Saturday, January 23, 2021

සියවසක් ඉක්මයන්නටත් පෙර අභාවයට ගිය රික්ෂෝ සේවය

 සියවසක් ඉක්මයන්නටත් පෙර අභාවයට ගිය #රික්ෂෝ සේවය

=============================================
ගමනාගමනයේ ශීඝ්ර දියුණුවත් සමඟම ගම නගරයට සංක්රමණය විණි. ජනාකීර්ණභාවයෙන් සංකීර්ණ වූ නාගරික සමාජය නව විලාසිතා හා නව පන්න උරුමකර ගන්නට විය. එසේ උරුම වී සිය වසක් ඉක්ම යන්නටත් පෙර කෞතුක වස්තුවක් බවට පත්වූවකි රික්ෂෝ රථය.
රික්ෂෝ රථය අප රටේ ආවේණික වාහනයක් නොවේ. එය ප්රථම වරට ශ්රී ලංකාවේ භාවිතයට පැමිණි අන්දම එවක ‘සිලෝන් ඔබ්සර්වර්’ පත්රයේ කතුවර ජෝන් පර්ගියුසන් ලියූ ‘1903 ලංකාව’ නමැති ග්රන්ථයේ සඳහන් වේ.
“කොළඹ නගරයේ ජනාකීර්ණ වීදි හා එහි වැසියන් නැරඹීමට හොඳම එසේම පහසු ක්රමයක් වූ විදුලි ට්රෑම් රථ සේවයක් ඇති කිරීම දිගු කලෙක සිට අර අඳින ලද්දකි. එහෙත් ඒ සඳහා නගරයේ එක් පසෙකින් පමණක් දිවෙන දුම්රියට අමතරව පහසු කුලියකට ගත හැකි විවිධ වාහන අතුරෙන් ජපානයේ හා ඈත පෙරදිග භාවිත අපූර්වතම මිනිස් බලයෙන් යන ‘ජින් රික්ෂෝ’ රථද වෙයි.
කොළඹ, නුවර හා නුවරඑළිය ආදී ලංකාවේ නගරවල විශේෂයෙන් ජනප්රිය වී තිබෙන රික්ෂෝ රථ 1884 දී බහුල වශයෙන් ධාවනය සඳහා යොදවන ලද්දේ චීනය, ජපානය ආදී රටවල රික්ෂෝ භාවිතය දැක එය විශේෂයෙන් කොළඹ නගරයට ගැළපෙන බව පෙන්වා දෙමින් කළ යෝජනාවක ප්රතිඵල වශයෙනි. හොංකොං හි පුරවැසියෙකුව සිටි විටෝල් මහතා විසින් මීට ටික කලෙකට පෙර ප්රථම රික්ෂෝ රථය මෙහි ගෙන්වූ නමුත් ලිපි මඟින් අවධානය යොමු කරවන තුරු ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන ලදී.”
ජේම්ස් විටෝල් විසින් 1883 මැයි මාසයේදී ප්රථම රික්ෂෝ රථය ශ්රී ලංකාවට ගෙනා බව 1885 ලංකා වාර්ෂික ග්රන්ථයේ දැක්වේ.
පසුව කුලියට යොදවන රථවලට අමතරව සමාජයේ ප්රභූවරු සිය පෞද්ගලික ප්රයෝජනය සඳහා ඒවා මිලදී ගන්නට වූහ. ඇතැම් ප්රභූ පවුල් රික්ෂෝ රථ කිහිපයක් තමන් සතුව තිබීම ගෞරවයක් කොට සැලකූහ. මේ හේතු නිසා විටෝල් සමාගමට අමතරව දොන් කරෝලිස් සමාගම හා කාර්ගිල්ස් සමාගම ද ජපානයෙන් රික්ෂෝ ගෙන්වා අලෙවි කරන්නට විය. පසුව දොන් කරෝලිස් සමාගම ඒවා මෙහි ම තනන්නට විය.
මුල් අවදියේ රික්ෂෝ රථ මෙන්ම රියකරු ද අතිශය ප්රිය උපදවන දර්ශනයක් විය. රිය සැදූ ලීය මෙන්ම ඒ මත සවිකොට දිලිසෙමින් තිබූ පිත්තල තහඩු, ආසනය සැකැසූ විල්ලුද රෙදි, වහලෙන් එල්ලූ මුතු පොටවල් හා රිය සක බැඳි මිණි ගෙඩි එය දෙව්ලොවින් බට වාහනයක් සේ අලංකාර කළේ ය. රියකරු සැරසී සිටියේ හමුදා තූර්ය වාදක නිල ඇඳුමට සමාන ඇඟලුම්වලිනි. සුදු පැහැති දිග කලිසමක් හැඳි රියකරු ෂර්වානියක් බඳු දිග කබායක් ඇඟලා බඳ වටා වර්ණවත් බඳපටියක් ද බැඳ සිටියේ ය. හිස පැලැඳි තලප්පාව නිසා ඔහු ඉන්දීය රාජ සේවකයෙකුගේ ස්වරූපය ගත්තේය. ඔහුට ඇතැම් විට පසුපසින් දිව යන අතවැසියෙක් ද සිටියේය. ඔහුගේ කාරිය වූයේ කන්දක් හමුවූ විට රිය තල්ලු කිරීමය.
රික්ෂෝ රථ බහුලවත් ම නගර සභාව විසින් ඒවා සඳහා බලපත්ර නිකුත් කිරීම 1884 සිට අරඹන ලදී. බලපත්ර නිකුත් කිරීම භාර වූයේ නාගරික පශු වෛද්යවරයාටය. රථයේ සුදුසුකම් මෙන්ම රියැදුරුගේ තත්ත්වයද ඒ සඳහා සැලකිල්ලට ගනු ලැබිණි. රික්ෂෝ රථ ගමනාගමනය සඳහා කුලී ගාස්තු නියම කිරීමද නගර සභාව විසින් ඉටු කරන ලදී. එහෙත් එසේ නියමිත ගාස්තුව නිශ්චිත වශයෙන් අය කරන ලද්දේදැයි සැක සහිතය.

අභිමානය පිටුවට සුජී සුජී විසින් ලියන ලද ලිපියකි...

