මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම
Saturday, January 23, 2021
මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම
ගෝරියක් නිසා හැදුණු මරදානේ ටවර් රගහල
ගෝරියක් නිසා හැදුණු මරදානේ ටවර් රගහල
Tuesday, December 15, 2020
කොළඹට නම දුන් “කොළ අඹ ගස”
කොළඹට නම දුන් “කොළ අඹ ගස”
කොළඹ ශි‍්‍ර ලංකාවේ වාණිජ අගනගරය වුවද එහි අතිශය පැරණි ඉතිහාසය ගැන තොරතුරු සොයාගැනීම උගටහය. එනාසාම කොළඹ යන වචනයේ උපත සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුැර නැත.බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන සඳහන් තොරතුරුවල කොළඹට නුදුරෙන් වූ කැළණිය ගැන සඳහන් වුවද කොළඹ ගැන සඳහන් නොවේ.එකල කොළඹ ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් වන්නට ඇති බව සිතිය හැකිය.
කොළඹ ගැන සඳහන්ව ඇති පැරණිම වාර්තාව කි‍්‍ර.ව.1330 තරම් ඈත අතීතයට අයත්ය.එම වසරේදි මෙරටට පැමිණි චීන ජාතිකයකු වූ ච- චෑන්- ටා -යූ වොන් ඔහුගේ ගමන් වාර්තාවල කා ඕ- ලන් -පූ ලෙස සඳහන් කර තිබේ.මෙහි කා ඕ -ලන් -පූ යනු කොළඹ ප්‍රදේශය බව විශ්වාස කෙරේ.චීන භාෂාවෙන් කා ඕ- ලන් -පූ යනු නිසරු පහත් බිමට යෙදෙන නමකි.
මේ ඓතිහාසික වාර්තාවලින් පසු කොළඹ ගැන පිළිගත් තොරතුරු වාර්තා වන්නේ රොබට් නොක්ස් ගේ ලංකාව පිළිබඳ සටහන්වලය.කොළඹ වදනේ පුනරුක්තිය ගැන දීර්ග විස්තරයක් කරන රොබට් නොක්ස් මෙසේ සඳහන් කරයි.
”කොළඹ නගරයට බටහිර දිග්භාගයේ ස්වදේශිකයන් අඹ ගස නමින් හඳුන්වන ගසක් තිබේ.අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ ඵල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස ”කොළ- අඹ ” යන නමින් හැඳින් වූ අතර කි‍්‍රස්තියානීන් කොලොම්බස්ට ගෞරව කරනු වස් ”කොලූම්බු ”යන්න එ් වෙනුවට යොදාගෙන ඇත.
නොක්ස් සඳහන් කරන ආකාරයට මේ අඹ ගස කොළඹ නගරයේ බටහිර දෙසට වන්නට පිහිටා තිබුණේය.අඹ ගස ඉතා සරු වුයේ වුවද එහි ඵල හට නොගත්තේය.කොළඹ ආසන්න මුහුදේ ගමන්ගත් නැවියන්ට මෙම කොළ පමණක් තිබූ අඹ ගස දර්ශනය වී තිබේ.කොළ තිබූ අඹ ගස ”කොළ අඹ” වී පසුව ”කොලොම්- බූ ”ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ.මෙය සිංහල ව්‍යවහාරයේදී ”කොළඹ” වී ඇති බව විශ්වාසයයි.
මෙම මතයේ සත්‍ය අසත්‍ය තාවය කුමක් වුවද කොළඹ තිබුණේයැයි කියන කොළ අඹ ගස ඔලන්ද ජාතීහු ඔවුන්ගේ බලකොටුවේ ලාංඡුනයක් ලෙස යොදා ගත්හ.මෙම ලාංඡුනයෙන් දැක්වෙන්නේ කොළ පමණක් ඇති අඹ ගසක වසා සිටින පරෙවියකුගේ රුවකි.කොළඹ කොටුවේ පිහිටි ඔලන්ද කෞතුකාගාරයේ මේ ලාංඡුනය අදටද දැකගත හැකිය.
මෙම මතිමතාන්තර හැරුණු විට කොළඹ නම නිර්මාණය වූ ආකාරය ගැන තවත් ප්‍රකට මතයක් පවති.එ් කොළඹ නගරය මැදින් ගලාගෙන ගිය කොලොන් නම් ගඟ මුල්කර ගනිම්න් කොළඹ යන වදන බිහිවූයේය යන්නය.මේ කියන කොලොන් ගඟ අද අපි දකින කැලණි ගඟ නොවේ.කොළඹ ඉතිහාසය පිළිබඳ ප්‍රකට ඉතිහාසඥයකු වූ ඇස්.ජී පෙරේරා පියතුමා සඳහන් කර ඇති ආකාරයට කොලොන් ගඟ කොළඹ ප්‍රදේශයේ ගංවතුර මෝය කරා ගෙනගිය කුඩා ගංගාවකි.
”කොළඹට බස්නාහිරින් කුඩා කඳු පන්තියක් විය.මේ කඳු පන්තිය හැඳින්වූයේ ආදුරුප්පු අලූත්කඬේ හා සැන් සෙබස්තියන් යන නම්වලිනි.කඳු දෙපැත්තේම පහත්බිම් තීරුය.කැලණි ගඟට හා මෙම කඳු මුදුන් වලට මැදිවූ ප්‍රදේශයේ වගුරු බිම් තිබිණ.මේ වගුරු බිම් මැදින් ගලාගෙන ගිය ගඟ කොළඹ වරාය හරිමැදින් බෙදමින් මෝයට වැටුණි.මේ කුඩා ගංගාව කැලණි ගගින් පිටාර යන ගංවතුර වරායට ගෙන ගියේය.නාගලගම්හිදි බෙදී ගිය මේ ගඟට පෘතුගි්රසින් කිවේ ඕ ග්රෑන්ඬේපාසේ කියාය.දැනට අපි මෙය ග්රෑන්ඞ්පාස් කියා හඳුන්වමු.”
කොලොන් ගඟ ගැන ඇස්.ජි පෙරේරා පියතුමාගේ සටහන එසේය.
