පරංගියා කෝට්ටේ ගියා වගෙයි   
 
කයිමන් දොරකඩ වගෙයි යන කට කතා ගොඩ නැගුණේ කොළඹ කොටුව හැදුණ කාලයේ සිටය. දැන් ඒ කට කතා මතක ඇති අය ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි.   
 
අප අද දකින පිටකොටුව එදා පෘතුගීසි සමයේ පිටකොටුවට වඩා හාත්පසින්ම වෙනස්ය. අද ශ්‍රී ලංකා ද්වීපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය පිටකොටුවය. අපේ පරිභෝජනයට අවශ්‍ය කුඩා අල්පෙනෙත්තේ සිට යෝධ කැටපිලරය දක්වා වූ සියලුම භාණ්ඩත්, ආහාර පාන ආදියත්, රෙදිපිළි ආදී සියල්ලත්, අලෙවි කරන ස්ථාන පිටකොටුවේ තිබේ. එදා මෙදාතුර දේශීය භෞමික අඛණ්ඩභාවය රැකීමට හා පරදේසීන්ගෙන් වන උපද්‍රව මැඩ ගැනීමටත් ක්‍රියාත්මක වූ මූලස්ථානය පරංගියා විසින් කොටුව හා පිටකොටුව යන ​කොටස් දෙකකට බෙදන ලද කොළොම්තොට හෙවත් කොළඹ ය. 
 
මායාදුන්නේ රජතුමාගේ පුත්‍ර සීතාවක රණශූර රාජසිංහ රජ්ජුරුවෝ පෘතුගීසීන්ට එරෙහිව කොළඹ කොටුව වටකළ අවස්ථා කීපයකදීම මේ පිටකොටුව සිංහල හා පෘතුගීසි ලෙයින් තෙත්වූ බව ඉතිහාස ගතවී තිබේ. පෘතුගීසි මළ සිරුරු මේ භූමියට පොහොර ​ෙවන්ට ඇත. මාලිගාවත්තේ කඳවුරු බැඳගත් රාජසිංහ රජුගේ හේවා කණ්ඩායම පෘතුගීසීන්ගේ තුවක්කුව හා බයිනෙත්තුව පරදවා ජය පානය කළ බව මේ පිටකොටුවේ වැලි අැටවලට තවම මතක ඇතැයි අපට සිතේ. බේරේ වැවේ යෝධ මිනී කිඹුලන්ට කයිමන් දොරකඩ අසලදී පෘතුගීසි හේවායන්ගේ සුදුපාට මළ සිරුරු ගොදුරු වූ අයුරු මේ බිමට තවම මතක ඇත. 
 
දොන් ලොරැන්සෝ ද අල්මේදාගේ නියෝජිතයා හැටියට කපිතාන් ෆර්නාඩ් කොට්රිම් කෝට්ටේ රජු බැහැදැකීමට ගිය එම දීර්ඝ චාරිකාවට දින තුනක් ගතවූ බවද වාර්තා ගතය. කොළඹ සිට කෝට්ටේට ඇති දුර සැතපුම් හයක් පමණක් වන නමුත් පිටකොටුව හරහා ඔවුන් එහි යද්දී සිංහලයන් ඔවුන්ට කර ඇති සමච්චලය කවරදාක හෝ මේ රට ඔවුන්ගේ ජනතාවට අමු සොහොනක් වේයයි ඔවුන්ට සිතෙන්ට නැත.   
 
ක්‍රිස්තු වර්ෂයෙන් 9 වැනි හා 16 වැනි ශත වර්ෂ අතරතුර අරාබි පෙළපතින් පැවත එන මිශ්‍ර හෝ අමිශ්‍ර හෝ මුස්ලිම් ජන සමූහයකට කොළොම්තොට වාසභූමි වී තිබිණ. පෘතුගීසීන් විසින් මොරාස් යනුවෙන්ද බ්‍රිතාන්‍යයන් විසින් මුවර්ස් යනුවෙන්ද ඔවුහු හඳුන්වනු ලැබූහ. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ට යටත්වූ පසුව යුරෝපීය පාලකයන්ගේ ප්‍රධාන නගරය වූයේ කොළඹය. 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට ද ස්වකීය ආධිපත්‍යයට ඈඳා ගැනීමෙන් පසු කොළඹ මුළු දිවයිනේම අගනුවර ලෙස සැලකිණි. එසේ වුවද 1871 වන තෙක්ම ලංකාවේ ප්‍රධාන වරාය (නැව් තොට) ගාල්ල විය. එදා කොළොම්තොට විවෘත මුහුදු බොක්කක් සේ පැවැති අතර 1885 දී නිරිත දිග දිය කඩනය ඉදිකිරීම හා නැව්තොටකට අවශ්‍ය වෙනත් අංග කීපයක් එක් කිරීම නිසා එම මුහුදු තීරය ආරක්ෂිත වරායක් බවට පත්විය. 1869 නොවැම්බර් මස 19 වැනි දින සූවස් ඇළ විවෘත කිරීමෙන් පසු පෙරදිග මුහුදුකරයේ නැව් ගමනාගමනය වර්ධනය විය. එසේ වුවද කොළොම්තොට ලංකාවේ ප්‍රධාන නැව්තොට වශයෙන් ක්‍රියාත්මක වූයේ 1871 න් පසුවය.   
 