විනිසුරු එම් ටී අක්බාර්

 විනිසුරු එම් ටී අක්බාර්

===================
ලංකාවේ ඉතිහාසය දෙස බැලුවිට පුරාණයේ මැලේ මුතුන්මිත්තන් රටේ අභිවෘද්ධිය තකා ජාති ආගම් භේද පසෙකලා දේශය වෙනුවෙන් අමිල සේවයක් ඉටුකර ඇතිබව මනාව පැහැදිලි වේ.එලෙස අමිල සේවාවක් කල මැලේ ජාතිකයන් අතරේ උදාර සේවාවක් කල නායකයෙකු වන එම්,ටී,අක්බාර් ( මාස් තජුන් අක්බාර් ) මහතාය ( 1880-1944 )
ජස්ටික් අක්බාර් යන නාමය කොළඹ 02 ප්රදේශයේ මාර්ගයක් ඔබ දැක තිබෙන්නට පුළුවන්.ඔබගේ ජිවිතයේ අනන්ත අප්රමාන වාරයක් එම මාර්ගයේ නම අසා තිබෙන්නට පුළුවන්.එසේම ඔබගේ දෙසවනේ මෙම නම ඇසුණු සෑම මොහොතකම බුද්ධිමත් ඔබට ඇතිවන කුතුහලය නම් කව්ද මේ ජස්ටික් අක්බාර් ?
මොහුගේ නමින් මාර්ගයක් තිබෙන්නට තරම් මොහු සිදුකල සේවාව කුමක්ද ?මෙම ලිපියේ අරමුණ ජස්ටික් අක්බාර් යන නමිත් ප්රචලිත මාස් තාජුන් අක්බාර් මහතා පිලිබදවයි.
එම්.ටි.අක්බාර් මහතා දිවයිනේ අධ්යාපන හා අධිකරණ ක්ෂේත්රයේ ඉටුකළ මෙහෙය ඔහුගේ ජිවිතයේ විශේෂ තැනක් ගනී.
පොල්වතු හිමි ධවතෙකු වූ මාස් සුර්මා ජයා අක්බාර් (නුගේගොඩ උපන්ගම) සහ මෑණියන් වන බින්තරා ගුනවිජය (කල්පිටිය උපන්ගම) යන මැලේ ජාතික දෙමව්පියන්ට දාව 1880 ජුනි 15 දින කොළොඹ 02 කොම්පැඥවිදියේ උපන් එතුමා කොළඹ රාජකීය විද්යාලයේ ශිෂයෙකු වී සිටියදී කැපිපෙනෙන දස්කම් පා නොයෙක් ත්යාග ලබා ගත්තේය.ලන්ඩන් මට්රිකුලේෂන් විභාගයෙන් පළමු පන්තියේ සාමාර්ථයක් ලැබූ එතුමා 1897 දී කේම්බ්රිජ් විශ්ව විද්යාලයට ඇතුළුවීමට ශිෂ්යත්වයක් ලබා ගත්තේය. එහිදී ඔහු ඉංජිනේරු ශිල්පය හැදෑරු නමුත් පසුව අධිකරණ යෝග්යතා ලබාගෙන ග්රේස් නිත්ඥ මණ්ඩලයේ නිතිඥයයෙකු බවට පත්වූයේය.
1905 දී, නැවත ලංකාවට පැමිණි ඔහු නිතිඥය වෘත්තියේ යෙදුනු අතර ලංකා නීති විද්යාලයේ අපරාධ නිතිය හා මුස්ලිම් නිතිය පිලිබදව කර්තකාචාර්ය වරයෙකු හැටියටත් , පරීක්ෂකයෙකු වශයෙනුත් සේවය කළේය. 1907 දී, රජයේ නීතිඥයකු වූ අක්බාර් මහතා පසුව සිය කුසලතා මත සොලිස්ටර් ජනරාල් පදවියටත් , ඉන් දිස්ත්රික් විනිශ්චයකාර තනතුරටත් පත්විය.නීතිපතිව සිටි සී.එච්.එල්පින්ස්ටන් මහතා දීර්ඝ නිවාඩුවකට පසුවූ අවස්ථාවකදී වැඩබලන නීතිපති හැටියට කටයුතු කලේද අක්බාර් මහතාය.
විශ්ව විද්යාල කොමිෂන් සභාවේ සභාපති වශයෙන්ද අක්බාර් මහතා සේවය කළේය.ලංකා විශ්ව විද්යාල නේවාසිකාගාරයද සහිත සරසවියක් විය යුතු යැයිද එය දුම්බර මිටියාවතේ පිහිටවිය යුතු යැයිද 1928 දී ව්යවස්ථාදායක සභාව නිගමනය කලේ අක්බාර් මහතාගේ නිර්දේශයට අනුව අක්බාර් කමිටුව විසිනි.
අක්‌බාර් කමිටුවෙහි තීරණය මගින් කොළඹ - මහනුවර කඳවුරු දෙක අතර උණුසුම් මතවාදීමය අරගලයක්‌ උද්ගත කරනු ලැබිණි. පුවත්පත් හා ප්රසිද්ධ රැස්‌වීම් මාර්ගයෙන් ඔවුහු ස්‌වකීය මතය තහවුරු කිරීමට තැත් කළහ. කොළඹ කඳවුරේ පළමුවැනි ප්රසිද්ධ රැස්‌වීම 1927 ජුනි 06 වැනිදා ෙ-ම්ස්‌ පීරිස්‌ගේ මූලාසනයෙන් බෙන්ජියන් ශාලාවේදී පවත්වන ලදී. ජේම්ස් පීරිස්‌, මාකස්‌ ප්රනාන්දු, පොන්නම්බලම් රාමනාදන්, ටී. බී. ජයා යනාදීහු එහිදී සිය අදහස්‌ දැක්‌වූහ
පේරාදෙණිය විශ්වවිද්යාලයීය ඉතිහාසයේ සන්ධිස්‌ථාන සතරකි. ඒ මෙසේය.
1942 සිට 1952 දක්‌වා ලංකා විශ්වවිද්යාලය
1952 සිට 1972 දක්‌වා ලංකා විශ්වවිද්යාලය, පේරාදෙණිය
1972 සිට 1978 දක්‌වා ශ්රී ලංකා විශ්වවිද්යාලයේ පේරාදෙණි මණ්‌ඩපය
1978 න් පසු පේරාදෙණි විශ්වවිද්යාලය