විශ්වාසකරන අන්දමට පසුකාලයේ බේරේ වැව නිර්මාණය කර ඇත්තේ මේ කොලොන් ගඟ හරස් කිරීමෙනි.කෙසේ වුවද ොකළඹ ගැන ලියූ කිසිදු ලේඛකයකු මේ කුඩා ගංගාව කොලොන් ගඟ ලෙස හඳුන්වා නොතිබීම මෙහිලා අවධානය යොමුවිය යුතු කරුණකි. එබැවින් කොළඹ යන වදනේ උපතට හේතු වූයේයැයි කියන කොලොන් ගඟ යනු වර්තමාන කැලණි ගඟ බව ඇතැමුන්ගේ මතයයි.
කොළඹ වදනේ උපත ගැන ඇති මේ සියලූ මත ප්‍රතික්ෂේප කරන ජූලියස් ද ලැනරෝල් සූරීහු කොළඹ යනු ස්වදේශික භාෂාවන්ගෙන් බිඳී ආ වදනකැයි පවසති.රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට ලිපියක් ලියන ඔහු කොළඹ යනු සිංහල වචනයක් බවත් එහි අරුත වරාය, නැව් තොට යන්න බවත් පවසා තිබේ.කොළඹ වරාය පසුකාලීනව ලංකාවේ ප්‍රධාන වරාය බවට පත් වූයේය.ලක්දිව ප්‍රධානම ව්‍යාකරණ ග්‍රන්තය වන සිදත් සඟරාවේ සඳහන් වන්නේ ද කොළඹ වදන වෙනත් භාෂාවකින් බිඳී ආවක් නොව සිංහල වදනක් බවය.
පි‍්‍රයංගිකා එදිරිසූරිය ආරච්චි
උපුටා ගැනීම - https://aperata.net/colombo-srilanka/
රස කතාවකට නොදෙවැනි කොළඹ නගරයේ ප්‍රවාහන ඉතිහාසය
ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු කෞතුකාගාර පාලක, ජේතවන කෞතුකාගාරය, බාහිර කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
මෙරට ප්‍රවාහන පද්ධතියට අධිවේගී මාර්ග එක් වීමෙන් අනතුරුව වඩාත් දියුණු තත්ත්වයකින් පවතිනු දැක ගත හැකිය. කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන කුලුනු මතින් විහිදෙන මාර්ග පද්ධතියක් ද දැනට බිහි වෙමින් පවතියි. එසේම එම මාර්ග පද්ධතිය ඇසුරෙහි විවිධ මාදිලියේ නූතන රථ වාහන රැසක් දැකගත හැකිය. එවැනි පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයේ අතීත ප්‍රවාහන පද්ධතිය පිළිබඳ කරුණු විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
කොළඹ නගරයේ මීට ශත වර්ෂයකට පමණ ඉහතදී ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූයේ අශ්වරථයයි. එහෙත් ඒවා පරිහරණය බ්‍රිතාන්‍ය පාලකයන්ට හා වෙනත් ප්රභූන්ට පමණක් සීමා විය. එම රථ සඳහා යෙදූ අසුන් සංඛ්‍යාවද ඒ ඒ පුද්ගලයාගේ සමාජ මට්ටම අනුව වෙනස් වූ අතර ඒ අනුව අය කෙරුණු ගාස්තුව ද වෙනස් විය. නිදසුනක් ලෙස පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා කාලය සඳහා තනි අශ්වයෙකු යෙදූ රථයක් සඳහා සිලිං 06ක් ගෙවිය යුතු වූ අතර අශ්වයන් දෙදෙනෙකු යෙදූ රථයක් සඳහා එම ගාස්තුව සිලිං 07යි පැන්ස 06කි.
පැයක් හෝ ඊට අඩු කාලයක් සඳහා එම ගාස්තුව පිළිවෙළින් සිලිං 01 ක් සිලිං 02ක් විය. එම ගාස්තු සහ අශ්වරථ හා සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක වූයේ 1848 අංක 07 හා 1853 අංක 01 දරන පනත් අනුවය.
ප්‍රථමයෙන්ම කොළඹ නගරයට පමණක් සීමා වූ අශ්වරථ පසුව කොළඹ මහනුවර නගරාන්තර මට්ටම දක්වා ව්‍යාප්ත වූ අතර එම කටයුතු එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය යටතේ සමාගමකට පවරා තිබිණි. කොළඹ සිට මහනුවර දක්වා අශ්ව රථයක ඇතුළත ආසනයක් සඳහා පවුම් 02ක් ද ඉදිරි අසුනක් සඳහා පවුම් 01 යි සිලිං 10ක්ද අය කෙරුණි. 1930 දශකයේ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් වර්ධනය වීමත් සමගම අශ්වරථ ක්‍රමයෙන් භාවිතයෙන් ගිලිහී ගොස් ඇති බව ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී පැහැදිලි වේ.
1931 වන විට කොළඹ නගරයේ තිබී ඇත්තේ එක් අශ්වරථයක් පමණි. 1920 පමණ වන විට ගොන්කරත්තය කොළඹ නගරයේ වඩාත් ජනප්‍රියතම මෙන්ම වඩාත් ලාභදායී භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය විය.
කෙසේ වෙතත් කොළඹ නගරය පදනම් කොටගත් මුල්ම පොදු ප්‍රවාහන සේවය වූයේ දුම්රියයි. ඒ අනුව 1865 දී මුලින්ම කොළඹ-අඹේපුස්ස අතර දුම්රිය ගමනාගමනය සිදු වූ අතර පසුව එය දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වන්නට විය. එලෙස දුම්රිය මඟින් කොළඹ හා දිවයිනේ වෙනත් නගර සම්බන්ධ කෙරුණද නගරය තුළ පොදු ප්‍රවාහන මාධ්‍යයක් නොවීය.
