය විවෘත කරනවත් එක්කමයි. මරදානෙන් ඇරඹුන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මුල්ම දුම්රිය ස්ථානය තමයි පිටකොටුව. එදා ඉදන් අවුරුදු 40ක් යනකම් පිටකොටුවේ ව්යාපාරිකයින් විවිධ සමාගම්වල සේවකයින් ඇතුලු මගී ජනතාව ලක්ෂ ගණනක් මේ දුම්රිය ස්ථානය භාවිතා කරල තියනවා.
1917 මාර්තු 04 වෙනිදා වත්මන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය විවෘත කිරීමත් එක්කම පිටකොටුව දුම්රිය ස්ථානය වසා දැමුනා. ඊට පස්සෙ ඒ දුම්රිය ස්ථානය පිහිටලා තිබුණ භූමිය කොළඹ මැනිං වෙළඳපල ඉදිකරන්න වෙන්කෙරුනු භුමියට එකතු වුනා.
උපුටා ගැනීම ලසරටුව Lazaratto පිටුවෙන්
සටහන නලින් අබේසිංහ මහතා







No comments:

Post a Comment