Saturday, January 23, 2021

විනිසුරු එම් ටී අක්බාර්

 විනිසුරු එම් ටී අක්බාර්

===================
ලංකාවේ ඉතිහාසය දෙස බැලුවිට පුරාණයේ මැලේ මුතුන්මිත්තන් රටේ අභිවෘද්ධිය තකා ජාති ආගම් භේද පසෙකලා දේශය වෙනුවෙන් අමිල සේවයක් ඉටුකර ඇතිබව මනාව පැහැදිලි වේ.එලෙස අමිල සේවාවක් කල මැලේ ජාතිකයන් අතරේ උදාර සේවාවක් කල නායකයෙකු වන එම්,ටී,අක්බාර් ( මාස් තජුන් අක්බාර් ) මහතාය ( 1880-1944 )
ජස්ටික් අක්බාර් යන නාමය කොළඹ 02 ප්රදේශයේ මාර්ගයක් ඔබ දැක තිබෙන්නට පුළුවන්.ඔබගේ ජිවිතයේ අනන්ත අප්රමාන වාරයක් එම මාර්ගයේ නම අසා තිබෙන්නට පුළුවන්.එසේම ඔබගේ දෙසවනේ මෙම නම ඇසුණු සෑම මොහොතකම බුද්ධිමත් ඔබට ඇතිවන කුතුහලය නම් කව්ද මේ ජස්ටික් අක්බාර් ?
මොහුගේ නමින් මාර්ගයක් තිබෙන්නට තරම් මොහු සිදුකල සේවාව කුමක්ද ?මෙම ලිපියේ අරමුණ ජස්ටික් අක්බාර් යන නමිත් ප්රචලිත මාස් තාජුන් අක්බාර් මහතා පිලිබදවයි.
එම්.ටි.අක්බාර් මහතා දිවයිනේ අධ්යාපන හා අධිකරණ ක්ෂේත්රයේ ඉටුකළ මෙහෙය ඔහුගේ ජිවිතයේ විශේෂ තැනක් ගනී.
පොල්වතු හිමි ධවතෙකු වූ මාස් සුර්මා ජයා අක්බාර් (නුගේගොඩ උපන්ගම) සහ මෑණියන් වන බින්තරා ගුනවිජය (කල්පිටිය උපන්ගම) යන මැලේ ජාතික දෙමව්පියන්ට දාව 1880 ජුනි 15 දින කොළොඹ 02 කොම්පැඥවිදියේ උපන් එතුමා කොළඹ රාජකීය විද්යාලයේ ශිෂයෙකු වී සිටියදී කැපිපෙනෙන දස්කම් පා නොයෙක් ත්යාග ලබා ගත්තේය.ලන්ඩන් මට්රිකුලේෂන් විභාගයෙන් පළමු පන්තියේ සාමාර්ථයක් ලැබූ එතුමා 1897 දී කේම්බ්රිජ් විශ්ව විද්යාලයට ඇතුළුවීමට ශිෂ්යත්වයක් ලබා ගත්තේය. එහිදී ඔහු ඉංජිනේරු ශිල්පය හැදෑරු නමුත් පසුව අධිකරණ යෝග්යතා ලබාගෙන ග්රේස් නිත්ඥ මණ්ඩලයේ නිතිඥයයෙකු බවට පත්වූයේය.
1905 දී, නැවත ලංකාවට පැමිණි ඔහු නිතිඥය වෘත්තියේ යෙදුනු අතර ලංකා නීති විද්යාලයේ අපරාධ නිතිය හා මුස්ලිම් නිතිය පිලිබදව කර්තකාචාර්ය වරයෙකු හැටියටත් , පරීක්ෂකයෙකු වශයෙනුත් සේවය කළේය. 1907 දී, රජයේ නීතිඥයකු වූ අක්බාර් මහතා පසුව සිය කුසලතා මත සොලිස්ටර් ජනරාල් පදවියටත් , ඉන් දිස්ත්රික් විනිශ්චයකාර තනතුරටත් පත්විය.නීතිපතිව සිටි සී.එච්.එල්පින්ස්ටන් මහතා දීර්ඝ නිවාඩුවකට පසුවූ අවස්ථාවකදී වැඩබලන නීතිපති හැටියට කටයුතු කලේද අක්බාර් මහතාය.
විශ්ව විද්යාල කොමිෂන් සභාවේ සභාපති වශයෙන්ද අක්බාර් මහතා සේවය කළේය.ලංකා විශ්ව විද්යාල නේවාසිකාගාරයද සහිත සරසවියක් විය යුතු යැයිද එය දුම්බර මිටියාවතේ පිහිටවිය යුතු යැයිද 1928 දී ව්යවස්ථාදායක සභාව නිගමනය කලේ අක්බාර් මහතාගේ නිර්දේශයට අනුව අක්බාර් කමිටුව විසිනි.
