ප්‍රවාහන වංශකතාව බලන විට ලොව මුලින්ම ඇතිවන මූලික ප්‍රවාහන ක්‍රමය වූයේ දුම්රිය සේවය යි. 1858 දී දුම්රිය සේවය ලංකාවේ ස්ථාපනය විය. අද අපි දකින තත්ත්වයට ආසන්නව මඟීන් 20-30ක් එකවර පටවාගෙන යෑමට හැකි මට්ටමට බස්රිය ලංකාවට පැමිණෙන්නේ 1920 ආසන්න කාලසීමාවේ දී ය. ඒවා කරළියට එන්නට පෙර යටත්විජිත  කාලයේ දී කෙටිදුර ගමන් සදහා බක්කි කරත්ත, රික්ශෝ, සහ අශ්ව රිය භාවිතා විය.




මාර්ගය මැදින් ගිය ට්‍රෑම් මග https://picclick.co.uk

ට්‍රෑම්වල අපට වූ ගැලපීම

යුරෝපීයයන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය, පරිපාලන මධ්‍යස්ථානය, සහ අගනුවර වූ කොළඹ නගරය 1900 උදාවන විට ද තරමක තදබදයක් තිබූ නගරයකි. වැඩකරන ජනතාවට එහා මෙහා යෑමට ක්‍රමයක් නොවීය. එවිට තිබූ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය, අශ්ව රිය සහ රික්ශෝ වූ අතර, 1896-1904 කාලසිමාවේ දී බස් ධාවනය තබා මෝටර් කාර් හෝ පැතිරී තිබුණේ නැත. ඉඳින් කොළඹ ජනයාට එහා මෙහා යෑමට වඩා කාර්යයක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය විය. 1903 ජනවාරි 13 වැනි දා මුලින්ම ධාවනය ඇරඹූ ට්‍රෑම් රිය කොළඹ කොටුවේ සිට මරදාන දක්වාත්, මරදාන සිට නැවත තොටළඟ සහ බොරැල්ල දක්වාත් ධාවනය විය.
1905 කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් සහ මරදාන මාර්ගයේ පමණක් දිනකට මගීන් 14,529ට අධික ප්‍රමාණයක් ට්‍රෑම් මඟින් ප්‍රවාහනය කොට තිබුණි. ඒ අනුව වසරකට මඟීන් මිලියන 6.5කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන්නට 1905 තරම් ඈත කාලයේ ට්‍රෑම් සේවාව සවිමත් විය.

කොහෙන්ද ට්‍රෑම් වලට බලය?

මෑත ඉතිහාසයේ ප්‍රවාහන ඇමතිවරුන් කිහිපදෙනෙකුම අප දුම්රියවලින් කොටසක් හෝ විදුලි බලයෙන් ධාවනය කළ යුතුයැ යි අදහස් පලකළෝ ය. විදුලිය භාවිතයෙන් දුම්රිය ධාවනය අලුත් තාක්ෂණයක් නොවේ. ලොව ඩීසල් බලයෙන් දුම්රිය ධාවනයට පෙර විදුලි බලයෙන් දුම්රිය ධාවනය ඇරඹුනි. 1900 දී ඉපිද, නිදහසින් පසු ද දශක දෙකක් පුරා කොළඹ මඟීන්ට ගමන් පහසුව සැලසූ ට්‍රෑම් සේවාව, විදුලිය බලයෙන් ගමන් කළ කුඩා දුම්රිය සේවාවක් වැන්නකි. එය දුම්රිය තරම් වේගයෙන් ගමන් නොකළ අතර, අවසාන කාලයේ වාර්තා වල පවසන පරිදි ධාවනය වන ට්‍රෑම් රියකට එවෙලේම නැගීමට හැකි තරම් සුළු වේගයකින් ඒ ධාවනය වී ඇත.
ලංකාවේ මුල්ම දුරකථන වයර් පද්ධතිය ස්ථාපනය වූයේ ට්‍රෑම් වයර් වලට සමාන්තරව ය. ඛේදයකි. ටෙලිෆෝන් වල අමතර හඬක් නිතරම ජනිත වේ. එහි සුළමුල සොයායන විට විදුලි සංදේශ තන්තු ට්‍රෑම් රියට විදුලිය සපයන කේබල් සමග එකට යාවීම නිසා එසේ ඝෝෂාවක් ඇසෙන බව හෙළිවිය. ඒ නිසාම 1900 මුල් කාලයේ අමතර කටවුට් ෆියුස් සහ වෙනත් උපාංග සවිකර ටෙලිෆෝන් වලට ට්‍රෑම් රිය ධාවනයෙන් ඇතිවන බාධාව අවම කරගන්නා ලදී.