1942 සිට පේරාදෙණිය වෙත රැගෙන ඒම දක්‌වා වූ කාල සීමාවේදී ලංකා විශ්වවිද්යාලය වශයෙන්ද අනතුරුව ලංකා විශ්වවිද්යාලය, පේරාදෙණිය ලෙසද එම ආයතනය හඳුන්වා තිබේ. 1972දී පත් වූ රජයේ නව සැලසුම් මගින් එවකට පැවති විශ්වවිද්යාල සතර ඒකාබද්ධ විශ්වවිද්යාලයක මණ්‌ඩප බවට පත් කරන ලදී.
එමගින් ලංකාවේ විශ්වවිද්යාලය වන පේරාදෙණිය විශ්ව විද්යාලය ආරම්භවන්නේ මැලේ ජාතික අක්බාර් මහතාගේ මුලිකත්වයෙනි.
ස්වකීය සංස්කෘතික අන්යයන් වටහා ගැනීම බහුසංස්කෘතික රටක පුරවැසියන්ගේ වගකීමකි. නේවාසික විශ්වවිද්යාලයක් යනු ඊට අනගි අවස්ථාවක් බව ද එහි උපසංස්කෘතිය තුළ ඒ සඳහා අවශ්ය ඉඩකඩ නිර්මාණය කර දිය යුතු බව ද අයිවර් ජෙනින්ග්ස් අවබෝධ කරගෙන සිටි බව ඉන් පෙනී යයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්රිස්තියානි වශයෙන් ආගමික සිද්ධස්ථාන පහක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉදි වූයේ මෙරට බහුසංස්කෘතික විචිත්රත්වයට ඉඩ දෙමිනි.
මේ විශ්වවිද්යාලය බිහි කිරීම සඳහා සිංහල, දෙමළ, යෝනක,මැලේ, බර්ගර්, පෘතුගීසි, ඉංග්රීසි ජාතිකයින් මෙන්ම ලංකා වෛද්ය විද්යාලය, සිලෝන් යුනිවර්සිටි කොලේජ්, කල්කටා ආට් සොසයිටි, කොළඹ රොටරි සමාජය, අන්තර්ජාතික නීතිය සඳහා වූ කානගී ආයතනය, ගාල්ල මහින්ද විද්යාලයේ ආදි ශිෂ්ය සංගමය සහ සිලෝන් ටර්ෆ් ක්ලබ් ආදී සංවිධාන මූල්යමය සහ ද්රව්යමය දායකත්වය ලබා දී ඇත. මෙයින් පෙනී යන්නේ එවක අප රටේ පැවැති ජාතීන් අතර පැවති එක්සත් භාවය සහ සහජීවනයයි නිසා බිහිවූ ශ්රේෂ්ඨ නිර්මාණයක් බවයි.
මැලේ ජාතික නීති විශාරදයෙක් වූ විනිසුරු එම් ටී අක්බාර්, බර්ගර් ජාතිකයෙක් වූ දොස්තර අන්ද්රියාස් නෙල් , සිංහල දානපතිනියක් වූ හිල්ඩා ඔබේසේකර , සිංහල ජන නායකයන් හා උගතුන් වූ ඩී.ආර්. විජේවර්ධන හා සර් ඩී බී ජයතිලක , පළමු ශ්රී ලාංකික වැඩබලන ආණ්ඩුකාරයා වූ සර් ජේමිස් පීරිස් , වයිද්යවරයෙක් වූ සර් මාර්කස් පර්නාන්දු , බ්රිතාන්ය ජාතික රොබර්ට් මාස් , දෙමල ජාතික නායකයන් හා උගතුන් වූ රාමනාදන් හා අරුනාචලම් දෙසොහොයුරන් මේ පිරිසයි. මේ සියලු දෙනාම පාහේ ලංකාවෙන් එපිට ලෝකය ගැන අත්දැකීම් ලබා තිබුණහ. ඉගෙනීමේ අති දස්කම් පෑහ. මේ රටේ ස්වාධීන සරසවියක් බිහි කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කල උදාර නායකයන් වුහ.
තමා සභාපතිත්වය දැරූ විශ්ව විද්යාලය කොමිෂන් සභාවේ නිර්දේශ ව්යවස්ථායක සභාවට ඒත්තු ගැන්වීමෙහි ලා අක්බාර් මහතාට තම චතුර කථිකත්වය බෙහෙවින් ප්රයෝජනවත් විය. තමා අපේක්ෂා කරන විශ්ව විද්යාලය ආසියාවේ විශිෂ්ඨතම උසස් අධ්යාපන ආයතනයක් විය යුතු යන්න අරමුණ කොටගෙන අක්බාර් මහතා සියලුම ලාංකික දරුවන්ගේ අධ්යාපනය නගා සිටුවීමට පොදු හැගීමෙන් හා අවංක චේතනාවෙන් යුක්තව කටයුතු කළේය. ඒ හේතුවෙන්ම පේරාදෙණිය විශ්විද්යාලයේ ශාලාවක් අක්බාර් ශාලාව ලෙසද, උයන අසල අක්බාර් පාලම ලෙසද අදටත් හදුන්වන්නේ එතුමාගේ උදාර සේවය සුවහසක් ශ්රී ලාංකික තරුණ තරුණියන්ගේ උසස් අධ්යාපන සිහිනය සැබෑවක් කල එතුමා සිහිකරනු පිණිසය.
අක්බාර් බරාදය.
අධ්යයන අංශ විශාල ප්රමාණයක් සම්බන්ධ කරමින් සෘජුවම හැල්මේ දුවන කොරිඩෝව හදුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස නිමවී ඇති ආකාරය පුදුම සහගතය.
අක්බාර් පාලම.
මහවැලි ගග එගොඩ අනිත් පීඨයන් වෙත සිසුන් මාරුවෙන පාලම අක්බාර් පාලමයි.මෙය නිර්මාණය කල අක්බාර් මහතාගේ තවත් සුන්දර නිමවුමක වෑයමක්.
