Friday, December 21, 2018

කනත්තක ගොඩනගපු රජගෙදර

කනත්තක ගොඩනගපු රජගෙදර


සියවසක් පමණ සාමාන්‍ය මහජනයාට විවෘත නොවුනු කොළඹ කොටුවේ පිහිටි රජගෙදර නොහොත් ජනාධිපති නිල නිවස පසුගිය මාසයේ දින කිහිපයක් පළමුවතාවට මහජනයාට නරඹන්න අවස්ථාව උඳාවුනා.මේ රජ ගෙදර ඉතිහාසය හොයාගෙන යද්දි 18 වන සියවසේදි ගොඩනංවන ලද  මේ සුවිශාල මන්දිරය තම වාසස්ථානය කරගෙන හිටියේ ලංකාවේ අවසන් ලන්දේසී ආණ්ඩුකාරයාවු ඇන්ගල් බීක් (Jean Gerard Van Angelbeek - 1794.07.15 - 1796.02.16) . ඉංග‍්‍රීසීන් කොළඹ කොටුව ලන්දේසීන්ගෙන්  යටත් කරගන්න කොට ඇන්ගල් බීක් අන්ඩුකාරයා මෙම නිවස අතනොහැර හිටියා කියලත් කියනවා.  පසුව මේ මන්දිරය ඔහුගේ මිනිපිරියවු ජැකොමිනාට අයත්වුනා. ඈ විවාහ වි සිටියේ ඉංග‍්‍රීසී ආන්ඩුවේ සිවිල් නිලධාරියෙකුවු ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගින්. ඔහු ප‍්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදි ගිණුම් පියවිමේ දි සිදුවු මුදල් අක‍්‍රමිකතාවයක්  නිසාවෙන් පවුම් දස දහසක අඩුවක් පියවන්නට සිදුවූනා. මේ ඇබැද්දියෙන් බේරෙන්නට රජය විසින් තක්සේරු කරනු ලැබු පවුම් 35000ක මුදලකට ලන්දේසී පරපුරේ අවසන් උරුමය බි‍්‍රතාන්‍ය පාලකයින්ට 1804 ජනවාරි 17 පවරාදුන්නා. කොළඹ කොටුවේ මනරම් ස්ථානයක පිහිටි මේ මන්දිරය පසුව ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවුරුන් ගේ නිල නිවාසය බවට පත්වුනා. රෝබට් හෝටන් ආණ්ඩුකාරවරයා (Robert wilmet Horton -1831.10.23 - 1837.11.06)  විසින් පවුම් 700 ක් වියදම් කර පිළිසකර කරවු මේ  මන්දිරය 1852 වර්ෂයේදිද ජෝර්ජ්  ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා (George William Anderson - 1850. 11.27 - 1855.05.10) විසින් ප‍්‍රතිසංස්කරණය කෙරෙව්වා. මුලින්  ඕලන්ද ගෟහනිර්මාන අනුකුළව ඉදිවූවත් පසුව සිදුකරු ප‍්‍රතිසංස්කරණ නිසාවෙන් බි‍්‍රතාන්‍ය වාස්තුවිද්‍යාත්මක අංග ලක්ෂනද මේ ගොඩනැගිල්ලට එකතුවුනා. මේ මනහර ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්තයි. පහත මාලය  ඕලන්ද ගෟහනිර්මානය අනුව සැකසුනත් ඉහළ මාලය බි‍්‍රතාන්‍ය අංග ලක්ෂන පෙන්නුම් කරනවා. ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ බොහෝමයක් තියෙනවා. ඉහළ මාලයේ පොලවද නිමවා තියෙන්නේ දැවයෙන්. මෙහි බි‍්‍රතාන්‍යයෙන් ආනයනය කල ඉස්තරම් වර්ගයේ විදුලි උපකරණයෙන්ද ගෘහභාන්ඩයන්ගෙන්ද මෙහි ප්‍රෙෘඪත්වය ඉස්මතුකරනවා. මෙම මන්දිරයේ අප රටේ සුප‍්‍රසිද්ධ චිත‍්‍රශිල්පින්ගේ අලංකාරහා වටිනා චිත‍්‍රවලින්ද පිරිතියෙනවා. මා විසින් ඡයාරුපගතකරන ලද චිත‍්‍ර කිහිපක්  පහතින් දකින්න පුළුවන්. ජනාධිපති මන්දිරය අසළ කොළඹ නුවර මාර්ගය ඉදිකිරිමට මුල්වු ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස් ගේ (Sir Edward Barnes) ලෝකඩ ප‍්‍රතිමාවක්ද ස්ථාපිත කරලා තියෙනවා.

