දැයෙන් සමුගත් එම්පයර් සිනමා ශාලාව
==============================
බහුකාර්ය ශාලාවක් වුව පබ්ලික් හෝල් ශාලාව ඒ වකවානුවේ පැවැති ඉතාම සුඛෝපභෝගි ශාලාව විය. එහි අවට වාසය කළ බහුතරය ඉංග්රිසි උගත් එමෙන්ම ඉහළ සමාජයට අයත් වූවන් ය. ඔවුහු බහුතරය මෙරට ගොඩනැගුණ ලාංකික නුර්ති සදහා ආශක්ත වූවෝ නොවූහ. එබැවින්ම දෝ පබ්ලික් හෝල් සිංහල වේදිකාවේ වැදගත් ලකුණක් නොවූයේය. එමෙන්ම එය චිත්රපට ප්රදර්ශනයට එළැඹිය ද සිංහල චිත්රපට ප්රදර්ශනයේ දී ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේ නැත. එනමුදු එම්පයර් කොළඹ ඉතා ඉහල මට්ටමේ සිනමාහලක් විය. එහි ප්රදර්ශනය කෙරුණේ ද බහුතරය ඉංග්රිසි චිත්රපටය. පබ්ලික් හෝල් ශාලාවේ මංගල දර්ශනය පැවැත්වුව ද ජෝන් ද සිල්වා ආදින්ගේ නාට්ය දැක්ම සඳහා වඩා විපුල හා එතිහාසික කාර්ය භාරයක් සිදුකරනුයේ ද වඩා ජනතාවක් අතරට යොමු වන්නේ ද මරදානේ ටවර් රඟහල ඇතුළු රංග ශාලාවන්ගෙනි. මෙරට නාට්යය හා සිනමාවේ කේන්ද්ර ස්ථානය මරදාන බවට අනුක්රමයන් පරිවර්තනය වූයේය. එමෙන්ම සිංහල සිනමාව වඩා ජනප්රිය කරවනුයේ ද මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් හා ගාමිණි සිනමාහලය. එම්පයර් සිනමාහලට යාබද ව එම භූමියේම කුඩා සිනමාහලක් ද 1930 ගණන්වල දී තිබුණ වග ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වරක් පැවසීය. එම සිනමාහල වෙන්ව තිබුණේ සම්භාවනීය චිත්රපට සදහා පමණි.
මුල්ම චිත්රපට දැක්ම පැවැත් වූ සිනමාහල ලෙස ගෞරවය දිනා ගත යුතු පබ්ලික් හෝල් ශාලාව විසි වැනි සියවසේ දෙවන දශකය වන විට පබ්ලික් හෝල් නම සදහටම අතහැර සම්පූර්ණ සිනමා ශාලාවක් ලෙස ස්ථාවර වන්නට පටන් ගත්තේය. ඒ මදාන් සමාගම මඟින් එය මිළයට ගත් පසුවය. මදාන් සමාගම එම්පයර් සිනමාහලට අමතරව මෙරට සිනමා ශාලා ඉදිකිරිමට ද උත්සුක විය. (මදාන් ලංකාවේ කාර්යභාරය පසුව ලියමි) 1939 වසර වන විට මදාන් සමාගම වස්තු භංගත්වයට පත්විය. ඒ වන විට නැගී එමින් පැවැති දේශිය සිනමා සමාගම වූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින් මදාන් සතු ලංකාවේ දේපළ මිළයට ගන්නා ලදී. ඔවුහු එම්පයර් සිනමාහල පසුකලක නවීකරණය කොට වඩා දියුණු සිනමාහලක් බවට පත් කළහ. කලක් එය කොළඹ ඉතා අංග සම්පූර්ණ හා සුඛෝපභොගී සිනමාහලක් ලෙස වැජඹිණ. එහි මුහුණුවර සහමුලින්ම වෙනස් වන්නට පටන් ගත්තේ එයින් පසුවය. එහි පැරණි දොරටුව කොතැනක වෙත්දැයි සියල්ලටම අමතකව ගියේය. ( 1995 වසරේ පැරණි සිනමා රසිකයකු මේ දොරටුව මට චිත්රපටයක් නරඹන්නට ගිය අවස්ථාවක දී අහම්බෙන් පෙන්වා දුන්නේය. ඔහුගේ ඔත්තුව අනුව මා සමඟ ගිය දැන් අමෙරිකාවේ වෙසෙන ඡායාරූප ශිල්පී ශ්රියන්ත වල්පොල එහි පැරණි අංග සියල්ල සිය කැමරාවට නඟා ගත්තේය. එවකට සිලෝන් තියටර්ස් සමාගමේ ප්රචාරක නිලධාරි තුසිත ද අල්විස් අපට උපකාර කළේය.)
