ශාන්ත පීතර පල්ලිය හැදුවෙ ඕලන්ද ආණ්ඩුකාර නිල නිවසෙ
* අවුරුදු හාරසීයයක් පැරණි ඝණ්ඨාරයක් කොල්ලුපිටිය ශාන්ත මයිකල් පල්ලියෙ
* කොටුවෙ පෘතුගීසි පල්ලියෙ තිබුණු ඝණ්ඨාරය අද තිබෙන්නෙ කයිමන් දොරකඩ
* දොන් ජුවන් ධර්මපාල රජුගේ සොහොන් කොත ඇති බව කියන්නෙ ආදුරුප්පුවීදිය පල්ලියෙ
සීවලී බණ්ඩාර මනතුංග
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය
කැලණි ගඟේ කෙළවර වූ මෝදර, මට්ටක්කුලිය, කොටහේන වැනි කොළඹට උතුරු ප්රදේශය වර්තමානයේ වැඩි ම ජනවර්ග හා ආගමික මිශ්‍රණයකින් යුත් ප්රදේශය වේ. මෙහි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ප්රමුඛව බර්ගර්, මැලේ, ජා, හෙට්ටි, කාපිරි, ඇෆ්ගන් බෝරා ආදී වෙළඳාම හා යුධ කටයුතු හේතුවෙන් ස්ථානගත වූ මිශ්‍ර සුළු ජන වර්ග ද රාශියකි. නගරයෙන් බැහැරට බහුතරය සිංහලයෝ වෙති. ඉන් වැඩි ප්‍රමාණයක් බෞද්ධයන් වන අතර සෙසු අය හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්‍රිස්තියානි ආගම් අදහන්නෝ ය.
8 -9 සියවස් වන විට ඉස්ලාම් දහමේ ව්‍යාප්තියත් සමග බලවත්වූ අරාබි වාණිජ ලෝකය තුළ කොළඹ නගරය ප්‍රචලිතව තිබුණෙන් මෙහි පැමිණි අරාබි ජාතිකයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය විය. අරාබි පූජවරයෙකුගේ මිහිදන් කිරීමක් පිළිබඳව 10 වන සියවසට අයත් ‘කුෆික්’ (Kufik) අක්‍ෂර කෙටූ සොහොන් ගලක් කොළඹින් හමුවී තිබේ. ‘ඉබ්න් අබු බකායා’ නම් එම පූජකවරයා මෙරට සිටි ඉස්ලාම් භක්තිකයින් විසින් තම ආගමික කටයුතු ඉටු කර ගැනීම පිණිස බැග්බෑඩ්හි කාලිෆ් රජු මගින් ගෙන්වූ අයෙකි. 14 වන සියවස වන විට මරක්කල හා ‘හම්බන්’ නමින් හඳුන්වන ඉස්ලාම් භක්තිකයන් රෙදිපිළි, කුරුඳු, ඇත්දළ, රන්, රිදී, මැණික් වෙළඳාම පිණිස කොළඹට පැමිණ තිබේ. මෙසේ අරාබින් හා සම්බන්ධ කටයුතු වර්ධනයත් සමග කොළඹ දකුණු ඉන්දීය කලාපයේ සැළකිය යුතු වරායක් බවට පත් විය.
ලංකාවේ මුල්ම පල්ලිය
කොළඹ නූතන ඉතිහාසයට වැඩි බලපෑමක් එල්ල වන්නේ පෘතුගීසින්ගේ පැමිණීමත් සමග ය. වර්ෂ 1505 නොවැම්බර් මස දකුණු ඉන්දියාවේ ගෝව හි පෘතුගීසි අධිරාජ්‍යයාගේ පුත් ලොරොන්සෝ ද අල්මේදා ප්‍රමුඛ නාවික පිරිසක් මෙහි පැමිණෙන විට කොළඹ ජනප්‍රිය වෙළඳපොලක් විය.