 මේ මන්දිරයට පසුපසින් ගොර්ඩන් උද්‍යානය නම්වු  මනරම් උද්‍යානයක්ද පිහිටා තියෙනවා. මෙම උද්‍යානය විහාරමහාදේවි උද්‍යානයට වඩා පැරණි බවයි පොත්පත් වල සදහන්වෙන්නේ. පෘතුග‍්‍රීසීන්ගේ ලාංජනය සහිත ගලක්ද මේ උද්‍යානයේ පිහිටා තියෙනවා. පෘතුග‍්‍රීසීන් මේ ස්ථානයේ ශාන්ත ෆ‍්‍රැන්සිස් මුනිදුන්ට කැපකරන ලද දේවස්ථානයක්. මෙහි සුසාන භූමියක්ද පිහිටා තිබුනා. අප රටේ රූකඩ පාලකයෙක්වු ෙදාන් ජුවන් ධර්මපාලගේ දේහය මිහිදන් කර ඇත්තේද මෙම උද්‍යානයේ. 1656 දි කොළඹ කොටුව ලන්දේසීන්ගේ පාලනයට පත්වුනාට පස්සේ මේ දේවස්ථානය පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ (V.O.C - de Vereenigde Oostindishe Compagnie / The United East India Co) නිල දේවස්ථාය බවට පත්වූනා. 1749 දි ලන්දේසී ආණ්ඩුකාර ජූලියස් වෑන් ගේ (Julliu Velentyn Stein Van Gollennesse) මුලිකත්වයෙන් ආදුරුප්පු වීදියේ පල්ලිය (Wolvendhaal Church) ඉදිකලාට පස්සේ මේ දේවස්ථානය  අතහැරලා දැමිම නිසා පසුව නටබුන් බවට පත්වු මේ පල්ලිය ඉංග‍්‍රීසීන් විසින් කඩා දැම්මා. මෙහි තිබු භාන්ඩ හා සොහොන් ගල් ආදුරුප්පු වීදියේ පල්ලියේ තැම්පත් කරනු ලැබීය. මේ සොහොන් ගල් අතර  ඕලන්ද ආණුඩුකාරවරුන් පස් දෙනෙකුගේ සොහොන් ගල් හා දාන් ජුවන් ධර්මපාලගේ සොහොන් ගලද වෙනවා. පසුව 1832 දි ෙදාන් ජුවන් ධර්මපාලගේ සොහොන් ගල එතැනින් ඉවත් කර කොටුවේ ශාන්ත පීතර දේවස්ථානයේ තැම්පත් කලා කියනවා.
1813 දි මේ  ශාන්ත ෆ‍්‍රැන්සිස් මුනිදුන්ට කැපකරන ලද දේවස්ථානය කඩා ඉවත් කලාට පස්සේ වසර කිහිපයකින් ජලමල්  වැනි උද්‍යාන අංග එක්කර වැඩි දියුණු කරන ලද්දේ ආතර් ගෝර්ඞ්න් (Arthur Hamilton Gorden - 1883.12.03.-1890.05.27 ) ආණ්ඩුකාරවාරයාගේ නිල කාලයේදි. එ් නිසයි මෙම උද්‍යානයට ගෝර්ඞ්න් ගාඩන් නම් කරන්නේ. මුලදි අක්කර දහයක් පමණ වු මේ උද්‍යානය පසුව අක්කර තුනකට සිමාවු බව පැවසෙනවා. මෙය උද්‍යානයක් ලෙසින් සකසන්නට පෙර මෙහි බොහෝ විදේශිකයින් පාපන්දු හා ක‍්‍රිකට් කි‍්‍රඩා කල පිටියක් ලෙසද යොදාගෙන තියෙනවා.  

මෙහි සියළු ඡයාරූප මා විසින් ලබාගත් එවායි. 














උපුටා ගැනීම - https://kolompure.blogspot.com

No comments:

Post a Comment