එවක අප රටේ දේශපාලනයේ නියැළී සිටි පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, විල්මට් ඒ. පෙරේරා වැනි අයද වෘත්තිකයන් වූ හා බුද්ධිමතුන් අතර රොබට් මාර්ස්, වෛද්ය ඇන්ඩ්රිස් නෙල් ආදීන් ද ව්යාපාරිකයන් හා එවක ප්රභූන් වූ ඩී. ආර්. විජයවර්ධන මහතා, හිල්ඩා ඔබේසේකර මහත්මිය, කාන් බහඩුර් සියාඩ් අබුබකර් මවුලානා මහතා, වෛද්ය පී. ආර්. ත්යාගරාජා, වෛද්ය පී. විග්නරාජා, ශ්රීමත් තෝමස් විලියර්ස් (හපුතලේ ඇඩිසම් බංගලාව සෑදූ බ්රිතාන්ය ජාතික) වෛද්ය ඒ. සී. එම්. සුලේමන්, ශ්රීමත් මොහොමඩ් මාකර්, ශ්රීමත් නිකලස් ආටිගල වැනි විවිධ ජාතීන්ද තමන්ගේ පෞද්ගලික ධනය පරිත්යාග කිරීමෙන් පෙනී යන්නේ මේ විද්යාල බිහිවීම මඟින් ජාතීන් අතර එක්සත්භාවය හා සමඟිය පිළිබිඹු කරන බවයි. එසේම පිටරට ඉගෙනීමට යාමට නොහැකි ප්රභූ දරු දැරියන් ගැන සිතා එදා මේ විද්යාලය ආරම්භ කරන ලදී. එහෙත් පසු කාලයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්යාපන ප්රතිපත්තිය අනුව දක්ෂතාවය මත කිසිදු භේදයකින් තොරව විශ්වවිද්යාලයට ඇතුළත් වීමට පොදු ජනතාවට අවස්ථාව උදා විය.
ශ්රේෂ්ඨාධිකරණයේ නිතිඥය මණ්ඩලයේ සිටි ප්රථම මුස්ලිම් ආගමික හා රාජනිතිඥ තත්වයට උසස් වූ ප්රථම මැලේ ජාතික මුස්ලිම්වරයා යන ගෞරවය තමන් සතු කර ගැනීමට ජස්ටික් අක්බාර් මහතා සමත් විය.
ශ්රිලංකාවේ මුස්ලිම් නීති සංග්රහයට අක්බාර් මහතාගේ නිවුණු සේවය අතිවිශිෂ්ඨය .මුස්ලිම් දේපල අයිතිය පිලිබද පනත, වක්ෆ් පනත ,විවාහ හා දික්කසාද පනත යනාදී නීති සම්පාදනය කිරීමෙහිලා ප්රමුඛත්වය ගත්තේ මෙතුමාය.ඒ වනතෙක් වැන්දඹු හා අනත් දරු විශ්රාම වැටුප් අරමුදලේ බල සීමාවලට ඇතුලත් නොවුණු මුස්ලිම් ආගමික රජයේ සේවකයන්ට ඒ අයිතිය ලබාදීමේ ගෞරවයද අක්බාර් මහතාට හිමිවේ.
යෝනක මුස්ලිම් ප්රජාව අධ්යාපන ක්ෂේත්රහිද බෙහෙවින් පසුබා සිටින බව වටහා ගත් මේ ජනහිතකාමියා ලංකා මුස්ලිම් අධ්යාපන සංගමයේ ආරම්භක ලේඛම් වශයෙන් වසර කිහිපයක් සේවයකොට හුසේන් පිරිමි පාසලද,ෆාතිමා කාන්තා විදුහලද,ආරම්භ කළේය. ජාවත්ත මුස්ලිම් සුසාන භුමියේ මස්ජිදයක් ඉදිකිරීමට ක්රියාකළේ මෙතුමාය. එපමණක් නොව ගොවිතැන් සදහා මැලේ ජාතිකයන් ජනපදකල අම්බලන්තොට මැලේකොලනිය ග්රාමයේ අක්බාර් මහා විද්යාලය ආරම්භ කලේ මෙතුමාය. අක්බාර් මහතා සොලිසිටර් ජෙනරාල් වශයෙන් ව්යවස්ථාදායක සභාවේ නිලනොලත් සභිකයෙක් විය. 1924 දී ව්යවස්ථාදායක සභාව විසින් පත්කරන ලද කාරක සභාවක් මුහම්මදිකයන් යන පදය වෙනුවට මුස්ලිම් යනුවෙන් වෙනස් කල යුතුයැයි 34 වැනි සැසිවාරයේදී නිර්දේශ කළහ.ඒ කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කලේද අක්බාර් මහතාය.අබ්දුල් කාදර්,මාකන් මකාර්,ටි.බි.ජායා ,මුහම්මද් සුල්තාන් යන අයද එහි සභිකයෝ වුහ. කාරක සභාවේ නිර්දේශය වුයේ මුහම්මදියා යන්න සහමුලින්ම නොදිය යුතු වදනකි.එය කුමන ආකාරයකින්වත් භාවිතයට නොගත යුත්තකි.නබි තුමාණන් දේශනා කරන ලද ආගම පිළිපදින්නන් හැදින්වියයුතු නාමය මුස්ලිම්ය.ආගම ගැන සදහන් කරන හැමවිටකම භාවිතා කල යුත්තේ ඉස්ලාම් යන්නයි.එනම් ඉස්ලාම් ආගම අදහන ප්රජාව හදුන්වන්නේ මුස්ලිම් ලෙසය.
අක්බාර් මහතාගේ සර්වබෞම නිපුනතාව ඉහත කි දේවලින් පමණක් නොව මුෂ්ඨි ප්රහාරයේ හා ජුඩෝ ක්රීඩාවේද ඔහු දැක්වූ දක්ෂතාවෙන්ද ප්රකට වුහ.තම රටදැය වෙනුවෙන් හා ආගම වෙනුවෙන් අමිල සේවයක් කල මාස් තාජුන් අක්බාර් මහතා 1924 අප්රේල් මස 22 වන දින මෙලොවින් සමුගත්තේය. එතුමාගේ රුව ලොවින් සමුගත් නමුත් එතුමා ඉටුකළ අමිල සේවය හේතුවෙන් අදටත් ජස්ටික් අක්බාර් යන ඔහුගේ නාමය අපගේ හදවතේ රැදී පවතී.