ජනාකීර්ණත්වය, තදබදය, අපවිත්‍රතාව, කාර්බහුල්‍යය, අවිවේකය හා ඝෝෂාව යන මේ සියල්ලෙන්ම විකෘති කරනු ලැබූ පිටකොටුව එදා මෙයට හාත්පසින්ම වෙනස් වූ ස්වරූපයක් ගත්තේය.   
සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් කරන ලද නියෝගය අනුව 1874 දී දිවයිනේ ජන සංගණනයක් පැවැත්විණි. එම වාර්තාවට අනුව එදා කොළඹ නගරයේ ජනගහනය 31185 ක් විය. එය කොටුව ප්‍රදේශයේ 734 ක්ද පිටකොටුවේ 4979 ක්ද පිටකොටුවෙන් පිටත ප්‍රදේශවල 25475 ක්ද වශයෙන් සඳහන් විය. 1963 ජන ලේඛනයට අනුව කොළඹ නගරයේ ජනගහනය පන්ලක්ෂය ඉක්මවා සිටියේය.   
 
එවකට කොළඹ කොටුව අද මෙන් නොව කොටු තාප්පයෙන් හා දිය අගලකින් යුක්ත වූ අතර කොටු පවුර හා දිය අගල නඩත්තුව සඳහා සේවකයන් හය දහසක් යොදවා තිබුණි. කොළඹ කොටු පවුර කඩා බිඳ දැමීම සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් අවසර ලබාගන්නා ලද්දේ සර් හර්ක්‍යුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයා විසින්ය. ඒ 1869 වර්ෂයේදීය. ඒ අනුව සියවස් තුනක දීර්ඝ ඉතිහාසයක් තිබූ දැවැන්ත කොටු පවුර පොළොවට සමතලා වූවා පමණක් නොව ඊ වටා තිබූ යෝධ දිය අගලද පස් දමා පුරවනු ලැබීය. මනා වාතාශ්‍රය ලැබීමෙන් එයින් පසු නගරය සෞඛ්‍ය සම්පන්න වූවා පමණක් නොව කොටුවත් පිට​ෙකාටුවත් අතර වූ බාධකය ඉවත්වීමෙන් නගරය නව පෙනුමකින් හා පහසුවකින්ද සමන්විත වූයේය.   
 
දහඅටවෙනි සියවස මුල්භාගයේදී පිටකොටුව ප්‍රභූන්ගේ වාස භූමිය බවට පත්ව තිබුණේය. අලංකාර නිවාස ගෙවතු උයන් සහ මන බඳනා පවිත්‍ර වීථිවලින් ප්‍රදේශය අලංකෘත විය. එක් විචාරකයකු සඳහන් කර ඇති ආකාරයට එම නිවෙස්වල බිත්ති කහපාට සායමින් ඔප් නංවා තිබුණ අතර, දොර හා ජනෙල් වටා රතු හෝ රන් පැහැති තීරු වලින් අලංකෘත කොට තිබිණ. ඇස්වහ සහ කටවහ දොසින් අත්මිදීම පිණිස ඒවායේ වහල යට සුදු පැහැති මැටි භාජන සවිකොට තිබූ බවද කියැවේ. මෙහි වැඩි වශයෙන් පදිංචිව සිටියේ ලන්දේසීන්ගෙන් හා පෘතුගීසීන්ගෙන් පැවතෙන්නන් බවද ඔවුන් ප්‍රබල ධනවතුන් බවද සඳහන් විය.   
 
දහනව වැනි සියවසේ මුල් භාගයේ කොළොම්පුරය පිළිබඳව සිය ලංකා විස්තරයේ කරුණු දක්වන ජේම්ස් කෝඩිනර් දේවගැතිතුමා පිටකොටුව ගැන මෙසේ සඳහන් කරයි.   
 