කොළඹ නගරයේ යාන්ත්‍රික නොවන වාහන
1921 1927 1931 1935 1939
රික්ෂෝ 3741 4682 3868 3602 3606
අශ්වරථ 62 03 01 - -
තිරික්කල 132 102 70 43 24
ගොන්කරත්ත 2875 3118 2656 2003 1681
බයිසිකල් 14 40 44 95 73
මේ අතර 1833 දී කොළඹ නගරය තුළ පොදු ප්‍රවාහන මාධ්‍යක් ලෙස ට්රෑම්රථ සේවය ආරම්භ කිරීම සඳහා අදහස් ඉදිරිපත් වී තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1899 ජනවාරි 12 වන දින කොළඹ ට්රෑම්රථ සේවය විවෘත විය. කොළඹ කොටුවේ ජී.ඕ.එච්. හෝටලය අසලින් තොටළඟ දක්වා වූ එම මාර්ගය විවෘත කරන ලද්දේ එවකට කොළඹ නගරාධිපති ධුරය දැරූ ප්‍රයස් මහතා විසිනි. එම ප්‍රථම ගමනට නගරාධිපතිවරයා සමඟ එල්. වෑන්ඩර්ස්ට්රාටන්, එෆ්.එච්. ග්‍රීන් ලින්ටන්, ආර්.එච්. බෝර්ගන්, සී.පී. ඩයස්, එච් වැන්කියුලන්බර්න් හා වෝල්ටර් පෙරේරා යන නගරසභික මහත්වරු ද සහභාගි වූහ. 1899 ජනවාරි 14 වන දින ලක්මිණි පහණ පුවත් පත වාර්තා කරන පරිදි කොළඹ කොටුවේ සිට තොටළඟ දක්වා වූ එම මංගල ගමනට විනාඩි 17ක් ගත වී ඇති අතර ආපසු ඒමට විනාඩි 10ක් ගත වී තිබිණි.
කෙසේ වෙතත් එම නව ප්‍රවාහන මාධ්‍යයේ බිහි වීම පිළිබඳ වාර්තා කරන 1899 ජනවාරි 14 වන දින දිනකර ප්‍රකාශය පුවත්පත එම “වීදි දුම්රිය” ගමනාගමන කටයුතු සඳහා පහසුවක් වුවද ඒ නිසා කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් දහස් ගණනකගේ ජීවිකාව පිළිබඳ ප්‍රශ්න ඇති වන බැවින් ඒ පිළිබඳ රජයේ හා නගර සභාවේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දෙයි.
තොටළඟ ට්රෑම්රථ මාර්ගය ආරම්භ කිරීමෙන් අනතුරුව බොරැල්ල දක්වාද ට්රෑම්රථ මාර්ගයක් බිහි විය. තොටළඟ මාර්ගය, කොටුවේ යෝර්ක් වීදියේ සහ මහා වීදියේ කෙළවරින් ආරම්භ වී, වෝර්කර්ස් සමාගම, ටයිම්ස් සමාගම, තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව, වරාය දුම්රිය ශාඛා මාර්ගය පසුකොට පිටකොටුව මහා වීදියට පිවිස කයිමන් දොරටුවේ ඝණ්ටාර කුලුන, නගර ශාලාව (පැරණි), බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලය පසු කොට ආමර්වීදිය, කොටහේන ඔස්සේ තොටළ ඟ දක්වා විහිදිණි. එම සම්පූර්ණ ගමන සඳහා ශත 20ක් අය කෙරුණු අතර ආමර්වීදිය දක්වා ගාස්තුව ශත 10ක් විය.
බොරැල්ල දක්වා විහිදුණු අනෙක් මාර්ගය, යෝර්ක් වීදියෙන් ආරම්භ වී, වෙළඳ ගබඩාව, සර්වේ ජනරාල් කාර්යාලය, රජයේ වැඩ දෙපාර්තමේන්තුව (PWD), කොටුව දුම්රිය ස්ථානය පසු කොට නොරිස් පාර (වර්තමාන ඕල්කොට් මාවත), ඔස්සේ සොල්දාදුවන්ගේ හා නාවිකයන්ගේ නිවස්නය කාර්මික විද්‍යාලය පසු කොට මරදාන දුම්රිය ස්ථානයට ළඟා විය. ඉන්පසු පාලම හරහා මුස්ලිම් පල්ලිය, පොලිස් මූලස්ථානය, පරමවිඥානාර්ථ උසස් විද්‍යාලය, ප්‍රධාන සිවිල් වෛද්‍යා නිලධාරි කාර්යාලය, වෛද්‍ය විද්‍යාලය, හැව්ලොක් ආර්යා ළමා හා කාන්තා රෝහල (වර්තමාන රිජ්වේ ආර්යා රෝහල) පසුකොට බොරැල්ල හන්දියට ළඟා වේ. එම මුඵ ගමන සඳහා ගාස්තුව ශත 20 ක් වූ අතර මරදාන පාලම අසලට ශත 10ක් විය. (J.C. WILLIS-CEYLON-1907)
1925 වන විට ට්රෑම්රථ සේවය ඉතා සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක් වූ අතර එම කටයුතු මෙහෙයවන ලද්දේ Ceylon Electric Tramways & Lighting Co.Ltd සමාගමයි. ට්රෑම්රථ සේවය ගැන කතා කිරීමේදී 1929 දී සිදු වූ වැඩවර්ජනය ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතු අතර ශ්‍රී ලංකාවේ වැඩවර්ජන ඉතිහාසයේ සාර්ථක වැඩවර්ජනයක් ලෙසද සඳහන් වේ. වැටුප් ගෙවීම හා සම්බන්ධ ආරවුල් පදනම් කොටගෙන ආරම්භ වූ එම වැඩවර්ජනය වඩාත් සටන්කාමී මුහුණුවරක් ගත්තේය. එ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේගේ පවා සහාය ලැබී තිබේ. කෙසේ වෙතත්, එම වැඩවර්ජනය නිසා, කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කෙරෙහි සිදු වූ බලවත් අසීරුතාව නිසා බ්‍රිතාන්‍ය වෙළඳ ව්‍යාපාරිකයන් පවා පොලිස් ආරක්ෂාව යටතේ ට්රෑම්රථ පැදවීම සඳහා ඉදිරිපත් වී තිබේ.