ගෝල් ෆේස් හෝටලය

 ගෝල් ෆේස් හෝටලය

==================
1864 ගොඩනගන ලද ගෝල් ෆේස් හෝටලය ආසියාවේ ඇති පැරණිතම හෝටලයකි . සිලෝන් හී සචාරක ව්යපාරය ඇරඹීමට බිහෝ කලකට පෙර මෙය 1894 දී ගෘහනිර්මාණ ශිල්පී තෝමස් ස්කීනර්ගේ අතින් තව තවත් ඔප වැටුනි. එය මෑතකදී යලිත් නවීකරණය වූවත් ඉදිරිපස පැරණි පෙනුම එලෙසම ආරක්ශාකර ඇත . මුද්දරයක සටහන් වූ ලංකාවේ පළමු හෝටලය මෙය ලෙස ඉතිහාසගතවේ තවත් අතකින් ඉපැරැණි මතක සටහන් සංරක්ෂණය වූ කෞතුකාගාරයකි . මේ අතරින් දෙවන එළිසබත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුන් ශ්රී ලංකාවේදී සිටියදී භාවිතා කල මෝටර් රථය මෙහි සුරැකිව ඇත . ලෝක සංචාරක ව්යපාරය ඇරඹීමට බටහිර හා පෙරදිග යා කිරීමට සූවස් ඇල කැපීම ඇරඹීමට පෙර සෑදූ මෙම හෝටලය සූවස් ඇලේ වැඩ නිමවූ 1869 ට පෙර 1864 දී සාදා නිමවිය . සුදු ජාතික ව්යාපාරිකයන් හතරදෙනකු වූ ජෝර්ජ් , බෝල්, එච්. තෝමස් සහ බූචනන් මෙය සෑදීමට මුල්වී ඇත . තවත් වරක් ගෝල් ෆේස් හෝටලයේ වහළය මතට කාළතුවක්කු උන්ඩයක් බ්රිතාන්ය කාළතුවක්කු හමුදාව විසින් පුහුණුව අතරතුර පතිතවිය. එය කැනන්බෝල් සිද්දිය නමින් හැදින්වේ . එය සෑම වසරකම මාර්තු මස සැමරේ. තවද බ්රිතාන්ය රැජිනගේ ජුබිලි උත්සවය වෙනුවෙන් සෑදූ විශාල චෙස් පුවරුව , කරදිය පිහිනුම් තටාකයක් ඇති එකම හෝටලය මෙය වේ . තවද ලොව රාජ්ය නායකයන් වන එංගලන්තයේ පිලිප් කුමරා , ජවහර්ලාල් නේරු , ඉන්දිරා ගාන්ධි , ජපානයේ හිරෝහිතෝ අදිරාජ්යයා, ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්, ස්පාඤ්ඤයේ 13 වන අල්ෆෝන්සෝ රජු , දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ , මුලින්ම අභ්යාවකාශයය තරණය කල යූරි ගගාරින් , ක්රීඩකයන් වන ශ්රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්, ශ්රීමත් ලේන් හට්න්, ඔයිල් බ්රියර්ලි වැනි ක්රීඩකයන්ද සමර්සෙට් මෝමි, ඩියුක් එලින්ටන්, ශ්රීමත් කැරොල් රීච්, රොබර්ට් රෝශන්බර්ග්, ස්ටීවන් ස්ෆිල්බර්ග්, ග්රෙගරි ෆෙක්, බෝ චොරන්, හැරිසන් ෆෝර්ඩ්, රොජර් මුවර්, ශ්රීමත් ඇලෙක් ගීනස්, විවියන් ලේ, පීටර් ෆන්ච්, විලියම් හෝල්ඩන් හා කැරී ෆිෂර් වැනි කළා ලොව දිදුළන තරු මෙහි නාවාතැන් ගෙන ඇත .






උපුටා ගැනීම සීලදීප පිටුවෙන්

පිටකොටුව දුම්රිය ස්ථානය දැකලා තියනවද?

 පිටකොටුව දුම්රිය ස්ථානය දැකලා තියනවද?

==================================
කොළඹ නගරයට දුම්රියෙන් යන එන අයගෙන් අපි ඒහෙම ඇහුවොත් ඒ හැමෝම කියාවි ... , "මොකද නැත්තෙ අපි ඔන තරම් දැකල තියනවා.., එතෙන්ට ගිහින් තියනවා.., අපි හැමදාම යන්නෙ ඔතනින් නේ..මේ අද උදෙත් එතනින් තමයි ගියේ......" වගේ උත්තර රාශියක්..
ඒත් ඇත්තටම එහෙම කියන අය එක්කෙනෙක්වත් පිටකොටුව දුම්රිය ස්ථානයට ගිහින් තියා සමහරවිට දැකලවත් නැහැ කියලා අපි කිව්වොත් ඔබ පිළිගන්නවද..?
අද පිටකොටුවෙ තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානය මිසක් පිටකොටුව දුම්රිය ස්ථානය නෙවෙයි. ඒත් මීට අවුරුදු 103කට විතර ඉස්සර පිටකොටුවට වෙනමම දුම්රිය ස්ථානයක් තිබුණා.
කොළඹ නගරය ගැන ලියැවිලා තියන අතලොස්සක් වූ සිංහල ජන කවි අතර අපට හමුවන එක් ජනකවියක් මේ...
රටින දන ඇවිත් ගැවසෙන බලකොටුවේ
යනෙනා දන ගොසින් රැස්වෙති බෝට්ටුවේ
නොයෙනා දන බලන් සිටිතැයි ගේට්ටුවේ
දුවනා හැඩ බලන් දුම්රිය පිටකොටුවේ...
අතීතයේ කොළඹ නගරයෙන් විශාල කොටසක් යටවෙලා තිබෙුනෙ බේරේ වැවෙන්. මරදානෙ ඉදන් ඇරඹුනු මුහුදුබඩ දුම්රිය මාර්ගය සකස්කරල තිබුණෙ ඉස්සර තිබුණ මේ බේරේ වැවේ ඉවුර අසලින්මයි. ඊට සමාන්තරවම අද ඔල්කට් මාවත නමින් හදුන්වන එදා නොරිස් පාරත් ඉදිකරල තිබුණ. අද පිටකොටුවෙ බෝ ගහ හන්දිය පහුකරගෙන කොටුව පැත්තට පොඩ්ඩ දුරක් යනකොට එදා තිබුණ ඒ බේරේ වැවේ ඉවුරේ දුම්රිය වේදිකාවන් දෙකක් තිබුණ දුම්රිය ස්ථානයක් තිබුණා. ඒ තමයි පිටකොටුව දුම්රිය ස්ථානය.
මේ දුම්රිය ස්ථානය ආරම්භ කරේ 1877 මාර්තු මාසයේ මුහුදුබඩ දුම්රිය මාර්ගය විවෘත කරනවත් එක්කමයි. මරදානෙන් ඇරඹුන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මුල්ම දුම්රිය ස්ථානය තමයි පිටකොටුව. එදා ඉදන් අවුරුදු 40ක් යනකම් පිටකොටුවේ ව්යාපාරිකයින් විවිධ සමාගම්වල සේවකයින් ඇතුලු මගී ජනතාව ලක්ෂ ගණනක් මේ දුම්රිය ස්ථානය භාවිතා කරල තියනවා.
1917 මාර්තු 04 වෙනිදා වත්මන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය විවෘත කිරීමත් එක්කම පිටකොටුව දුම්රිය ස්ථානය වසා දැමුනා. ඊට පස්සෙ ඒ දුම්රිය ස්ථානය පිහිටලා තිබුණ භූමිය කොළඹ මැනිං වෙළඳපල ඉදිකරන්න වෙන්කෙරුනු භුමියට එකතු වුනා.
උපුටා ගැනීම ලසරටුව Lazaratto පිටුවෙන්
සටහන නලින් අබේසිංහ මහතා







මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම

 මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම

============================================
දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, ඉහළ කෝට්ටේ, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය හන්දිය, මහනුවර, ගෙලිඔය, ගම්පොළ, උලපනේ, නාවලපිටිය, නාවලපිටියේ සිට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.
ඒ ඔබට හුරුපුරුදු හඬකි. ජීවිත ගමනේ බොහොමයක් මතකයන්ට පණ දෙන සොඳුරු දුම්රියේ ගමන කොළඹින් ඇරඹී අඹේපුස්සෙන් නොනැවතී දිගු ගමනක යෙදී ඇත.
ඒ දිගු ගමනේදී නොයෙකුත් ගමන් බිමන් දුම්රියෙන් යනෙන ඔබ අපූරු මතක අහුරක් රැගෙන අතරමැදින් බැස යන විට දුම්රියේ ආරම්භක සහ අවසාන කාල සටහන ගැන හොඳින් දැන සිටියද අතීතයේදී දුම්රිය ලංකාවට ගොඩබැස්සුවේ කොතනින්ද යන්න දැන සිටියාද?
පසුගිය කාලයේ අපි හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පස් පිඩැල්ල කපමින් ඇරඹි දුම්රිය ගමන, ඒ දුම්රිය මග ඉදිවීමේදී ඇති වූ ගැටලු, සිදු වූ ඛේදවාචක පිළිබඳ මෙන්ම ලංකාවට පැමිණි විශාලතම ගැරට් ඇන්ජිම පිළිබඳ අප ඔබ දැනුම්වත් ක​ෙළමු. එවැනි අපූරු කතා රැසකට අරුත් සැපයූ දුම්රිය ලංකාවට රැගෙන ආවේ කිනම් නැවකද?
බරසාර දුම්රිය ඇන්ජිම මරදානට ගෙන ආවේ කොහොමද? ලංකාවට ගෙනා ප්රථම ඇන්ජිමේ වතගොත මොනවාද? වෙනස් වු කොළොම්තොට නොවෙනස් වු පළමු ස්ටේශමේ වගතුග සොයා ඉරිදා ලංකාදීප අපි අතීතයට පිය නැඟුවෙමු.
දුම්රිය ගැන කතා කිරීමේදි කොළඹ යනු උපප්රධාන මාතෘකාවකි. අද මෙන් දියුණු නොවූ වටපිටාවකදී දුම්රිය සමග පිබිදුණු කොළඹ අද මෙන් සත් මහල් ප්රාසාද ඉදිවී තිබුණේ නැත.
විනාඩියෙන් විනාඩිය ගමනේ යෙදවූ රේස් දුවන බස් සේවාවන් මෙන්ම අද මෙන් අස්සෙන් මුල්ලෙන් රිංගා මාර්ගය පුරා වෙට්ටු දාන ත්රිරෝද රථද නොවීය.
ගමනාගමනය කෙතරම් දුෂ්කර වීද යත් පැවසුවහොත් එකල වතුකරයේ වැවෙන බෝග කොළඹට රැගෙන ආවේ බර කරත්ත මගිනි.
එසේ බර කරත්තයකින් අස්වැන්න කොළඹට රැගෙන ඒම දින පහළොවක් දහ අටක් පමණ කාලයක් ගතවන වෙහෙසකර ක්රියාවලියකි.
කාර්යාල, කර්මාන්ත, සීත කාමර, සුඛෝපභෝගී වාහන නොවූ වටපිටාවකදී ගැල් කරත්ත, අශ්ව කරත්ත මගින් මෙන්ම ගමනාගමනය සැතපුම් ගණන් ඇවිද යමින් සපුරා ගන්නා යුගයකි.
ඉපැරණි සංරක්ෂිත පොත්පත්වල සඳහන්වන ආකාරයට එකල ​ෙකාළඹත් මහනුවරත් යා කරමින් ගමනාගමන පහසුකම් සැලසූ බර කරත්ත සංඛ්යාව හැත්තෑනවදහසකි (79000).
කොළඹ නගරයේ වැදගත්ම සමය ලෙස බ්රිතාන්ය පාලන සමය හඳුන්වාදිය හැක.
කොළඹ නගරයක් බවට පත්වන්නේ 1883 වර්ෂයේදීය. කොළොම්තොට නව පිබිදීමත් සමග කොළඹ කේන්ද්ර කරගත් මහාමාර්ග, දුම්රිය මාර්ග ජාලයක් බිහි වෙමින් පැවතුණ යුගයකි. 1820 වර්ෂයේ කොළඹ-මහනුවර මාර්ගය ඉදිවීමත් 1850 වර්ෂයේ කොළඹ-අඹේපුස්ස දුම්රිය මග ඉදිවීමත් සමග කොළඹ කේන්ඳ්ර කර ගත් වෙ​ෙළඳ රටාවක් වර්ධනය වන්නට විය.
ඒ අනුව ධීවර වරායක් ලෙස තිබූ කොළඹ වරාය 1886 වර්ෂයේ දිවයිනේ ප්රධාන වරායක් ලෙස සංවර්ධනය කිරීමට බ්රිතාන්ය ආණ්ඩුකාරවරුන් විසින් පියවර ගනු ලැබිණ.
කොළඹ නාගරීකරණය වූ වර්ෂයන් හා සැසැඳීමේදී හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පළමු පස් පිඩැල්ල කපමින් කොළඹ සිට අඹේපුස්සට දුම්රිය මග ඉදිකිරීම අරඹන්නේ 1850 වර්ෂයේදීය. ප්රථම දුම්රිය ගමන සිදුවන්නේ 1864 වර්ෂයේදීය. එමෙන්ම කොළඹ පැවති ධීවර වෙ​ෙළ​​​​ඳ වරාය වැඩි පහසුකම් සහිත රටේ ප්රධාන වරායක් බවට පත් කිරීම කෙරෙහි බ්රිතාන්යයන්ගේ අවධානය යොමුවන්නේ 1886 වර්ෂයේදීය.