එකිනෙකට සරල සමාන්තරව දිවෙන, දිගින් මයිල භාගයක් තරම් වූ වීථි පහක්ද, එම වීථි හරහට සෘජු කෝණාශ්‍රව වැටී ඇති තවත් වීථි පහක්ද ඇති මෙම ප්‍රදේශය පිරිසුදුකමින් හා සුන්දර බවින් හෙබි අතර, කොටු බැම්මෙන් වටවූ ප්‍ර​දේශයට වඩා විශාල විය. මෙහි ඇති නිවෙස්වල ඝන කුලුණුවලින් ආවරණය වූ බරාඳයන් ඇති නමුත් මනා ලෙස වැවුණු ගස් වලින් ලැබෙන අලංකාරය නොමැති නිසා හිස් බවක් ඇත.   
 
එවකට රජයේ නීතිඥයකු වූ සර් රිචඩ් මෝගන් මහතා පිටකොටුවේ පදිංචිව සිටි ප්‍රභූන්ගෙන් ඉතාම බලසම්පන්නයා විය. ඔහු උපන්නේ 1821 පෙබරවාරි 21 වැනිදා කුමාර වීදියේ නිවෙසකදීය. සිය අසල්වැසියා පිළිබඳව විස්තර කරන ඔහු මෙසේ කියයි. 
 
අපගේ ගෙයට යාබද නිවසේ විසූ වයෝවෘද්ධ රන් මහතා එදින අවඥා සහගත ලෙස සලකනු ලැබූ ඕලන්ද සමාජයට අයත් වූ ඉතාමත්ම යහපත් මහතෙකි. නැන්කීන් කලිසම් ඇඳ දිග සුදු මේස් දැමූ ඔහු ජේත්තුවට ඇඳුම් ඇන්දේය. පිටත බරාඳයේ වාඩිගන්නා මොහු සෑම සන්ධ්‍යාවකම හකුරු විකා කෝපි පානය කිරීම සිරිතක් වශයෙන් කරයි. මොහුගේ විහිළුවලින් බොහෝ සේ විනෝදවූ අපි හකුරු ගෙඩිය මනාසේ පැසුණු පසුව ඉන් කැබලි අප අතර බෙදාදෙන්නෙමැයි සෑම රාත්‍රියකම ඔහු විසින් දෙන ලද පොරොන්දුවෙන් තව තවත් සතුටු වීමු. රජයේ කාර්යාලයක ප්‍රධාන ලිපිකරු වූ හෙතෙම ඉතාලිවරුන්ගේ ඩබල් එන්ට්‍රි (Double Entry) ක්‍රමයට ප්‍රථමයෙන්ම තමාගේ ගිණුම් තැබූ පුද්ගලයා විය.   
 
අන්තිම ලන්දේසි ආණ්ඩුකාරවරයාවූ ඒන්ජල් බීක් මහතාට ග්‍රෑන්ඩ්පාස්හි නිවෙසක් තිබුණි. ඒ ගැන කෝඩිනර් දේවගැතිතුමා මෙසේ සඳහන් කරයි.   
 
කාර්යාල පේළිය හා මනා ලෙස සාදන ලද ගෙඋයන් හැරෙන්ට සිය පවුලේ වාසය සඳහා වෙන්වූ තනි තට්ටුවේ ගෙවල් දෙකක් තිබේ. මේ ගෙවල් එක පෙළටම ඇති නිසා ගංගාවක වේල්ලක් මත තැනූ දෙවැනි ගෘහයට ඇතුළුවීම සඳහා ප්‍රථම ගෙය තුළින්ම ගමන් කළ යුතුය. ගැඹුරු දිය කඳින් යුතු ගඟ වේගයෙන් ගලා බස්නා අයුරු මෙම නිවෙසේ ජනෙල් අතරින් දැකගත හැකිය. ගඟේ අනික් ඉවුර ඝන වනයෙන් වැසී තිබේ. පහත් තැනිතලා ප්‍රදේශයක් වූ මෙහි අවට දර්ශනය මනරම්ය. මදක් උස්වූ ප්‍ර​දේශය වගුරු සහිත වූයෙන් එහි වී ගොවිතැන් කරනු ලැබේ. උදය කාලයේ මුළු ප්‍රදේශය වසා පැතිරෙන මීදුම නිසා සෞඛ්‍යයට අහිතකර යැයි සැලකුවත් ජනරාල් මැක්ඩෝවල් හා ඔහුගේ නිලධාරීහු සෞඛ්‍යයට අහිතකර බලපෑමක් නොමැතිව බොහෝ විට පිට පිට මාස ගණන් මෙහි වාසය කළෝය. එහෙත් මෙය ඉංග්‍රීසි ජාතිකයකු විසින් සිය නිවාසය තැනීම සඳහා තෝරාගනු ලැබිය යුතු ස්ථානයක් නොවේ.   
 