කෝට්ටේ එවකට සිටි වීර පරාක්‍රමබාහු (1484-1508) රජුගෙන් කොළඹ වෙළඳාම් කිරීමට හා කොළොන්තොට ආරක්ෂා කර දීමට පොරොන්දු ලබා ගැනීමෙන් පසු තම ඓතිහාසික ගමන සිහිවීමට කොළඹ ගල්බොක්කේ ගල්පරයක පෘතුගීසි රාජ්‍ය ලාංජනය කොටනු ලැබිණ. ගල්බොක්ක තුඩුව මුහුදු ආරක්ෂාව පිළිබඳ සාන්තුවරයෙකු වූ ‘ශාන්ත ලෝරන්ස්’ නමින් නම් කෙරිණි. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට මෙම ස්ථානය සොහොන් බිමක් ද සහිත එළිමහන් භූමියක් විය. (අරාබි පූජවරයෙකුගේ මිහිදන් කිරීමක් පිළිබඳව 10 වන සියවසට අයත් ‘කුෆික්’ (Kufik) අක්‍ෂර කෙටූ සොහොන් ගල හමුවන්නේ මෙය අසළිනි). ඒවා ඉවත් කර‘ශාන්ත ලෝරන්ස්‘ නමින් ම ඔවුන්ගේ මුල් ම දේවස්ථානය එහි ඉදි කෙරිණ.
පසුව පෘතුගීසීන්ගේ ආධාර ලැබූ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු (1551-57) තම ආරක්ෂාව පිණිස කොළඹ කොටුවේ පෘතුගීසින් වෙත පැමිණියේ ය.
ඒ වනවිට කොටුව තුළ ශාන්ත ප්‍රැන්සිස් නම් ස්ථාවරව තැනූ පල්ලියක් විය. පසුව එහිදී මිය ගිය ධර්මපාල රජු කොටුවේ භූමදානය කරන ලද්දේ ද මෙම ශාන්ත ප්‍රැන්සිස් පල්ලියේ ය.
කොළඹ වරාය භූමියේ දැනට ඇති කුරුසිය සහිත පර්වතය
1656 මැයි මසදී දෙවන රාජසිංහ (1629-87) රජුගේ ද සහය මත කොළඹ පෘතුගීසි කොටුව දීර්ඝ හා දරුණු සටනකින් පසු ඕලන්දයින්ට යටත් විය. කෝට්ටේ නගරයේ හා කොළඹ ප්රදේශයේ තිබූ පෘතුගීසි පල්ලි ඕලන්ද පාලනය තුළදී විනාශ කෙරිණ. කොටුවේ ශාන්ත ලෝරන්ස් පල්ලිය විනාශ කෙරණි. ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය ද විනාශ කර එහි ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ (V.O.C සමාගමේ) නිල දේවස්ථානය ඉදි කෙරිණි. එහි වූ සොහොන් බිම ප්‍රධාන සොහොන් බිම ලෙස 1813 වර්ෂය තෙක් භාවිත විය. පසුව සොහොන් ඵලක සියල්ල වුල්වෙන්ඩාල් පල්ලිය (ආදුරුප්පු වීදියේ පල්ලිය) වෙත ගෙන යන ලදී. ෆ්‍රැන්සිස් පල්ලියේ තිබූ ධර්මපාල රජුගේ සෙහොන් ඵලකය 1766 දී කොටුවේ ශාන්ත පීතර පල්ලියටත්, 1813 දී ආදුරුප්පු වීදියේ වුල්වෙන්ඩාල් පල්ලියටත් රැගෙන යන ලදී. එහි සවිකර තිබු ලෝහමය ඝණ්ඨාරය කයිමන් දොරකඩ අසළඝණ්ඨාර කුළුණේ සවිකරන ලදැයි කියවේ.
‘ශාන්ත ලෝරන්ස්’ හා ශාන්ත බාබරා’ ලෙසින් නම් කර තිබූ පෘතුගීසි කොටුව ද සම්පූර්ණයෙන් ම සමතලා කෙරිණි.