1920 ගණන් වන විට ට්රෑම්රථ සේවයට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එනම්, ඔමිනි බස් සේවය ආරම්භ වීමයි. ඒ වන විට ඔමිනි බස් හිමියන්, ට්රෑම්රථ සේවය හඳුන්වා දුන්නේ, මාර්ග අවහිර කරන, මාර්ග නීති කඩ කරන, එමෙන්ම නිරතුරුව අලුත්වැඩියාවට ලක් නොකළහොත් අනතුරුදායක වන ප්‍රවාහන මාධ්‍යයක් ලෙසිනි. ඒ හේතුව නිසා ඔමිනි බස් ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට වූ අතර එය ට්රෑම්රථ සේවය මෙන් කොළඹ නගරයට පමණක් සීමා වූවක්ද නොවීය. මුලින්ම බස්රථ තනි තනි පුද්ගලයන්ට අයිතිව පැවති අතර පසුව ඒවා සමාගම් බවට පත් විය. එසේ බස්රථ සමාගම් බිහි වීම කෙරෙහි බලපෑවේ ඒ පිළිබඳ ඇති වූ නොයෙකුත් ගැටුම් සහගත තත්ත්වයන්ය. ඒ සම්බන්ධයෙන් ඔමිනි බස් සමාගමක හිමිකරුවකු අදහස් දක්වා ඇත්තේ මෙසේය.
“මුලින්ම බස්වලින් මිනිස්සු අදින්න පටන් ගත්තේ තනි තනි සල්ලිකාරයන් බස් එකක් දෙකක් තියාගෙන ඒවා තමන්ට ඕන ඕන පාරවල්වල ධාවනය කිරීමෙන්, ඒ දවස්වල අපිට බස් එක පාරට දාන්න සිදු වුණේ කිණිස්සක් හෝ පිස්තෝලයක් එක්ක. කිසිම බාහිර බලපෑමක් බස් මුදලාලිට තිබුණේ නෑ. ඉතින් ඒ ඒ මිනිසුන්ට ඕනෑ විදිහටයි බස් දිව්වේ. එකම පාරේ මුදලාලිලා දෙතුන් දෙනෙකුගේ බස් දුවනවා. නිතරම ඒ අය අතර ඝට්ටන නැති කරන්න තමයි පස්සේ බස් මුදලාලිලා එකතු වෙලා බස් කොම්පැනි දැම්මේ”( “දෙසතිය”-1980-12-15) වර්ෂ 1945 වන විට කොළඹ නගරය ඇතුළුව දිවයින පුරා එලෙස බස්රථ සමාගම් 55ක් බිහි වී තිබිණි. මේ අතර 1953 ජූලි 22 වැනි දා කොළඹ නගරයේ ට්‍රොලි බස් සේවයද ආරම්භ විය. ඒ සමඟම ඒ වන විට වසර 60ක් පමණ පැරණි ප්‍රවාහන සේවයක්ව පැවති ට්රෑම්රථ සේවය ක්‍රමයෙන් අභාවයට යන්නට විය. සමාගම් යටතේ ක්‍රියාත්මක වූ ඔමිනි බස් රථ සේවයද 1955 දී ලංකා ගමනාගමන මණ්ඩලය ලෙසින් ජනසතු කරන ලදී.
කොළඹ නගරයේ යාන්ත්‍රික ප්‍රවාහනයට පුරෝගාමී වූ ට්රෑම්රථයක් හෝ ට්‍රොලි බසයක් වර්තමානයේ දැක බලාගැනීමට හෝ ඉතිරිව නැති වීම කනගාටුවට කරුණකි. මෑතක් වන තුරුම ට්රෑම්රථ මාර්ගවල ඉතිරි වූ කොටස් කිහිපයක් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම දක්නට ලැබුණත්, නූතන මාර්ග සංවර්ධන කටයුතු යටතේ එම මාර්ගවලට අයත් යකඩ පීලි අද ඉවත් කොට හෝ මහාමාර්ගවලට යට වී ගොස් තිබේ.
එසේ වුවත්, ශ්‍රී ලංකාවේ පැරණිම බස් රථ කිහිපයක් කොළඹ නගරයේ තවමත් ඉතිරිව පැවතීම සතුටට කරුණකි. දැනට ශ්‍රී ලංකාවේ ඇති පැරණිම බස් රථය නෝමිස් ද සිල්වා මහතා සතු වූ වර්තමානයේ ඊබට් සිල්වා සංචාරක සමාගම සතුව ඇති Z1988 අංක දරණ Chevrolet 1935 වර්ගයේ බස් රථයයි. මඟීන් 35 දෙනෙකුට ගමන් කළ හැකි එම බස් රථය කොළඹ-මාතර මාර්ගයේ ධාවනය සඳහා යොදවා තිබූවකි. (Sunday Times- 23.10.94)
ඊට අමතරව, රියදුරු පුහුණු කටයුතු සඳහා යොදා ඇති IC කණ්ඩායම අයත් බස් රථ කිහිපයක්ද ඉඳහිට කොළඹ නගරයේ දැකිය හැකිය. කෙසේ වෙතත් දැනට කොළඹ නගරයේ මඟීන් ප්‍රවාහනය සඳහා භාවිතයට ගැනෙන පැරණිම බස් රථ වන්නේ , 22,23 ශ්‍රී කාණ්ඩවලට අයත් Mercedes Bens, Isusu බස් රථ කිහිපයකි. දැනට පෞද්ගලික බස් හිමියන් සතුව ඇති එම බස්රථ, කලින් ගමනාගමන මණ්ඩලය සතු වූ ඒවාය.
උපුටා ගැනීම - http://www.silumina.lk/2019/11/16/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BB%E0%B7%83-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%C2%AD%E0%B7%80%C2%AD%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%C2%AD%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%B1%E0%B6%9C%C2%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%C2%AD%E0%B7%84%E0%B6%B1-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B6%BA
ලාංකික කතෝලික බැතිමතුන්ගේ ඉතිහාසය ජීවමාන කරන කොළඹ පැරණි දේවස්ථාන
ශාන්ත පීතර පල්ලිය හැදුවෙ ඕලන්ද ආණ්ඩුකාර නිල නිවසෙ
* අවුරුදු හාරසීයයක් පැරණි ඝණ්ඨාරයක් කොල්ලුපිටිය ශාන්ත මයිකල් පල්ලියෙ
* කොටුවෙ පෘතුගීසි පල්ලියෙ තිබුණු ඝණ්ඨාරය අද තිබෙන්නෙ කයිමන් දොරකඩ
* දොන් ජුවන් ධර්මපාල රජුගේ සොහොන් කොත ඇති බව කියන්නෙ ආදුරුප්පුවීදිය පල්ලියෙ
සීවලී බණ්ඩාර මනතුංග
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය
කැලණි ගඟේ කෙළවර වූ මෝදර, මට්ටක්කුලිය, කොටහේන වැනි කොළඹට උතුරු ප්‍රදේශය වර්තමානයේ වැඩි ම ජනවර්ග හා ආගමික මිශ්‍රණයකින් යුත් ප්‍රදේශය වේ. මෙහි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ප්රමුඛව බර්ගර්, මැලේ, ජා, හෙට්ටි, කාපිරි, ඇෆ්ගන් බෝරා ආදී වෙළඳාම හා යුධ කටයුතු හේතුවෙන් ස්ථානගත වූ මිශ්‍ර සුළු ජන වර්ග ද රාශියකි. නගරයෙන් බැහැරට බහුතරය සිංහලයෝ වෙති. ඉන් වැඩි ප්‍රමාණයක් බෞද්ධයන් වන අතර සෙසු අය හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්‍රිස්තියානි ආගම් අදහන්නෝ ය.