පිටකොටුවේ කයිමන් දොරකඩ අපේ සිංහල ගැමියාගේ කටට හුරු වචනයකි. කයිමන් දොරකඩ ගැන ජනකවි කියවී ලියවී තිබේ.   
 
නළා පිඹිති සුද්දෝ ඇවිදින්  උදය  
ගලා සෙනඟ මරිවැල්ලේ වැඩ  පලය
නිලාගොලෝ වීදුරු දොරවල්  ඇරිය
බලාපන්න කයිමන් දොරකඩ  එළිය  
 
සංගිලි පාලමෙන් උදේ කරත්ත පෙළ පිටත්  වුණා
ගෑස්පහට ළං වෙන කොට අපි හොඳටම හවස්  වුණා
සෙක්කුවීදියේ කම්බා දැක උඹ මට මතක්  වුණා
මං එන තුරු කයිමන් දොරකඩ ඉඳපන්  සෙලෙස්තිනා 
 
කයිමන් දොරටුව පිළිබඳව පර්සිටල්ගේ සටහන මෙසේය. 
 
කයිමන් දොරටුව හෙවත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනික් පැත්තට වැටී ඇති වීථිය ඉතාමත්ම පටු හෙයින් සීමාවී ඇති එම ප්‍රදේශයේ දේශගුණය බෙහෙවින්ම උෂ්ණය. එහි සර්ප්වරු හා මුදල් මාරුකරන්නෝ පදිංචිව සිටිති. අතිශයින්ම විශාලවූ පිටකොටුවෙන් පිටත ප්‍රදේශයේ තිබූ මාර්ග අතුරෙන් සමහර මාවත් සැතපුම් දෙකක් පමණ දුරට විහිදී ගියේය. මේ එක මාවතක කෙළවර පල්ලියක්ද එම පල්ලිය පිටුපස කන්දඋඩරටින් පැමිණෙන රාජකීය දූතයන් පිළිගැනීම සඳහා විශාල කුලුණු සහිත බරාඳයක් ඇති ගලින් තැනූ විශාල ගොඩනැගිල්ලක්ද තිබේ. මෙහි විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන එළවළු පලතුරු හා කරවල ආදියෙන් පිරී ඇති වෙළෙඳපොළවල්ද තිබේ. පිටකොටුවේ මෙම ප්‍රදේශයේ වඩු කාර්මිකයෝ පට්ටල් කාර්මික ශිල්පීහු හා විශේෂයෙන්ම රන් රිදී වැ​ෙඩහි නියුතු අයද පදිංචිවී ඇත. තවද මෙහි කළු පැහැති ශරීරයෙන් යුතු වෙළෙඳුන් බොහෝ සංඛ්‍යාවක්ද කනකපුල්ලේවරු හා මුතුමැණික් වෙළෙඳාමේ නියුතු වූවෝද වාසය කරති.   
 
කොළඹ නගරයේ ප්‍රමාණය සලකා බලන විට එය ඉන්දියාවේ අති ජනාකීර්ණ නගර හා සංසන්දනය කිරීම වටී. මෙවැනි භාෂා ගණනක් කථාකරන්නාවූද විවිධ ආගම් අදහන්නාවූද, විවිධ සිරිත් විරිත් ඇත්තාවූද නොයෙක් ජාතීන්ට අයත් මිනිසුන් සිටින්නාවූද වෙනත් ප්‍රදේශයක් ලෝකයේ කොතැනකවත් නැතැයි සිතේ. දිවයිනේ නියම උරුමක්කාරයන් වූ සිංහලයන් හා යුරෝපීයයන් හැරෙන්නට ආසියාවේ සෑම ගෝත්‍රයකටම අයත් ජාතීන් නගරය පුරා පදිංචිවී ඇති බව අපට දැකගැනීමට පිළිවන. මලබාර්වරු ට්‍රැවර්කොරියන්වරු චීන පර්සියානු අරාබි තුර්කි හා මාලදිවයින් හි දේශකයෝද අග්නි පූජාවෙහි යෙදෙන පර්සි ජාතිකයෝද ජාවා හා අනිකුත් ආසියාතික දිවයින් වැසියෝද මෙහි පදිංචිව සිටිති. තවද මෙහි පදිංචිව සිටින අප්‍රිකානුවෝ කාපිරි ජාතිකයෝ, ආසියානුන්ගේ හා අප්‍රිකානුවන්ගේ සම්මිශ්‍රණයක් වූ වුගනියන්වරු ජාතීන් සමග මිශ්‍ර වීමෙන් පැවතෙන්නන් හා වර්ණ ගෝත්‍රිකයෝ ඔවුන්ටම විශේෂවූ භාෂා භාවිත කරන අතර ඔවුනටම ආවේනික වූ සිරිත් විරිත්ද අනුගමනය කරති.  
 
