ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු කෞතුකාගාර පාලක, ජේතවන කෞතුකාගාරය, බාහිර කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
මෙරට ප්‍රවාහන පද්ධතියට අධිවේගී මාර්ග එක් වීමෙන් අනතුරුව වඩාත් දියුණු තත්ත්වයකින් පවතිනු දැක ගත හැකිය. කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන කුලුනු මතින් විහිදෙන මාර්ග පද්ධතියක් ද දැනට බිහි වෙමින් පවතියි. එසේම එම මාර්ග පද්ධතිය ඇසුරෙහි විවිධ මාදිලියේ නූතන රථ වාහන රැසක් දැකගත හැකිය. එවැනි පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයේ අතීත ප්‍රවාහන පද්ධතිය පිළිබඳ කරුණු විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
කොළඹ නගරයේ මීට ශත වර්ෂයකට පමණ ඉහතදී ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූයේ අශ්වරථයයි. එහෙත් ඒවා පරිහරණය බ්‍රිතාන්‍ය පාලකයන්ට හා වෙනත් ප්‍රභූන්ට පමණක් සීමා විය. එම රථ සඳහා යෙදූ අසුන් සංඛ්‍යාවද ඒ ඒ පුද්ගලයාගේ සමාජ මට්ටම අනුව වෙනස් වූ අතර ඒ අනුව අය කෙරුණු ගාස්තුව ද වෙනස් විය. නිදසුනක් ලෙස පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා කාලය සඳහා තනි අශ්වයෙකු යෙදූ රථයක් සඳහා සිලිං 06ක් ගෙවිය යුතු වූ අතර අශ්වයන් දෙදෙනෙකු යෙදූ රථයක් සඳහා එම ගාස්තුව සිලිං 07යි පැන්ස 06කි.
පැයක් හෝ ඊට අඩු කාලයක් සඳහා එම ගාස්තුව පිළිවෙළින් සිලිං 01 ක් සිලිං 02ක් විය. එම ගාස්තු සහ අශ්වරථ හා සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක වූයේ 1848 අංක 07 හා 1853 අංක 01 දරන පනත් අනුවය.
ප්‍රථමයෙන්ම කොළඹ නගරයට පමණක් සීමා වූ අශ්වරථ පසුව කොළඹ මහනුවර නගරාන්තර මට්ටම දක්වා ව්‍යාප්ත වූ අතර එම කටයුතු එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය යටතේ සමාගමකට පවරා තිබිණි. කොළඹ සිට මහනුවර දක්වා අශ්ව රථයක ඇතුළත ආසනයක් සඳහා පවුම් 02ක් ද ඉදිරි අසුනක් සඳහා පවුම් 01 යි සිලිං 10ක්ද අය කෙරුණි. 1930 දශකයේ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් වර්ධනය වීමත් සමගම අශ්වරථ ක්‍රමයෙන් භාවිතයෙන් ගිලිහී ගොස් ඇති බව ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී පැහැදිලි වේ.
1931 වන විට කොළඹ නගරයේ තිබී ඇත්තේ එක් අශ්වරථයක් පමණි. 1920 පමණ වන විට ගොන්කරත්තය කොළඹ නගරයේ වඩාත් ජනප්‍රියතම මෙන්ම වඩාත් ලාභදායී භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය විය.
කෙසේ වෙතත් කොළඹ නගරය පදනම් කොටගත් මුල්ම පොදු ප්‍රවාහන සේවය වූයේ දුම්රියයි. ඒ අනුව 1865 දී මුලින්ම කොළඹ-අඹේපුස්ස අතර දුම්රිය ගමනාගමනය සිදු වූ අතර පසුව එය දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වන්නට විය. එලෙස දුම්රිය මඟින් කොළඹ හා දිවයිනේ වෙනත් නගර සම්බන්ධ කෙරුණද නගරය තුළ පොදු ප්‍රවාහන මාධ්‍යයක් නොවීය.