අක්‌බාර් කමිටුවෙහි තීරණය මගින් කොළඹ - මහනුවර කඳවුරු දෙක අතර උණුසුම් මතවාදීමය අරගලයක්‌ උද්ගත කරනු ලැබිණි. පුවත්පත් හා ප්රසිද්ධ රැස්‌වීම් මාර්ගයෙන් ඔවුහු ස්‌වකීය මතය තහවුරු කිරීමට තැත් කළහ. කොළඹ කඳවුරේ පළමුවැනි ප්රසිද්ධ රැස්‌වීම 1927 ජුනි 06 වැනිදා ෙ-ම්ස්‌ පීරිස්‌ගේ මූලාසනයෙන් බෙන්ජියන් ශාලාවේදී පවත්වන ලදී. ජේම්ස් පීරිස්‌, මාකස්‌ ප්රනාන්දු, පොන්නම්බලම් රාමනාදන්, ටී. බී. ජයා යනාදීහු එහිදී සිය අදහස්‌ දැක්‌වූහ
පේරාදෙණිය විශ්වවිද්යාලයීය ඉතිහාසයේ සන්ධිස්‌ථාන සතරකි. ඒ මෙසේය.
1942 සිට 1952 දක්‌වා ලංකා විශ්වවිද්යාලය
1952 සිට 1972 දක්‌වා ලංකා විශ්වවිද්යාලය, පේරාදෙණිය
1972 සිට 1978 දක්‌වා ශ්රී ලංකා විශ්වවිද්යාලයේ පේරාදෙණි මණ්‌ඩපය
1978 න් පසු පේරාදෙණි විශ්වවිද්යාලය
1942 සිට පේරාදෙණිය වෙත රැගෙන ඒම දක්‌වා වූ කාල සීමාවේදී ලංකා විශ්වවිද්යාලය වශයෙන්ද අනතුරුව ලංකා විශ්වවිද්යාලය, පේරාදෙණිය ලෙසද එම ආයතනය හඳුන්වා තිබේ. 1972දී පත් වූ රජයේ නව සැලසුම් මගින් එවකට පැවති විශ්වවිද්යාල සතර ඒකාබද්ධ විශ්වවිද්යාලයක මණ්‌ඩප බවට පත් කරන ලදී.
එමගින් ලංකාවේ විශ්වවිද්යාලය වන පේරාදෙණිය විශ්ව විද්යාලය ආරම්භවන්නේ මැලේ ජාතික අක්බාර් මහතාගේ මුලිකත්වයෙනි.
ස්වකීය සංස්කෘතික අන්යයන් වටහා ගැනීම බහුසංස්කෘතික රටක පුරවැසියන්ගේ වගකීමකි. නේවාසික විශ්වවිද්යාලයක් යනු ඊට අනගි අවස්ථාවක් බව ද එහි උපසංස්කෘතිය තුළ ඒ සඳහා අවශ්ය ඉඩකඩ නිර්මාණය කර දිය යුතු බව ද අයිවර් ජෙනින්ග්ස් අවබෝධ කරගෙන සිටි බව ඉන් පෙනී යයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්රිස්තියානි වශයෙන් ආගමික සිද්ධස්ථාන පහක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉදි වූයේ මෙරට බහුසංස්කෘතික විචිත්රත්වයට ඉඩ දෙමිනි.
මේ විශ්වවිද්යාලය බිහි කිරීම සඳහා සිංහල, දෙමළ, යෝනක,මැලේ, බර්ගර්, පෘතුගීසි, ඉංග්රීසි ජාතිකයින් මෙන්ම ලංකා වෛද්ය විද්යාලය, සිලෝන් යුනිවර්සිටි කොලේජ්, කල්කටා ආට් සොසයිටි, කොළඹ රොටරි සමාජය, අන්තර්ජාතික නීතිය සඳහා වූ කානගී ආයතනය, ගාල්ල මහින්ද විද්යාලයේ ආදි ශිෂ්ය සංගමය සහ සිලෝන් ටර්ෆ් ක්ලබ් ආදී සංවිධාන මූල්යමය සහ ද්රව්යමය දායකත්වය ලබා දී ඇත. මෙයින් පෙනී යන්නේ එවක අප රටේ පැවැති ජාතීන් අතර පැවති එක්සත් භාවය සහ සහජීවනයයි නිසා බිහිවූ ශ්රේෂ්ඨ නිර්මාණයක් බවයි.