​කොළඹ හා ඒ අවට ස්වභාව සෞන්දර්ය කෝඩිනර් දේවගැතිතුමා දුටු ආකාරය සිත්ගන්නාසුලු ය.  
 
කොළඹ අවට ඇති ප්‍රදේශය කඳු දෙනි හා මිටියාවත්වලින් පිරී ඇත. ලෝකයේ වෙන කිසිදු තැනක මෙතරම් කුඩා ප්‍රදේශයක් තුළ මනස්කාන්ත වූ දර්ශන මෙසේ එක්ගොනු වී නැත. නගරයේ එක් දොරටුවකින් පිටව අනික් දොරටුවෙන් ඇතුළුවීමේදී පසු කළ යුතු සැතපුම් තුනේ සිට අට දක්වාවූ ප්‍රදේශය තුළ මනස්කාන්ත දර්ශන කොතෙකුත් තිබේ. මෙපුර තුළ වසන ප්‍රභූහු හා කාන්තාවෝද හිමිදිරි උදය හා සන්ධ්‍යා සමයේ මෙම ප්‍රදේශය අරා ගමනේ යෙදී විනෝද වෙති. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය වටා යෑම බොහෝ සේ ජනප්‍රිය වී තිබේ.  
 
ප්‍රකට ඉතිහාසකරුවකු වූ රොබෙයිරෝ කොළඹ පිළිබඳව එදා කර ඇති ප්‍රකාශය එදාට වඩා අදට වැදගත්ය. අවුරුදු හාරසියයකට ආසන්න කාලයක් තුළ කොළඹ කොටුව හා කොටුවෙන් පිටත ඇතිවී ඇති ඇදහිය නොහැකි වෙනස්කම මානව සංහතියේ ඉදිරි ගමනේ දැවැන්ත පියවරක් සලකුණු කරයි. කුඩා ඉනි වැටකින් වටව තිබූ කොළොම්පුරය, අට්ටාල තෙ​ෙළසකින් ශක්තිමත්වූ මහා නගරයක් බවට පත්විය.  
 
කොළඹ ගැන 1641 දී ඕලන්ද කාරයන්ට සංදේශයක් යවන මහනුවර රාජසිංහ රජතුමා සිංහල පාලකයන්ගේ අදහස් දක්වා ඇත්තේ මෙසේය.  
 
අවුරුදු ගණනක් තිස්සේම කොළඹ නගරය කඩා බිඳ දමා පොළොවට සමතලා කිරීම මගේ පරමාර්ථය විය. මෙම දිවයිනට ලබා ඇති හැම නරක දසාවකටත්, මෙරට රජවරුන් මරුමුවට පත්කරවමින් හා ඔවුන් රාජධානිවලින් පළවා හරිමින් සිදුවී ඇති ව්‍යසනයටත් මුල් වී ඇත්තේ කොළොම්පුරයයි.  
 
 
ආචාර්ය එච්.ඒ.ජේ. හුලුගල්ල සූරීන්ගේ ග්‍රන්ථයක් ඇසුරෙන් සංග්‍රහ කෙරිණි.  
 

 
 
දේශබන්දු කලාසූරී කලාභූෂණ කිවිපති  
කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන


උපුටා ගැනීම - http://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B4%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9C-%E0%B6%9A%E0%B7%85%E0%B6%B9-%E0%B6%9A%E0%B6%A7%E0%B7%80-%E0%B6%89%E0%B6%9C%E0%B6%BB%E0%B7%83%E0%B6%B1-%E0%B6%B4%E0%B7%85%E0%B6%BD-%E0%B6%9A%E0%B7%85-%E0%B7%84%E0%B6%A7/57-521281