එම්පයර් සිනමාහල ඒ වන විටත් එහි ස්වර්ණමය යුගය හමාර කොට විශ්රාම ලබන්නට නියමිතව සිටියේය. මෙරට සිනමා රසිකයන්ගේ පරිවර්තනය වටහා ගන්නට වඩාත් සුදුසු සිනමාහල වනුයේ ද එම්පයර් සිනමාහලය. ඒ එතරම් සුඛෝපභොගී සිනමාහල වැසුණු අන්දම කල්පනා කරන විට එය පැහැදිලිය. එම්පයර් සිනමාහල පිහිටි ස්ථානය නිතර ජනී ජනයා නොගැවසෙන ප්රධාන බස් රථ මාර්ග වලින් බැහැර වූවකි. චිත්රපට නැරඹීමට නම් සිනමාහලටම යා යුතුව තිබුණු කලක එය ගැටලුවක් නොවිණ. එහි ප්රක්ෂේපණය ඉතා ඉහළ මට්ටමක තිබිණ. එහි අවසන් සමය වන තෙක් තිරගත වූ බොහෝ ඉංග්රිසි චිත්රපට ඉහළ මට්ටමේ විය. මෙරට සිනමා ඉතිහාසයේ දැවැන්ත ප්රදර්ශන වාර්තාවක් තැබූ අභිමාන් චිත්රපටය තිර ගත කරන ලද්දේ එම්පයර් සිනමාහලේය. අභිමාන් 1977 සැප්තැම්බර් මස 01 වැනි දින තිර ගතවීම අවසන්වූයේ අති සාර්ථක දින 530කින් පසුවය. එහෙත් සිනමාව ගෙදරට එන කල සිනමාශාලා සොයා යායුතු නැත. එම්පයර් සිනමාහල ස්වභාවික මරණයකට ළංවූයේය. මෙරට සිනමාවට රාජ්ය මැදිහත්වීම සමඟ එයට ව්යාපාරික දැක්මක් නොමැති වීමේ ශාපය බොහෝ සිනමා ශාලාවලට මෙන්ම එම්පයර් සිනමාහලට වැදී තිබිණ. සිනමාහලට එන කවර මට්ටමේ හොඳ චිත්රපටයක් වුව දින කිහිපයකින් ගැලවීම ස්වාභාවික කරුණක් විය. චිත්රපට ප්රදර්ශනයේ ඇති වන සියලු අර්බුදවලට ද එම්පයර් එයට ගොදුරු විය. එය තවදුරටත් නඩත්තු කර ගත නොහැකි දැවැන්ත හස්ති රාජයකු විය. එමෙන්ම එම බිම්කඩෙහි සිනමාහලක් පවත්වනවාට වඩා ඉහල ආයෝජනයක් කළ හැකි බැව් එහි හිමිකරුවෝ වටහා ගත්හ.
2003 වසරේ ඔක්තෝබර් 31 වැනි දින සවස 6.30 ට ප්රදර්ශනය වූ “මෙන් ඉන් බ්ලැක්“ චිත්රපටයේ නිමාවත් සමග සිනමාහලේ සියලු දොරවල් සදාකාලයටම වසා දැමිණ. චිත්රපට සියයකට වඩා නරඹා එහි නිත්ය ප්රේක්ෂකයකුව සිටි මා අවසන් දර්ශනය නරඹා ආපසු ආවේ මගේ මිහිරි සිනමා සිහින රැසක් පිළිබඳ දුකක් ද සහිතවය. එහි එයට පෙර තිර ගත වූ සිංහල චිත්රපටය වූයේ ශ්රී ලාල් ප්රියදේව අධ්යක්ෂණය කළ නොම්මර එකේ චණ්ඩියාය.
එයින් වසර ගණනාවකට පසු බේබෘෘක් පෙදෙසේ අංක 51 දරණ තැන අහස සිඹින නිවාස සංකීර්ණයක් ඉදිවිණ. එය එම්පයර් නම අරගත්තේ සිනමාහල පිළිබද මතකය රසිකයන්ට ඉතිරි කරමිනි. එහෙත් එම්පයර් සිනමා ශාලාව සමග 19 වැනි සියවසේ හා විසි වැනි සියවසේ ඓතිහාසික සටහනක් ද අහිමි වූ වග අමතක කළ යුතු නැත. ඒ ඉතා හොඳ සිනමාහලක් පිළිබඳ ආදරණීය සටහනකි.
උපුටා ගැනීම aruna gunarathna මහතාගේ ලිපියකින් ..
No comments:
Post a Comment