8 -9 සියවස් වන විට ඉස්ලාම් දහමේ ව්‍යාප්තියත් සමග බලවත්වූ අරාබි වාණිජ ලෝකය තුළ කොළඹ නගරය ප්‍රචලිතව තිබුණෙන් මෙහි පැමිණි අරාබි ජාතිකයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය විය. අරාබි පූජවරයෙකුගේ මිහිදන් කිරීමක් පිළිබඳව 10 වන සියවසට අයත් ‘කුෆික්’ (Kufik) අක්ෂර කෙටූ සොහොන් ගලක් කොළඹින් හමුවී තිබේ. ‘ඉබ්න් අබු බකායා’ නම් එම පූජකවරයා මෙරට සිටි ඉස්ලාම් භක්තිකයින් විසින් තම ආගමික කටයුතු ඉටු කර ගැනීම පිණිස බැග්බෑඩ්හි කාලිෆ් රජු මගින් ගෙන්වූ අයෙකි. 14 වන සියවස වන විට මරක්කල හා ‘හම්බන්’ නමින් හඳුන්වන ඉස්ලාම් භක්තිකයන් රෙදිපිළි, කුරුඳු, ඇත්දළ, රන්, රිදී, මැණික් වෙළඳාම පිණිස කොළඹට පැමිණ තිබේ. මෙසේ අරාබින් හා සම්බන්ධ කටයුතු වර්ධනයත් සමග කොළඹ දකුණු ඉන්දීය කලාපයේ සැළකිය යුතු වරායක් බවට පත් විය.
ලංකාවේ මුල්ම පල්ලිය
කොළඹ නූතන ඉතිහාසයට වැඩි බලපෑමක් එල්ල වන්නේ පෘතුගීසින්ගේ පැමිණීමත් සමග ය. වර්ෂ 1505 නොවැම්බර් මස දකුණු ඉන්දියාවේ ගෝව හි පෘතුගීසි අධිරාජ්‍යයාගේ පුත් ලොරොන්සෝ ද අල්මේදා ප්රමුඛ නාවික පිරිසක් මෙහි පැමිණෙන විට කොළඹ ජනප්‍රිය වෙළඳපොලක් විය.
කෝට්ටේ එවකට සිටි වීර පරාක්‍රමබාහු (1484-1508) රජුගෙන් කොළඹ වෙළඳාම් කිරීමට හා කොළොන්තොට ආරක්ෂා කර දීමට පොරොන්දු ලබා ගැනීමෙන් පසු තම ඓතිහාසික ගමන සිහිවීමට කොළඹ ගල්බොක්කේ ගල්පරයක පෘතුගීසි රාජ්‍ය ලාංජනය කොටනු ලැබිණ. ගල්බොක්ක තුඩුව මුහුදු ආරක්ෂාව පිළිබඳ සාන්තුවරයෙකු වූ ‘ශාන්ත ලෝරන්ස්’ නමින් නම් කෙරිණි. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට මෙම ස්ථානය සොහොන් බිමක් ද සහිත එළිමහන් භූමියක් විය. (අරාබි පූජවරයෙකුගේ මිහිදන් කිරීමක් පිළිබඳව 10 වන සියවසට අයත් ‘කුෆික්’ (Kufik) අක්ෂර කෙටූ සොහොන් ගල හමුවන්නේ මෙය අසළිනි). ඒවා ඉවත් කර‘ශාන්ත ලෝරන්ස්‘ නමින් ම ඔවුන්ගේ මුල් ම දේවස්ථානය එහි ඉදි කෙරිණ.
පසුව පෘතුගීසීන්ගේ ආධාර ලැබූ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු (1551-57) තම ආරක්ෂාව පිණිස කොළඹ කොටුවේ පෘතුගීසින් වෙත පැමිණියේ ය.
ඒ වනවිට කොටුව තුළ ශාන්ත ප්‍රැන්සිස් නම් ස්ථාවරව තැනූ පල්ලියක් විය. පසුව එහිදී මිය ගිය ධර්මපාල රජු කොටුවේ භූමදානය කරන ලද්දේ ද මෙම ශාන්ත ප්‍රැන්සිස් පල්ලියේ ය.
කොළඹ වරාය භූමියේ දැනට ඇති කුරුසිය සහිත පර්වතය
1656 මැයි මසදී දෙවන රාජසිංහ (1629-87) රජුගේ ද සහය මත කොළඹ පෘතුගීසි කොටුව දීර්ඝ හා දරුණු සටනකින් පසු ඕලන්දයින්ට යටත් විය. කෝට්ටේ නගරයේ හා කොළඹ ප්‍රදේශයේ තිබූ පෘතුගීසි පල්ලි ඕලන්ද පාලනය තුළදී විනාශ කෙරිණ. කොටුවේ ශාන්ත ලෝරන්ස් පල්ලිය විනාශ කෙරණි. ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය ද විනාශ කර එහි ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ (V.O.C සමාගමේ) නිල දේවස්ථානය ඉදි කෙරිණි. එහි වූ සොහොන් බිම ප්‍රධාන සොහොන් බිම ලෙස 1813 වර්ෂය තෙක් භාවිත විය. පසුව සොහොන් ඵලක සියල්ල වුල්වෙන්ඩාල් පල්ලිය (ආදුරුප්පු වීදියේ පල්ලිය) වෙත ගෙන යන ලදී. ෆ්‍රැන්සිස් පල්ලියේ තිබූ ධර්මපාල රජුගේ සෙහොන් ඵලකය 1766 දී කොටුවේ ශාන්ත පීතර පල්ලියටත්, 1813 දී ආදුරුප්පු වීදියේ වුල්වෙන්ඩාල් පල්ලියටත් රැගෙන යන ලදී. එහි සවිකර තිබු ලෝහමය ඝණ්ඨාරය කයිමන් දොරකඩ අසළඝණ්ඨාර කුළුණේ සවිකරන ලදැයි කියවේ.
