Sunday, December 23, 2018

විහාර මහා දේවී උද්‍යානයේ පුංචි කෝච්චිය ධාවනය අැරඹුන හැටි

විහාර මහා දේවී උද්‍යානයේ පුංචි කෝච්චිය ධාවනය අැරඹුන හැටි




අදින් දශක තුන හමාරකට පමණ පෙර එක්තරා දිනයක සන්ධ්‍යාවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අපූරු කටයුත්තක සමාරම්භය වෙනුවෙන් සූදානම් කොට තිබුණි. 

මුල්ම වරට ලංකාවේ උද්‍යානයක් තුල විනෝදාස්වාදය සපයන දුම්රියක් ධාවනයට එක් කිරීම එම අපූර්ව කටයුත්තයි. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් 1978 වසරේ දී සිදුවූ මේ සිදුවීම දුම්රිය ඉතිහාසය තුල එතරම් ප්‍රකට නොවූ කරුණකි. 

උද්‍යානය තුල මේ දුම්රිය ධාවනය කිරීමේ සමාරම්භක උත්සවය සිදුවන්නේ 1978 අප්‍රේල් මස 26 වන අඟහරුවාදා දිනයේ සන්ධ්‍යාවේ දීය.

1865 වර්ෂය තරම් ඈතට දිවයන දීර්ඝ ඉතිහාසයක් සහිත විහාර මහා දේවී උද්‍යානය අතීතයේ දී හඳුන්වා ඇත්තේ සර්ක්‍යුලර් පාර්ක් ලෙසටය. එය එවකට අක්කර සියයක් පමණ ප්‍රදේශයක පැතිරුනු ඉතා මනරම් භූමි භාගයකි. 1887 වර්ෂයේ දී එවකට බ්‍රිතාන්‍ය කිරුළ දැරූ වික්ටෝරියා රැජන ගේ නාමයෙන් හඳුන්වන්නට යෙදුන මේ උද්‍යානය, දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ දී යුධ කඳවුරක් ලෙසටද භාවිතයට ගැනුනි. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව එය නැවත කොළඹ නගර සභාව වෙත පවරා දෙනු ලැබූවේ 1951 වර්ෂයේ දී ය. ඉන් වසර හතකට පසුව 1958 දී විහාර මහා දේවී ගුණානුස්මරණ කමිටුවේ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම උද්‍යානය විහාර මහාදේවී උද්‍යානය ලෙස නම් කරනු ලැබීය. 

කොළඹ විහාර මහා දේවී උද්‍යානය තුල දුම්රියක් ධාවනය කිරීමට ‍විශේෂ හේතුවක් වූයේ විවේකය හෝ විනෝදාශ්වාදය උදෙසා උද්‍යානයට පැමිණෙන්නන් වෙනුවෙනි. විශේෂයෙන්ම උද්‍යානයේ කෙළිදෙලෙන් ගත කිරීමට යනෙන කුඩා දරුවන් වෙනුවෙනි. එවකට ලංකාවේ ප්‍රධානම පුරවැසියන් දෙපල වූ ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස ‍හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව සහ තවත් සම්භාවනීය අමුත්තනරැසකගේද ප්‍රධානත්වයෙන් එදා මේ දුම්රිය මහත් උත්සවාකාරයෙන් විවෘත විය.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ භාවිතය සඳහා හොදාගත් එංගලන්තයේ නිෂ්පාදිත හන්ස්ලට් වර්ගයේ (Class P1 527) කුඩා දුම්රිය එන්ජිමක් සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ භාවිතා කරන ලද දුම්රිය මැදිරි දෙකක් මේ ස්ඳහා යොදා ගැනුනි. කුඩා දුම්රිය මැදිරි දෙකම කොළ පැහැයෙන් වර්ණගන්වා සිඟිත්තන්ගේ සිත් ඇදගන්නා අයුරින් සුරතල් සතුන්ගේ රූප ආදියද එහි පිට පැත්තේ සිතුවම් කර තිබුණි.

සැතපුම් තුන් කාලකට ආසන්න දුම්රිය මාර්ගයක් ද එහි දෙකෙලවර කුඩා වේදිකා දෙකක් සහ දුම්රිය ස්ථාන දෙකක් ද ඉදිකරන ලද අතර දුම්රිය සංඥා ආදියද මෙහි ඇතුලත් විය. දුම්රිය ධාවනය ඇරඹූ වේදිකාව පිහිටියේ කොළඹ නගර සභාව ඉදිරිපසට මුහුණ ලාය. එය "මරදාන" නම් වූ අතර දුම්රිය මාර්ගයේ අනෙක් කෙළවරෙහි වූ වේදිකාව "කෝට්ටේ පාර" නම් විය. දුම්රිය සමාරම්භක දිනයේ දී මරදාන දුම්රිය පලේ ස්ථානාධිපතිවරයා වූයේ කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් වරයා වන බී ඒ ජයසිංහ මහතාය.

විචිත්‍රවත් අයුරින් ආලෝක කරනය කර තිබූ විහාර මහාදේවී උද්‍යානය වෙත අප්‍රේල් 26 වන දා සන්ධ්‍යාවේ දී ජේ ආර් ඇතුලු අමුත්තන් පිවිසුනේ උද්‍යානය තුල මේ උදාවන විශේෂ සිදුවීම දැක බලා ගැනීම සදහා රැස් කකා සිටි ලොකු කුඩා නගරවැසියන් සිය ගනනක ගේ අත්පොලසන් සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.
"මරදාන" දුම්රිය පලේ ටිකට් පත් කවුලුව වෙත එබී ටිකට් පත ගත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන, කෝ සල්ලි ගන්නේ නැද්දැයි සිනාසී බී ඒ ජයසිංහ මහතාගෙන් විමසා නියමිත ගාස්තුව ගෙව්වේය. අගමැති ප්‍රේමදාස මහතාද මුදල් ගෙවා තමාටත් තමා හා පැමිණි සෙසු අයටත් ටිකට් ගත්තේය.
ජනාධිපතිවරයා යතුර පිළිගෙන දුම්රිය මැදිරියක දොර හැර පළමුවෙන් අසුන්ගත් පසු සෙසු සියල්ලන්ටද අසුන්ගැනීමට ඉඩ ලැබුණි. පොඩිත්තන්ගේ කෙළිලොල් සිනා හඬ මධ්‍යයේ පුංචි කෝච්චිය පිටත් වීමට පෙර හූ හඬ නැංවූයේ එදා රට කරවූ ලොක්කන්ගේ බොළඳ වැඩ ගැනත් හිතලා වන්නට පුලුවන.

විහාරමහාදේවී උද්‍යානයේ පුංචි කෝච්චිය ධාවනය වීම 1999 වර්ෂය පමණ වනවිට (දිනය සහ වසර සනාථකරගෙන නැත) අභාවයට ගිය අතර දුම්රිය එන්ජිමෙහි කොටස් සහ මැදිරිවල කොටස් ‍කාලයත් සමග සොරුගලවාගෙන යමින් තිබුණි. 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ CHOGHM සමුලුව සඳහා කොළඹ නගරයේ බොහෝ තැන් මෙන්ම විහාර මහාදේවී උද්‍යානයද නවීකරණය කරන ලද අතර එහිදී උද්‍යානය තුල කාලයක් තිස්සේ අතහැර දමා තිබූ දුම්රිය සහ අවශේෂ කොටස් මෙන්ම දුම්රිය මාර්ගය වේදිකා කොටස් සහ සංඥා කණු ආදියද ගලවා ඉවත් කරන ලදී.

උපුටා ගැනීම - http://trainsl.blogspot.com

No comments:

Post a Comment