මැලේ ජාතික නීති විශාරදයෙක් වූ විනිසුරු එම් ටී අක්බාර්, බර්ගර් ජාතිකයෙක් වූ දොස්තර අන්ද්රියාස් නෙල් , සිංහල දානපතිනියක් වූ හිල්ඩා ඔබේසේකර , සිංහල ජන නායකයන් හා උගතුන් වූ ඩී.ආර්. විජේවර්ධන හා සර් ඩී බී ජයතිලක , පළමු ශ්රී ලාංකික වැඩබලන ආණ්ඩුකාරයා වූ සර් ජේමිස් පීරිස් , වයිද්යවරයෙක් වූ සර් මාර්කස් පර්නාන්දු , බ්රිතාන්ය ජාතික රොබර්ට් මාස් , දෙමල ජාතික නායකයන් හා උගතුන් වූ රාමනාදන් හා අරුනාචලම් දෙසොහොයුරන් මේ පිරිසයි. මේ සියලු දෙනාම පාහේ ලංකාවෙන් එපිට ලෝකය ගැන අත්දැකීම් ලබා තිබුණහ. ඉගෙනීමේ අති දස්කම් පෑහ. මේ රටේ ස්වාධීන සරසවියක් බිහි කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කල උදාර නායකයන් වුහ.
තමා සභාපතිත්වය දැරූ විශ්ව විද්යාලය කොමිෂන් සභාවේ නිර්දේශ ව්යවස්ථායක සභාවට ඒත්තු ගැන්වීමෙහි ලා අක්බාර් මහතාට තම චතුර කථිකත්වය බෙහෙවින් ප්රයෝජනවත් විය. තමා අපේක්ෂා කරන විශ්ව විද්යාලය ආසියාවේ විශිෂ්ඨතම උසස් අධ්යාපන ආයතනයක් විය යුතු යන්න අරමුණ කොටගෙන අක්බාර් මහතා සියලුම ලාංකික දරුවන්ගේ අධ්යාපනය නගා සිටුවීමට පොදු හැගීමෙන් හා අවංක චේතනාවෙන් යුක්තව කටයුතු කළේය. ඒ හේතුවෙන්ම පේරාදෙණිය විශ්විද්යාලයේ ශාලාවක් අක්බාර් ශාලාව ලෙසද, උයන අසල අක්බාර් පාලම ලෙසද අදටත් හදුන්වන්නේ එතුමාගේ උදාර සේවය සුවහසක් ශ්රී ලාංකික තරුණ තරුණියන්ගේ උසස් අධ්යාපන සිහිනය සැබෑවක් කල එතුමා සිහිකරනු පිණිසය.
අක්බාර් බරාදය.
අධ්යයන අංශ විශාල ප්රමාණයක් සම්බන්ධ කරමින් සෘජුවම හැල්මේ දුවන කොරිඩෝව හදුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස නිමවී ඇති ආකාරය පුදුම සහගතය.
අක්බාර් පාලම.
මහවැලි ගග එගොඩ අනිත් පීඨයන් වෙත සිසුන් මාරුවෙන පාලම අක්බාර් පාලමයි.මෙය නිර්මාණය කල අක්බාර් මහතාගේ තවත් සුන්දර නිමවුමක වෑයමක්.
එවක අප රටේ දේශපාලනයේ නියැළී සිටි පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, විල්මට් ඒ. පෙරේරා වැනි අයද වෘත්තිකයන් වූ හා බුද්ධිමතුන් අතර රොබට් මාර්ස්, වෛද්ය ඇන්ඩ්රිස් නෙල් ආදීන් ද ව්යාපාරිකයන් හා එවක ප්රභූන් වූ ඩී. ආර්. විජයවර්ධන මහතා, හිල්ඩා ඔබේසේකර මහත්මිය, කාන් බහඩුර් සියාඩ් අබුබකර් මවුලානා මහතා, වෛද්ය පී. ආර්. ත්යාගරාජා, වෛද්ය පී. විග්නරාජා, ශ්රීමත් තෝමස් විලියර්ස් (හපුතලේ ඇඩිසම් බංගලාව සෑදූ බ්රිතාන්ය ජාතික) වෛද්ය ඒ. සී. එම්. සුලේමන්, ශ්රීමත් මොහොමඩ් මාකර්, ශ්රීමත් නිකලස් ආටිගල වැනි විවිධ ජාතීන්ද තමන්ගේ පෞද්ගලික ධනය පරිත්යාග කිරීමෙන් පෙනී යන්නේ මේ විද්යාල බිහිවීම මඟින් ජාතීන් අතර එක්සත්භාවය හා සමඟිය පිළිබිඹු කරන බවයි. එසේම පිටරට ඉගෙනීමට යාමට නොහැකි ප්රභූ දරු දැරියන් ගැන සිතා එදා මේ විද්යාලය ආරම්භ කරන ලදී. එහෙත් පසු කාලයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්යාපන ප්රතිපත්තිය අනුව දක්ෂතාවය මත කිසිදු භේදයකින් තොරව විශ්වවිද්යාලයට ඇතුළත් වීමට පොදු ජනතාවට අවස්ථාව උදා විය.