කොළඹ තිබූ ධීවර වරාය ප්රධාන වරායක් ලෙස සංවර්ධනය ඇරඹෙනුයේ ප්රථම දුම්රිය ගමනට වසර 22කට පසුව නම් ලංකාවට ගෙනා ප්රථම දුම්රිය ඇන්ජිම වන ලියෝ පොල්ඩ් නො 1 එන්ජිම 1864 වර්ෂයේ කොළඹට ගොඩ බැස්සුවේ කොතැනින්ද?
මේ සම්බන්ධයෙන් විවිධ අනුමාන විවිධ මත රාශියකි. නාගරීකකරණය නොවූ සමාජ වටපිටාවක් පැවතුණද ලක්රිවි කිරණ, ලක්මිණි පහන, ටයිම්ස් ඔෆ් සිලෝන් එවකට පළ වූ පුවත්පත් විය. ජාතික ලේඛනාරක්ෂක මණඩලයේ අදටත් ආරක්ෂිතව පවතින 1864 ජනවාරි 14 පළවූ සංරක්ෂිත පුවත්පත් වාර්තාවන්හි සටහන් පරිදි ප්රථම දුම්රිය එන්ජිම ලෙස සැලකෙන බ්රිතාන්යයේ ස්ටීවන්සන් ලෝකොමෝටිව් සමාගම විසින් නිෂ්පාදිත ලියෝ පොල්ඩ් නො 1 එන්ජිම මෙරටට ගොඩබස්සවා ඇත්තේ මෝදර මරිවැල්ල නම් ප්රදේශයෙනි. පාමුස්ටන් නම් නැවක පටවාගෙන විත් ඇති මෙම ඇංජිම මරි වැල්ලෙන් ගොඩබස්සවා අලි ඇතුන් හතරදෙනෙකු ලවා අද්දවමින් මරදානට රැගෙන ආ බව එහි සඳහන්ව ඇත.
එදා මරිවැල්ල ලෙස හැඳින්වූ කොළඹ මෝදර ප්රදේශයේ ධීවර වරායේ කිසිදු සලකුණක් අද දක්නට නොමැති අතර අනුමාන වශයෙන් එදා මරිවැල්ල අද ඔබ හඳුනා ගන්නේ කොළඹ වරායේ විජය කුමාර ජැටිය ලෙස බව පැවසේ.
අතීතයේ සොයා ගිය තොරතුරුවලින් අනුමාන සාධකයන්ට අනුව මෝදර මරිවැල්ලෙන් එන්ජිම ගොඩ බස්සවා ඇත්තේ ටොන් 40ක බරක් දැරිය හැකි පාරුවකට වන අතර එන්ජිමේ රෝද ගලවා බර අඩු කරමින් රැගෙන ආ බවද පැවසේ.
අද මෙන් දියුණු වරාය පහසුකම් නොමැති වෙරළ මායිමට නැවක් ගෙන ඒම කළ නොහැකි පසුබිමකි. එහි තිබුණේ එවකට එතරම් බරසාර යන්ත්රයක් මුහුදු මගින් මෙරටට ගෙනා පළමු සහ එකම අවස්ථාව එම එන්ජිම ගොඩ බැස්ස වූ අවස්ථාව බවද සැලකේ.
දුම්රිය එංජිම රැගෙන නැවකට ගොඩබිමට ඒමට නොහැකි පසුබිමකදී සුදු ආණ්ඩුකාරවරු එංජිම ආරක්ෂිතව ගෙඩට ගෙන ඒමේ ක්රමවේදයක් ලෙස එම පාරු ක්රමය යොදාගත් බව අනුමාන කෙරේ.
එදා අද මෙන් දොඹකර හෝ නවීන ක්රමෝපායන් නොවීය. බර ඇදීමේ කාර්යයේ වැඩි දායකත්වයක් පැවතුණේ අලි ඇතුන් සතුවය. මරි වැල්ලෙන් ගොඩ බට දුම්රිය එන්ජිම මරදානට රැගෙන යා​ෙම් දුෂ්කරක්රියාව පහසුකරවීමට අලි ඇතුන් දායක වී ඇත.
ස්ටීවන්සන් ලෝකොමෝටිව් සමාගම විසින් නිපදවා ඇති බව කියන 1263 වැනි එන්ජිම වන මෙම එන්ජිම හැඳින්නුවේ ලියෝ පෝල්ඩ් නොම්මර 1 ලෙසය.
ඉදිරිපස රෝද හතරකුත් පසුපස රෝද හතරකුත් වන සේ රෝද අටකින් සමන්විත ඇන්ජිමේ ටොන් හතරහාමාරක ගල්අඟුරු ටෙන්ඩරයක් (වැගනයක්) දැකගත හැක.
ඇන්ජිමේ මුළු දිග ආසන්න වශයෙන් අඩි විස්සකි. මෙහි රෝද සැකැස්ම සම්මත ක්රමයට සටහන් කරන විට 4-4-0 අාකාරයක් ගනී.
එනම් ඉදිරිපස රෝද හෙවත් leading carrying wheels හතරකුත් එළවුම් රෝද හෙවත් Driving wheels හතරකුත් වශයෙනි. එන්ජිමේ මුළු රෝද සංඛ්යාව අටක් වන අතර එලවුම් රෝදයක විශ්කම්භය අඩි පහකි.
මෙහි සිලින්ඩර දෙකක් පිහිටි අතර ඒවා වර්තමානයේ ඔබ දැක ඇති වාෂ්ප ඇන්ජින් මෙන් පිටතින් දැකිය නොහැක. එම සිලින්ඩර් බොයිලේරුවට පහළින් රෝදවලට ඇතුළතින් පිහිටා ඇත. සිලින්ඩර් පාලනයට මෙන්ම සිලින්ඩර්වලට ඇතුළු වන වාෂ්ප ප්රමාණය සහ ඇතුළුවන දිශාව පාලනයට ස්ටීවන්සන් වෑල් ගියර් පද්ධතියක් එහි සවිකොට ඇත.
ඇන්ජිමේ බොයිලේරු පීඩනය වර්ග අඟලට රාත්තල් 120කි
පිටතින් කප්ලින් රොඩ් දෙක පමණක් දක්නට තිබුණු අතර පසුපස දක්නට ඇති ටෙන්ඩරයේ (ගල් අඟුරු වැගනය) වෙන වෙනම දුනු යෙදූ (කම්පන අවශෝෂණයට) රෝද හයක් දක්නට ඇත. ගල් අඟුරු වැගනයේ ගල් අඟුරු ටොන් හතරක් රැගෙන යාමේ හැකියාව ඇති අතර වතුර ගැලුම් 2000ක ධාරිතාවක් ලියෝපෝල්ඩ් එන්ජිමේ තිබූ බවට විශ්වාස කළ හැක.