‘ශාන්ත ලෝරන්ස්’ හා ශාන්ත බාබරා’ ලෙසින් නම් කර තිබූ පෘතුගීසි කොටුව ද සම්පූර්ණයෙන් ම සමතලා කෙරිණි.
පිටකොටුවේ සෙක්කු වීදියේ ශාන්ත මේරි පල්ලිය ද එසේ ගොඩනගන ලද්දකි. මෙම භූමියේ පෘතුගීසි පාලන අවධියේ පැවති පල්ලියක් කඩා දමා 1655-56 වර්ෂවල ඕලන්ද පාලකයින් එම ස්ථානයේ ම වෙනත් පල්ලියක් ඉදිකර ඇත. වර්ෂ 1814 පමණ වනතුරු පැවති එහි බොහෝ පැරණි කොටස් ඉවත් කොට ඉංග්‍රීසි පාලනයේදී ප්‍රොතෙස්තන්ත පල්ලියක් බවට පත් කෙරිණ.
අලුත්කඩේ ප්‍රදේශයේ ඇති මෙතෝදිස්ත පල්ලිය (1816), මට්ටක්කුලිය ප්‍රංශ වත්තේ මෙතෝදිස්ත පල්ලිය (1895), ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ඇති පැරණි දේවස්ථාන වේ. දැනට කොළඹ ඇති වෙනත් පෞරාණික, ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමක් ඇති දේවස්ථාන කීපයක් පහත දැක්වේ.
ශාන්ත පීතර දේවස්ථානය -කොටුව
වර්ෂ 1680 දී ඉදිවූ, ඕලන්ද ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස ද කලක් භාවිත වූ මෙම දේවස්ථානය එවකට නගරයේ තිබූ විශාලතම පෞද්ගලික ගොඩනැල්ල විය. පැරණි ලක්ෂණ අද එලෙසින් ම නැතත් ලංකා ඉතිහාසය හැදෑරීමේ බොහෝ ප්‍රයෝජනවත් මූලාශ්‍ර කීපයක් මෙහි වෙයි. ඕලන්ද පාලකයන් ඔවුන්ගේ පාලක මණ්ඩල රැස්වීම් සඳහා මෙම ස්ථානය භාවිත කළේය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් (1798-1805) ද මෙහි වාසය කළේ ය. එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් සඳහා ද කලක් භාවිත විය. 1804 වසරේදී ප්‍රතිසංස්කරණය කර ‘ශාන්ත පීතර ඉංග්‍රිසි ගැරිසන් දේවස්ථානය’ නමින් පූර්ණ ආගමික ආයතනයක් බවට මෙම ස්ථානය පත් කරන ලදී. එතෙක් බ්‍රිතාන්‍ය ජාතිකයින් තම ආගමික කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ඕලන්ද වුල්වැන්ඩාල් පල්ලිය යි.
වර්ෂ 1881 දී නැවත කළ ප්‍රතිසංස්කරණවලින් පසුව දේවස්ථානයට අවශ්‍ය අංග කීපයක් ඊට එක් කරනු ලැබී ය. මෙම දේවස්ථානයේ වර්ෂ 1930 වසරේදී ද ප්‍රතිසංස්කරණ සිදු කොට ඇත. දේවස්ථාන ශාලාවේ වම් පස කොටස බැතිමතුන්ගේ ආසන පේළියක් ද කෙළවර ඇති වේදිකාවට ඉහළින් අතින් ක්‍රියා කරවන පැරණි අවානක් ද වේ. බිත්තිවල ඕලන්ද හා බ්‍රිතාන්‍ය ප්රභූන්ගේ අනුස්මරණ ගල් පුවරු රැසකි.
ශාන්ත ඇන්ඩෲ දේවස්ථානය - ගාලු පාර
මුහුදු බඩ දුම්රිය මාර්ගය ගාලු පාරට යටින් දිවෙන පාලම අසළ අංක 73 හි පිහිටා ඇත. මැකන්සි ආණ්ඩුකාරවරයා (වර්ෂ 1841) මුල්ගල තබා කොළඹ කොටුවේ රජ වීදියේ ආරම්භ කර තිබූ දේවස්ථානය වෙනුවට පසුව කොල්ලුපිටියේ ඉදිකරන ලද මෙය වර්ෂ 1907 ට අයත් ය. ජේ. ජී.මැක්විදර් මෙහි මූලාරම්භක පියතුමා ය. එවකට මෙම පරිශ්‍රයේ තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉවත් කර ලංකාවේ සිටි ස්කොට් ජාතිකයින්ගේ ආගමික කටයුතු වෙනුවෙන් මෙය භාවිත වන්නට වූයෙන් එතැන් පටන් ‘ස්කොට් කර්ක්’ ( Scots Kirk) දේවස්ථානය නමින් ද හඳුන්වයි.
ගොඩනැගිල්ලේ සැලැස්ම සකස් කර ඇත්තේ එඩ්වඩ් ස්කිනර් ය. ගොතික් ශෛලියට (Gothic Perpendicular Style) ඉදිකර ඇති මෙහි කැපී පෙනෙන ලක්ෂණය නම් එහි ඉදිරිපස ඇති චතුරස්රාකාර කුළුණු දෙක ය. විශාල ගොතික් ආරුක්කු ද ඒ මැද ඒ හැඩයේ ම සුවිසල් වීදුරු ජනේලයක් ද මගින් දේවස්ථාන ශාලාවට ආලෝකය ලබා ගනී. මෙම වීදුරු ජනේලය වර්ෂ 1921 දී සවිකරණ ලද්දකි. ආරුක්කු කොරිඩෝරය හා කවුළුවලින් ද ශාලාවට මනා පෙනුමක් ලබා දීමට සමත් වී තිබේ.