ශ්රේෂ්ඨාධිකරණයේ නිතිඥය මණ්ඩලයේ සිටි ප්රථම මුස්ලිම් ආගමික හා රාජනිතිඥ තත්වයට උසස් වූ ප්රථම මැලේ ජාතික මුස්ලිම්වරයා යන ගෞරවය තමන් සතු කර ගැනීමට ජස්ටික් අක්බාර් මහතා සමත් විය.
ශ්රිලංකාවේ මුස්ලිම් නීති සංග්රහයට අක්බාර් මහතාගේ නිවුණු සේවය අතිවිශිෂ්ඨය .මුස්ලිම් දේපල අයිතිය පිලිබද පනත, වක්ෆ් පනත ,විවාහ හා දික්කසාද පනත යනාදී නීති සම්පාදනය කිරීමෙහිලා ප්රමුඛත්වය ගත්තේ මෙතුමාය.ඒ වනතෙක් වැන්දඹු හා අනත් දරු විශ්රාම වැටුප් අරමුදලේ බල සීමාවලට ඇතුලත් නොවුණු මුස්ලිම් ආගමික රජයේ සේවකයන්ට ඒ අයිතිය ලබාදීමේ ගෞරවයද අක්බාර් මහතාට හිමිවේ.
යෝනක මුස්ලිම් ප්රජාව අධ්යාපන ක්ෂේත්රහිද බෙහෙවින් පසුබා සිටින බව වටහා ගත් මේ ජනහිතකාමියා ලංකා මුස්ලිම් අධ්යාපන සංගමයේ ආරම්භක ලේඛම් වශයෙන් වසර කිහිපයක් සේවයකොට හුසේන් පිරිමි පාසලද,ෆාතිමා කාන්තා විදුහලද,ආරම්භ කළේය. ජාවත්ත මුස්ලිම් සුසාන භුමියේ මස්ජිදයක් ඉදිකිරීමට ක්රියාකළේ මෙතුමාය. එපමණක් නොව ගොවිතැන් සදහා මැලේ ජාතිකයන් ජනපදකල අම්බලන්තොට මැලේකොලනිය ග්රාමයේ අක්බාර් මහා විද්යාලය ආරම්භ කලේ මෙතුමාය. අක්බාර් මහතා සොලිසිටර් ජෙනරාල් වශයෙන් ව්යවස්ථාදායක සභාවේ නිලනොලත් සභිකයෙක් විය. 1924 දී ව්යවස්ථාදායක සභාව විසින් පත්කරන ලද කාරක සභාවක් මුහම්මදිකයන් යන පදය වෙනුවට මුස්ලිම් යනුවෙන් වෙනස් කල යුතුයැයි 34 වැනි සැසිවාරයේදී නිර්දේශ කළහ.ඒ කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කලේද අක්බාර් මහතාය.අබ්දුල් කාදර්,මාකන් මකාර්,ටි.බි.ජායා ,මුහම්මද් සුල්තාන් යන අයද එහි සභිකයෝ වුහ. කාරක සභාවේ නිර්දේශය වුයේ මුහම්මදියා යන්න සහමුලින්ම නොදිය යුතු වදනකි.එය කුමන ආකාරයකින්වත් භාවිතයට නොගත යුත්තකි.නබි තුමාණන් දේශනා කරන ලද ආගම පිළිපදින්නන් හැදින්වියයුතු නාමය මුස්ලිම්ය.ආගම ගැන සදහන් කරන හැමවිටකම භාවිතා කල යුත්තේ ඉස්ලාම් යන්නයි.එනම් ඉස්ලාම් ආගම අදහන ප්රජාව හදුන්වන්නේ මුස්ලිම් ලෙසය.
අක්බාර් මහතාගේ සර්වබෞම නිපුනතාව ඉහත කි දේවලින් පමණක් නොව මුෂ්ඨි ප්රහාරයේ හා ජුඩෝ ක්රීඩාවේද ඔහු දැක්වූ දක්ෂතාවෙන්ද ප්රකට වුහ.තම රටදැය වෙනුවෙන් හා ආගම වෙනුවෙන් අමිල සේවයක් කල මාස් තාජුන් අක්බාර් මහතා 1924 අප්රේල් මස 22 වන දින මෙලොවින් සමුගත්තේය. එතුමාගේ රුව ලොවින් සමුගත් නමුත් එතුමා ඉටුකළ අමිල සේවය හේතුවෙන් අදටත් ජස්ටික් අක්බාර් යන ඔහුගේ නාමය අපගේ හදවතේ රැදී පවතී.

No comments:

Post a Comment