කොළඹ නගරයේ යාන්ත්‍රික නොවන වාහන
1921 1927 1931 1935 1939
රික්ෂෝ 3741 4682 3868 3602 3606
අශ්වරථ 62 03 01 - -
තිරික්කල 132 102 70 43 24
ගොන්කරත්ත 2875 3118 2656 2003 1681
බයිසිකල් 14 40 44 95 73
මේ අතර 1833 දී කොළඹ නගරය තුළ පොදු ප්‍රවාහන මාධ්‍යක් ලෙස ට්‍රෑම්රථ සේවය ආරම්භ කිරීම සඳහා අදහස් ඉදිරිපත් වී තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1899 ජනවාරි 12 වන දින කොළඹ ට්‍රෑම්රථ සේවය විවෘත විය. කොළඹ කොටුවේ ජී.ඕ.එච්. හෝටලය අසලින් තොටළඟ දක්වා වූ එම මාර්ගය විවෘත කරන ලද්දේ එවකට කොළඹ නගරාධිපති ධුරය දැරූ ප්‍රයස් මහතා විසිනි. එම ප්‍රථම ගමනට නගරාධිපතිවරයා සමඟ එල්. වෑන්ඩර්ස්ට්රාටන්, එෆ්.එච්. ග්‍රීන් ලින්ටන්, ආර්.එච්. බෝර්ගන්, සී.පී. ඩයස්, එච් වැන්කියුලන්බර්න් හා වෝල්ටර් පෙරේරා යන නගරසභික මහත්වරු ද සහභාගි වූහ. 1899 ජනවාරි 14 වන දින ලක්මිණි පහණ පුවත් පත වාර්තා කරන පරිදි කොළඹ කොටුවේ සිට තොටළඟ දක්වා වූ එම මංගල ගමනට විනාඩි 17ක් ගත වී ඇති අතර ආපසු ඒමට විනාඩි 10ක් ගත වී තිබිණි.
කෙසේ වෙතත් එම නව ප්‍රවාහන මාධ්‍යයේ බිහි වීම පිළිබඳ වාර්තා කරන 1899 ජනවාරි 14 වන දින දිනකර ප්‍රකාශය පුවත්පත එම “වීදි දුම්රිය” ගමනාගමන කටයුතු සඳහා පහසුවක් වුවද ඒ නිසා කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් දහස් ගණනකගේ ජීවිකාව පිළිබඳ ප්‍රශ්න ඇති වන බැවින් ඒ පිළිබඳ රජයේ හා නගර සභාවේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දෙයි.
තොටළඟ ට්‍රෑම්රථ මාර්ගය ආරම්භ කිරීමෙන් අනතුරුව බොරැල්ල දක්වාද ට්‍රෑම්රථ මාර්ගයක් බිහි විය. තොටළඟ මාර්ගය, කොටුවේ යෝර්ක් වීදියේ සහ මහා වීදියේ කෙළවරින් ආරම්භ වී, වෝර්කර්ස් සමාගම, ටයිම්ස් සමාගම, තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව, වරාය දුම්රිය ශාඛා මාර්ගය පසුකොට පිටකොටුව මහා වීදියට පිවිස කයිමන් දොරටුවේ ඝණ්ටාර කුලුන, නගර ශාලාව (පැරණි), බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලය පසු කොට ආමර්වීදිය, කොටහේන ඔස්සේ තොටළ ඟ දක්වා විහිදිණි. එම සම්පූර්ණ ගමන සඳහා ශත 20ක් අය කෙරුණු අතර ආමර්වීදිය දක්වා ගාස්තුව ශත 10ක් විය.