ශාන්ත මයිකල් දේවස්ථානය - කොල්ලුපිටිය
කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතෙන් නැගෙනහිරට හැරී යන ශාන්ත මයිකල් පාරේ පිහිටා ඇත. මේ ස්ථානයේ දේව මෙහෙයයන් පොල් අතු ගොඩනැගිල්ලක ආරම්භ වී ඇත්තේ වර්ෂ 1814 දී ය. එකල එය ‘ශාන්ත තෝමස් පල්ලිය’ නම් විය. වර්ෂ 1864 දී කොළඹ අගරද ගුරු ක්ලොෆ්ටන් පියතුමාගේ සිට ශාන්ත මයිකල් ශාන්තුවර හා සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය ලෙස භාවිත කළේ ය.
ගොතික් ශෛලියට ඉදිකරන ලද මෙහි කවුළු, දොරටු, කොරිඩෝර සියල්ල කෝණාකාර ආරුක්කු හැඩයට තබා ඇත. ත්‍රිකෝණාකර මුදුන් ගේබලයක් එක්කර ඇත්තේ 1887 දී කළ ප්‍රතිසංස්කරණවලදී ය. වර්ෂ 1648 පමණ අයත් යැයි සැලකෙන පෘතුගීසි යුග ඝණ්ඨාරයක් ද මෙහි සංරක්ෂණය කර ප්‍රදර්ශනය කරයි.
ශාන්ත පාවුළු දේවස්ථානය - මිලාගිරිය
ගාලු පාරත් ඩික්මන් පාරත් එකිනෙක සම්බන්ධ වන කෝණාකාර භූමියේ පිහිටා ඇත. පෘතුගීසි පාලන සමයේ ‘Milagres’ ස්වාමි දුවගේ නමින් පල්ලියක් මෙහි තිබුණි. වර්ෂ 1848 දී ගොතික් ශෛලියේ කුඩා දේවස්ථානයක් සමග ම පාසැලක් ද (1853 දී) මෙහි ආරම්භ විය. දැන් එහි ඇති දේවස්ථානය 1890 දී ඉදිකරන ලද්දකි. උස් කෝණාකාර මුදුනක් සහිත වූ එය දෙපසට විහිදුණු පල දෙකක වහලයකින් යුක්ත ය. ඉදිරිපස ප්‍රවේශය විශාල ගොතික් ආරුක්කුවකින් ද, ශාලාවේ දෙපස පටු ආරුක්කු පෙළකින් ද නිර්මාණය කර ඇත. මේ බොහෝ ලක්ෂණ 1903 දී සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසු ඊට ලැබුණු දෑ ය. ක බැසිලිකාවක ස්වරූපයට කරන ලද එම ප්‍රතිසංස්කරණවලින් අටපට්ටම් කුළුණු දෙකක් ද ඊට එක්වී ඇත.
පිලිප් නේරි දේවස්ථානය - ඕල්කට් මාවත
රෝමානු කතෝලික දේවස්ථානයක් වන මෙහි මූලාරම්භය 1862 වුවත් අද එහි ඇත්තේ 1906 දී ඉදිකරන ලද්දකි. වඩාත් උස්ව ඉදිකර ඇති ඉදිරිපස මුහුණත සීනු කණු දෙකකින් සමන්විත ය. මුදුනේ වූ කුරුසය දෙපසින් බීරළු වැටවල් ද, කුඩා කොත් කීපයක් ද අර්ධ උන්නත කොරින්තියානු ශෛලියේ කුළුණු සහ ආරුක්කු හැඩැති බිත්ති කපරාරු ද වෙයි.
සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය - අලුත්කඩේ
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට පසුපසින් පිහිටා ඇත. උස් කෝණාකාර මුදුන් කොතක් සමග ගොතික් වාස්තුවිද්‍යාවට අනුව ඉදිකර ඇති මෙය වඩාත් ඈතට දර්ශනය වේ. මුදලියර් ජේ. ඒ. පෙරේරාගේ අධීක්ෂණය යටතේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් ඉදිකරන ලද මෙහි සැලැස්ම ජේ. එෆ්. චර්චිල් ගේ ය. ප්‍රධාන ශාලාවේ ඇතුළත ද ගොතික් ශෛලියට ම නිම කරන ලද දැව ආරුක්කු, පරාල ආදියෙන් අලංකාර කර ඇත. ශාලාවේ ඉහළ කොටස්වලට ළඟා වීමට පටු දැව පඩිපෙළක්, ආරුක්කු ජනේල හා දොරටුවලින් ද යුත් මෙය 1895 වර්ෂයේදී තනා නිම කරන ලද්දකි.
වුල්වැන්ඩාල් පල්ලිය - කොටහේන
ශ්‍රී රතනජෝති සරවනමුත්තු මාවතේ කෙළවර පිහිටා ඇත. ඕලන්ද රෙපරමාදු සභාව විසින් 1749 දි එවකට එහි තිබූ පෘතුගීසි පල්ලියක් ඉවත් කර මෙම ගොඩනැගිල්ල තනනු ලැබිණ. ලංකාවේ පළමු පොන්තකොස්ත පල්ලිය වන මෙයට ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ අනුග්‍රහය ලැබිණ. ආරම්භක වර්ෂය එහි නැගෙනහිර දොරටුවට ඉහළින් සටහන් කර ඇත.
මුදුන් පියස්ස බදාමයෙන් ම බැඳ තිබීම මෙහි විශේෂත්වයකි. ගොඩනැගිල්ලේ අත්තිවාරම කුරුසාකාර හැඩැති ය. ගෙබිමට කළුගල් අල්ලා ඇත. කබොක් ගලින් බැඳි බිත්තිවල ඝනකම අඩි 5ක් පමණ වේ. ප්‍රධාන ශාලාවේ පැරණි ධර්මාසන, පොකුරු පහන් ඇතුළත් ගෘහ භාණ්ඩ රැසකි. දැව බැල්කනියක් හා ආණ්ඩුකාරයාට වෙන් කරන ලද ආසන පෙළක් ද ඒ අතර වේ. වර්ණ වීදුරු පමණක් බ්‍රිතාන්‍ය යුගයේ දී කළ එකතු කිරීම් ය.