මෙම ඇන්ජිම සතුව විදුලි පරිපථ නොමැති වූ අතර රාත්රියේදී ධාවන කටයුතු සඳහා කාබයිඩ් ලාම්පු සවි කර තිබී ඇත. මෙම ඇන්ජිමේ යයි ස්ථිරව සඳහන් කළ හැකි සේයා රූ ඇත්තේ ඉතාමත් අල්ප ප්රමාණයක් වන අතර එංගලන්තයේ ස්ටීවන්සන් දුම්රිය එන්ජින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කාණ්ඩ අංකය 1263 ලෙස සඳහන්ව ඇත.
ලංකා දුම්රිය ගමන ආරම්භයේ සිට ධාවන කටයුතු සඳහා යෙදවුණ බව කියන මෙම එන්ජිම වර්ෂ 1864 සිට 1905 දක්වා පුරා අඩසිය වසකට ආසන්න කාලයක් සක්රීය සේවයේ ගමනාගමනයේ යෙදී ඇත.
කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ රැජින ගිය පෙට්ටිය ලෙස අදත් ප්රදර්ශනයට තබා ඇති මැදිරි මෙන් රෝද හතරේ මැදිරි අටක් ඇදගෙන යාමේ හැකියාව මෙම ලියෝ පෝල්ඩ් ඇංජිමට ඇත.
මෙහි ගල්අඟුරු දහන උදුනේ ක්රියාකාරිත්වය පාලනයට සහයකයකු යොදවා අති අතර ඔහුව වෘත්තීමය වශයෙන් හඳුන්වනුයේ Fire man (ගිනි මැළකරු) ලෙසය.
එකල වාෂ්ප එංජිමෙන් ඉවත ලන දහනය වූ ගල් අඟුරු ඉවතලීම සිදු කිරීමට විශේෂිත ස්ථානයන්ද දුම්රිය මගෙහි සකසා තිබුණි.
සිල්පර කොට යොදා සැකසුණ දුම්රිය මගෙහි එම අළු විසිරවීමෙන් ගිනි ගැනීමට හේතු සපයන්නකි. එබැවින් ඒ සඳහා යකඩ පතුරු යොදා සැකසූ දුම්රිය මාර්ග විශේෂිත ස්ථාන විය.
අද ඔබ විවිධ නම්වලින් හඳුනා ගත් දුම්රියට අැතැමෙක් මෑත අතීතයේ යකඩ යකා ලෙස හඳුන්වනවිට ඇත අතීතයේ පැරැන්නන් දුම්රිය හැඳින්වූයේ ධූමරථය නමිනි. අඟුරු කකා වතුර බොමින් දුම් වලාවන් පිට කරන ධූමරථය යනෙන මග ධුමරථ මාර්ගය ලෙස හැඳින් වූ බව ලංකා ඉතිහාසය නමින් ලියැවුණු ඉපැරණි ලේඛනවල සඳහන්ව ඇත.
ලංකා දුම්රිය ගමන ඇරඹීමත් සමග ලියෝපෝල්ඩ් එංජින් 2,3,4,5,6 යනුවෙන් අප දුම්රිය ගමනාගමනයට එක්විය.
දිනෙන් දින දියුණුවේ මංපෙත් සොයා ගමන් ඇරඹි දුම්රියේ ප්රථම නැවතුම්පොළ වූයේ අද ඔබ දුම්රිය ගමන් අරඹන කොටුව දුම්රිය ස්ථානය නොව එය වැඩි වූ දුම්රිය මගී ගමනාගමන පහසුකමට ඉඩ සලසමින් ඉදි වුවකි.
ලංකාවේ ප්රථම දුම්රිය නැවතුම්පොළ පිහිටියේ කොළඹ ඕල්කට් මාවතේ කෙලවර මන්සන්ධිය වන ටෙක්නිකල් හන්දිය ලෙස හඳුන්වන මංසන්ධියේය.
මරදාන ටෙක්නිකල් කොලීජියට ඉදිරිපසින් පිහිටි ප්රථම දුම්රිය නැවතුම්පොළ අද ඔබ හඳුනා ගැනෙන්නේ දුම්රිය කෞතුකාගාරය ලෙසය.
එම ගොඩනැගිල්ල වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව 1858 වර්ෂයේ ඉදි වූවකි. වේදිකාවන් දෙකකින් සමන්විතය. දුම්රිය වේදිකාව මුල් අදියරේදී දිග මී. 5108ක් වූ අතර පසුව මීටර් 108.6 කින් එය දීර්ඝ කෙරුණි.
වර්ෂ 1864 දෙසැම්බර් 27 දින අඹේපුස්ස දක්වා ලංකාවේ පළමු දුම්රිය ගමන ඇරඹුවේ මෙම දුම්රිය ස්ථානයේ සිටය. එවකට දුම්රිය මග ආරම්භ වන ස්ථානයේ මෙය පිහිටි නිසා පර්යන්ත දුම්රිය ස්ථානය යන අරුත ඇති Terminal Railway Station යන නම සුද්දෝ ඊට තැබූහ.
මෙහි දුම්රිය වේදිකාවල පියස්ස යකඩ කුලුනුවලින් එසවුණු තට්ටු දෙකක වහලයකි. කුලුනුවල ශක්තිය ඉහළ නැංවීමට හරස් බාල්ක ලෙස යොදාගෙන ඇත්තේ ලෝහ ලියවැල් රටා සහිත ඉදිකිරීම්ය. අදටත් ඉතා ශක්තිමත් මෙම ගොඩනැගිල්ලට මේ වන විට වසර 160ක් පමණ පැරණිය. එය අලංකාර හුරුබුහුටි ගොඩනැගිල්ලකි.
විශේෂ ස්තුතිය දුම්රිය! හිටපු සාමාන්ය අධිකාරි එස්.එම් අබේවික්රම මහතා, නියෝජ්ය ප්රධාන ඉංජිනේරු ධාවනබල කීර්ති හේවාවිතාරණ මහතා, රත්මලාන වැඩබිමේ සාප්පු අංක විසි දෙකේ අධීක්ෂණ කළමනාකරු ලාල් රණසිංහ මහතා, මරදාන ස්ටේෂන් මාස්ටර්වරයකු වන නලීන් අබේසිංහ මහතා, යාන්ත්රික තාක්ෂණවේදී ආචාර්ය (මහහනුවර ත්රිත්ව විදුහල) සුභාෂ් ධනසේකර මහතා
සටහන - ඡායාරූප
රේඛා තරංගනී ​පොන්සේකා
ලංකාදීප