බොරැල්ල දක්වා විහිදුණු අනෙක් මාර්ගය, යෝර්ක් වීදියෙන් ආරම්භ වී, වෙළඳ ගබඩාව, සර්වේ ජනරාල් කාර්යාලය, රජයේ වැඩ දෙපාර්තමේන්තුව (PWD), කොටුව දුම්රිය ස්ථානය පසු කොට නොරිස් පාර (වර්තමාන ඕල්කොට් මාවත), ඔස්සේ සොල්දාදුවන්ගේ හා නාවිකයන්ගේ නිවස්නය කාර්මික විද්‍යාලය පසු කොට මරදාන දුම්රිය ස්ථානයට ළඟා විය. ඉන්පසු පාලම හරහා මුස්ලිම් පල්ලිය, පොලිස් මූලස්ථානය, පරමවිඥානාර්ථ උසස් විද්‍යාලය, ප්‍රධාන සිවිල් වෛද්‍යා නිලධාරි කාර්යාලය, වෛද්‍ය විද්‍යාලය, හැව්ලොක් ආර්යා ළමා හා කාන්තා රෝහල (වර්තමාන රිජ්වේ ආර්යා රෝහල) පසුකොට බොරැල්ල හන්දියට ළඟා වේ. එම මුඵ ගමන සඳහා ගාස්තුව ශත 20 ක් වූ අතර මරදාන පාලම අසලට ශත 10ක් විය. (J.C. WILLIS-CEYLON-1907)
1925 වන විට ට්‍රෑම්රථ සේවය ඉතා සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක් වූ අතර එම කටයුතු මෙහෙයවන ලද්දේ Ceylon Electric Tramways & Lighting Co.Ltd සමාගමයි. ට්‍රෑම්රථ සේවය ගැන කතා කිරීමේදී 1929 දී සිදු වූ වැඩවර්ජනය ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතු අතර ශ්‍රී ලංකාවේ වැඩවර්ජන ඉතිහාසයේ සාර්ථක වැඩවර්ජනයක් ලෙසද සඳහන් වේ. වැටුප් ගෙවීම හා සම්බන්ධ ආරවුල් පදනම් කොටගෙන ආරම්භ වූ එම වැඩවර්ජනය වඩාත් සටන්කාමී මුහුණුවරක් ගත්තේය. එ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේගේ පවා සහාය ලැබී තිබේ. කෙසේ වෙතත්, එම වැඩවර්ජනය නිසා, කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කෙරෙහි සිදු වූ බලවත් අසීරුතාව නිසා බ්‍රිතාන්‍ය වෙළඳ ව්‍යාපාරිකයන් පවා පොලිස් ආරක්ෂාව යටතේ ට්‍රෑම්රථ පැදවීම සඳහා ඉදිරිපත් වී තිබේ.
1920 ගණන් වන විට ට්‍රෑම්රථ සේවයට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එනම්, ඔමිනි බස් සේවය ආරම්භ වීමයි. ඒ වන විට ඔමිනි බස් හිමියන්, ට්‍රෑම්රථ සේවය හඳුන්වා දුන්නේ, මාර්ග අවහිර කරන, මාර්ග නීති කඩ කරන, එමෙන්ම නිරතුරුව අලුත්වැඩියාවට ලක් නොකළහොත් අනතුරුදායක වන ප්‍රවාහන මාධ්‍යයක් ලෙසිනි. ඒ හේතුව නිසා ඔමිනි බස් ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට වූ අතර එය ට්‍රෑම්රථ සේවය මෙන් කොළඹ නගරයට පමණක් සීමා වූවක්ද නොවීය. මුලින්ම බස්රථ තනි තනි පුද්ගලයන්ට අයිතිව පැවති අතර පසුව ඒවා සමාගම් බවට පත් විය. එසේ බස්රථ සමාගම් බිහි වීම කෙරෙහි බලපෑවේ ඒ පිළිබඳ ඇති වූ නොයෙකුත් ගැටුම් සහගත තත්ත්වයන්ය. ඒ සම්බන්ධයෙන් ඔමිනි බස් සමාගමක හිමිකරුවකු අදහස් දක්වා ඇත්තේ මෙසේය.