දේවස්ථානයේ ඓතිහාසික වැදගත්කම තීව්ර වන්නේ එහි ඇති පැරණි සොහොන් ඵලක 30කට අධික ප්‍රමාණය යි. ඕලන්ද ආණ්ඩුකාරවරුන් ද පූජකවරුන් හා ප්‍රභූවරුන් වෙනුවෙන් මේවා සකස් කර ඇත. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ පුවරුව ද ඉන් එකකි. දෙමළ, ඕලන්ද හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සටහන් සහිත මෙම සොහොන් පුවරු අතර පැරණිතම පුවරුව වර්ෂ 1607ට අයත් ය. අවට දේවස්ථානවලින් ඉවත් කරන ලද පුවරු ද මේ අතර වේ. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වර්ෂ 1783,1856,1969,1992 දී සිදු වී තිබේ.
ශාන්ත ලුසියා දේවස්ථානය - කොටහේන
කොළඹ නගරයේ පිහිටි විශාලතම දේවස්ථානයකි. වර්ෂ 1760 දී මෙය මුලින් ආරම්භ වී ඇත්තේ පොල් අතු මඩුවක් ලෙසිනි. 1782 වසරේදී නිකලස් රොඩ්රිගුස් පියතුමා එය ස්ථිර ගොඩනැගිල්ලක් බවට පත් කිරීමෙන් පසු 1820 හා 1834 ප්‍රතිසංස්කරණ ද සහිතව ලංකාවේ පළමු ආසන දෙව් මැදුර බවට උසස් කරන ලදී. වර්තමානයේ මෙහි දැකිය හැකි බොහෝ අංග 1881 - 1909 වර්ෂ අතරතුර වරින්වර එකතුකරන ලද ඒවා ය. ’ස්ටැනිස්ලූ තබරානි’ ( Stanisloo Tabarani ) පියතුමා විසින් යෝජනා කරන ලද ඉතාලි සැරසිලි මෝස්තර අනුව ගොඩනැගිලි සැලසුම් ශිල්පී එච්. එෆ්. තොම්ලන් හා ජේ. සී. හැමොන්ස් ගේ සැලස්ම්වලට අනුව වෝකර්ස් සමාගම විසින් ඉදිකිරීම් සිදුකර තිබේ. නව දේවස්ථානයේ පළමු දේව මෙහෙය 1887 දී සිදු විය.
දේවස්ථානය මුදුනේ ඇති ප්‍රධාන ඩෝමය හා පරිවාර ඩෝමය 1937 වසරේදී එක් වූ ඒවා ය. ඒවාට ඉදිරියෙන් ශාන්ත ලුසියා හා පරිවාර ශාන්තුවරුන්ගේ ප්‍රතිමා කීපයකි. ප්‍රංශ සමාගමක නිර්මාණයක් වූ ලංකාවේ දැනට ඇති බරැති ම හා විශාල ම ඝණ්ඨාවක් (රාත්තල් 4300ක් පමණ) හා පරිවාර ඝන්ඨා ද බීරළු පේළි, සිලින්ඩාකාර කුළුණු, ආරුක්කු දොරටු, කෝණාකාර මුදුන්පෙත් ආදී පැරණි රෝම හා වික්ටෝරියානු ශෛලීන්ට ඉදිකරන ලද අංග ද මෙහි වෙයි. දේවස්ථානයට ම අනුබද්ධව 1856 දී ශාන්ත බෙනඩික් විද්‍යාලය ද 1869 දී යහපත් එඬේරාගේ කන්‍යාරාමය ද ආරම්භ විය.
ශාන්ත අන්තෝනි දේවස්ථානය - කොච්චිකඩේ
විශේෂයෙන් ධීවර ප්‍රජාව අතර ප්රවලිත මෙම පල්ලිය කොළඹ වරාය ආසන්නව පිහිටා ඇත. එහි මුහුණතේ ආරුක්කු හැඩැති දිගැටි වීදුරු කුටියක තැන්පත්ව ඇත්තේ 1822 වසරේ ගෝවෙන් වැඩමවන ලද ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ප්රතිමාවකි. මුදුන් කොත්, බීරළු වැට, ඩොරික් කුළුණුවලින් ද දේවස්ථාන මුහුණත සමන්විත වේ. ඒවාට දෙපසින් උස් චතුරස්රාකාර සීනු කුළුණු (Squre Tower) දෙකකි. පහත භාගයේ දොරටු හා ජනේල ගොතික් ශෛලියට කෝණාකාරව තබා ඇත. මෙහි ආරම්භකයා ගෝවේ අන්තෝනි කොච්චියාල් පියතුමා ය.
ශාන්ත තෝමස් දේවස්ථානය - ජින්තුපිටිය
කොළඹ නගරයේ ඇති ඇන්ග්ලිකානු නිකායට අයත් පැරණි දේවස්ථානයකි. පැරණි පෘතුගීසි දේවස්ථානයක් හා ඕලන්ද බැරැක්කයක් ලෙස භාවිත වූ ගොඩනැගිල්ලක් ඉවත්කර තනන ලද්දකි. ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් (1812-22) විසින් මුල්ගල තබා 1815 දී වැඩ ආරම්භ කළ මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ ද ඔහු ය. රජයේ මිනුම්පති ජී. ස්කින්ඩර්ගේ අධීක්ෂණය යටතේ ඉදි වූ මෙය ප්‍රදේශයේ ද්‍රවිඩ ක්‍රිස්තියානුවන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් එංගලන්ත සභාව යටතේ පාලනය විය. දේවස්ථානයට අයත් පැරණි සුසාන භූමියේ කුරුස රූප හා මත්ස්‍ය රූප රැගත් පෘතුගිසි පාලන සමයේ සිට පැවතෙන සොහොන් පුවරු කීපයක් වේ. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය 1804දී මුලින් ම ආරම්භ වූයේ ද මේ ස්ථානයේ උස් බිමක ය. 1903 දී දේවස්ථානය ප්‍රතිසංස්කරණවලට ලක් වීමෙන් පසු එහි මුහුණත ත්රිකෝණාකාරව ස්වරූපයට සකස් කරන ලදී.
උපුටා ගැනීම - http://www.silumina.lk/2018/12/22/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%9D%C2%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B6%B8%C2%AD%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B6%BA-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%C2%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%C2%AD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1