Sunday, December 23, 2018

පැරණි ලන්දේසි රෝහල

පැරණි ලන්දේසි රෝහල

18 වැනි ශතවර්ෂයේදී අඳින ලද ලන්දේසි රෝහලේ සිතුවමක්. රූපය : sundaytimes.lk
“Old Dutch Hospital” කිව්වාම කවුරුත් දන්න පැරණි ලන්දේසි රෝහල කොළඹ තියෙන ඓතිහාසික වටිනා කමින් වැඩිම ගොඩනැගිල්ලක් කිව්වොත් වරදක් නැහැ. මෑත කාලීනව සංවර්ධනය කරලා සාප්පු සහ භෝජනාගාර සංකීර්ණයක් බවට පත් කෙරුණු මේ ගොඩනැගිල්ල තමයි දැනට කොළඹ ඉතිරි වෙලා තියෙන පැරණිම ගොඩනැගිල්ල විදිහට සැලකෙන්නේ. ක්‍රිස්ටියන් ශ්වෙට්සර්ගේ වාර්තාවලට අනුව මෙම ගොඩනැගිල්ල 1681 ඉඳලා මේ වන තුරුම නිරුපද්‍රිතව පවතිනවා. ඒ දවස්වල මේ ගොඩනැගිල්ල භාර වෙලා තිබුණේත් ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමටයි.
පැරණි ලන්දේසි රෝහලේ ගොඩනැගිලි පහක් දැකගන්න පුළුවන්. මෙයින් හතරක් නිර්මාණය කරලා තියෙන්නේ විශාල මැද මිදුලක් නිර්මාණය වෙන විදිහට චතුරශ්‍රයක් වටේටයි. පස් වැනි ගොඩනැගිල්ල තියෙන්නේ අනෙක් ගොඩනැගිලි හතරත්, එයත් අතර තවත් මිදුලක් නිර්මාණය වෙන විදිහට. ඉදිරිපස ගොඩනැගිල්ලේ උඩු මහලකුත් දකින්න ලැබෙනවා. උඩින් තියෙන රූපය දිහා බැලුවොත් මේ ගොඩනැගිලි වල පිහිටීම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.
මේ දවස් වල කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න ලන්දේසි ජාතිකයන්ට වගේම නිතරම කොළඹට එන නැව් වල නාවිකයන්ගේ රෝගාබාධ වලටත් ප්‍රතිකාර පුළුවන් මට්ටමේ උසස් රෝහලක අවශ්‍යතාව ලන්දේසි පාලකයන්ට තදින්ම දැනුණා. ඒ අනුව තමයි මේ රෝහල නිර්මාණය වුණේ. ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, නවක ශල්‍ය වෛද්‍යවරුන් තුන් දෙනෙක් වගේම ශල්‍යවේදය පුහුණු වන වෛද්‍යවරුන් (intern ලා) පස් දෙනෙකුත් දෙනෙකුත් මෙහි සේවය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යාවේ පියා විදිහට සැළකෙන පෝල් හර්මන් (Paul Hermann) මහතා පවා මේ රෝහලේ සේවයට එක් වුණා.
මේ සියලු ශල්‍ය වෛද්‍යවරු දිනකට දෙවරක් රෝහලට ආ බවත්, අවශ්‍ය අවස්ථා වල රෝගීන්ගේ නිවෙස් වලටම ගිහින් ප්‍රතිකාර කළ බවත් වාර්තා වල සඳහන් වෙනවා. රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා සපුරන්න ආවතේව නිලධාරියෙකුත් රෝහලේ ඉඳලා තියෙනවා.
ඉදිරිපස ගොඩනැගිල්ල සහ අනෙක් ගොඩනැගිලි අතර තියෙන ඉඩකඩ. රූපය : රචකයාගෙනි
18 සහ 19 වැනි වර්ෂ වලදී ලන්දේසි රෝහල ගැන වාර්තා ඒ තරම් සොයා ගන්න නැහැ, නමුත් 1980 ගණන් වල ඉඳලා 1990 ගණන් වන තුරුම කොළඹ කොටුව පොලිස් ස්ථානය පිහිටලා තිබුණේ මේ ගොඩනැගිල්ලේ. 1996 සිදු වූ LTTE බෝම්බ ප්‍රහාරයකින් ලන්දේසි රෝහලටත් හානි සිදු වුණා.
කොහොම වුණත් දැන් මේ ස්ථානය ඉතා හොඳින් නවීකරණය කරලා තියෙනවා. යාළුවො මිත්‍රයොත් එක්ක කෑමකට යන්න, නිදහසේ සාප්පු සවාරියක් යන්න කාට වුණත් පුළුවන්. නව තාක්ෂණයේ සලකුණු බැලූ බැලූ අත දැක ගන්න ලැබෙනවා.

No comments:

Post a Comment