“මුලින්ම බස්වලින් මිනිස්සු අදින්න පටන් ගත්තේ තනි තනි සල්ලිකාරයන් බස් එකක් දෙකක් තියාගෙන ඒවා තමන්ට ඕන ඕන පාරවල්වල ධාවනය කිරීමෙන්, ඒ දවස්වල අපිට බස් එක පාරට දාන්න සිදු වුණේ කිණිස්සක් හෝ පිස්තෝලයක් එක්ක. කිසිම බාහිර බලපෑමක් බස් මුදලාලිට තිබුණේ නෑ. ඉතින් ඒ ඒ මිනිසුන්ට ඕනෑ විදිහටයි බස් දිව්වේ. එකම පාරේ මුදලාලිලා දෙතුන් දෙනෙකුගේ බස් දුවනවා. නිතරම ඒ අය අතර ඝට්ටන නැති කරන්න තමයි පස්සේ බස් මුදලාලිලා එකතු වෙලා බස් කොම්පැනි දැම්මේ”( “දෙසතිය”-1980-12-15) වර්ෂ 1945 වන විට කොළඹ නගරය ඇතුළුව දිවයින පුරා එලෙස බස්රථ සමාගම් 55ක් බිහි වී තිබිණි. මේ අතර 1953 ජූලි 22 වැනි දා කොළඹ නගරයේ ට්‍රොලි බස් සේවයද ආරම්භ විය. ඒ සමඟම ඒ වන විට වසර 60ක් පමණ පැරණි ප්‍රවාහන සේවයක්ව පැවති ට්‍රෑම්රථ සේවය ක්‍රමයෙන් අභාවයට යන්නට විය. සමාගම් යටතේ ක්‍රියාත්මක වූ ඔමිනි බස් රථ සේවයද 1955 දී ලංකා ගමනාගමන මණ්ඩලය ලෙසින් ජනසතු කරන ලදී.
කොළඹ නගරයේ යාන්ත්‍රික ප්‍රවාහනයට පුරෝගාමී වූ ට්රෑම්රථයක් හෝ ට්‍රොලි බසයක් වර්තමානයේ දැක බලාගැනීමට හෝ ඉතිරිව නැති වීම කනගාටුවට කරුණකි. මෑතක් වන තුරුම ට්‍රෑම්රථ මාර්ගවල ඉතිරි වූ කොටස් කිහිපයක් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම දක්නට ලැබුණත්, නූතන මාර්ග සංවර්ධන කටයුතු යටතේ එම මාර්ගවලට අයත් යකඩ පීලි අද ඉවත් කොට හෝ මහාමාර්ගවලට යට වී ගොස් තිබේ.
එසේ වුවත්, ශ්‍රී ලංකාවේ පැරණිම බස් රථ කිහිපයක් කොළඹ නගරයේ තවමත් ඉතිරිව පැවතීම සතුටට කරුණකි. දැනට ශ්‍රී ලංකාවේ ඇති පැරණිම බස් රථය නෝමිස් ද සිල්වා මහතා සතු වූ වර්තමානයේ ඊබට් සිල්වා සංචාරක සමාගම සතුව ඇති Z1988 අංක දරණ Chevrolet 1935 වර්ගයේ බස් රථයයි. මඟීන් 35 දෙනෙකුට ගමන් කළ හැකි එම බස් රථය කොළඹ-මාතර මාර්ගයේ ධාවනය සඳහා යොදවා තිබූවකි. (Sunday Times- 23.10.94)
ඊට අමතරව, රියදුරු පුහුණු කටයුතු සඳහා යොදා ඇති IC කණ්ඩායම අයත් බස් රථ කිහිපයක්ද ඉඳහිට කොළඹ නගරයේ දැකිය හැකිය. කෙසේ වෙතත් දැනට කොළඹ නගරයේ මඟීන් ප්‍රවාහනය සඳහා භාවිතයට ගැනෙන පැරණිම බස් රථ වන්නේ , 22,23 ශ්‍රී කාණ්ඩවලට අයත් Mercedes Bens, Isusu බස් රථ කිහිපයකි. දැනට පෞද්ගලික බස් හිමියන් සතුව ඇති එම බස්රථ, කලින් ගමනාගමන මණ්ඩලය සතු වූ ඒවාය.
උපුටා ගැනීම - http://www.silumina.lk/2019/11/16/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BB%E0%B7%83-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%C2%AD%E0%B7%80%C2%AD%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%C2%AD%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%B1%E0%B6%9C%C2%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%C2%AD%E0%B7%84%E0%B6%B1-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B6%BA
No comments:
Post a Comment