පිටකොටුවේ සෙක්කු වීදියේ ශාන්ත මේරි පල්ලිය ද එසේ ගොඩනගන ලද්දකි. මෙම භූමියේ පෘතුගීසි පාලන අවධියේ පැවති පල්ලියක් කඩා දමා 1655-56 වර්ෂවල ඕලන්ද පාලකයින් එම ස්ථානයේ ම වෙනත් පල්ලියක් ඉදිකර ඇත. වර්ෂ 1814 පමණ වනතුරු පැවති එහි බොහෝ පැරණි කොටස් ඉවත් කොට ඉංග්‍රීසි පාලනයේදී ප්‍රොතෙස්තන්ත පල්ලියක් බවට පත් කෙරිණ.
අලුත්කඩේ ප්රදේශයේ ඇති මෙතෝදිස්ත පල්ලිය (1816), මට්ටක්කුලිය ප්‍රංශ වත්තේ මෙතෝදිස්ත පල්ලිය (1895), ප්රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ඇති පැරණි දේවස්ථාන වේ. දැනට කොළඹ ඇති වෙනත් පෞරාණික, ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමක් ඇති දේවස්ථාන කීපයක් පහත දැක්වේ.
ශාන්ත පීතර දේවස්ථානය -කොටුව
වර්ෂ 1680 දී ඉදිවූ, ඕලන්ද ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස ද කලක් භාවිත වූ මෙම දේවස්ථානය එවකට නගරයේ තිබූ විශාලතම පෞද්ගලික ගොඩනැල්ල විය. පැරණි ලක්ෂණ අද එලෙසින් ම නැතත් ලංකා ඉතිහාසය හැදෑරීමේ බොහෝ ප්‍රයෝජනවත් මූලාශ්‍ර කීපයක් මෙහි වෙයි. ඕලන්ද පාලකයන් ඔවුන්ගේ පාලක මණ්ඩල රැස්වීම් සඳහා මෙම ස්ථානය භාවිත කළේය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් (1798-1805) ද මෙහි වාසය කළේ ය. එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් සඳහා ද කලක් භාවිත විය. 1804 වසරේදී ප්‍රතිසංස්කරණය කර ‘ශාන්ත පීතර ඉංග්‍රිසි ගැරිසන් දේවස්ථානය’ නමින් පූර්ණ ආගමික ආයතනයක් බවට මෙම ස්ථානය පත් කරන ලදී. එතෙක් බ්‍රිතාන්‍ය ජාතිකයින් තම ආගමික කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ඕලන්ද වුල්වැන්ඩාල් පල්ලිය යි.
වර්ෂ 1881 දී නැවත කළ ප්‍රතිසංස්කරණවලින් පසුව දේවස්ථානයට අවශ්‍ය අංග කීපයක් ඊට එක් කරනු ලැබී ය. මෙම දේවස්ථානයේ වර්ෂ 1930 වසරේදී ද ප්‍රතිසංස්කරණ සිදු කොට ඇත. දේවස්ථාන ශාලාවේ වම් පස කොටස බැතිමතුන්ගේ ආසන පේළියක් ද කෙළවර ඇති වේදිකාවට ඉහළින් අතින් ක්‍රියා කරවන පැරණි අවානක් ද වේ. බිත්තිවල ඕලන්ද හා බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගේ අනුස්මරණ ගල් පුවරු රැසකි.
ශාන්ත ඇන්ඩෲ දේවස්ථානය - ගාලු පාර
මුහුදු බඩ දුම්රිය මාර්ගය ගාලු පාරට යටින් දිවෙන පාලම අසළ අංක 73 හි පිහිටා ඇත. මැකන්සි ආණ්ඩුකාරවරයා (වර්ෂ 1841) මුල්ගල තබා කොළඹ කොටුවේ රජ වීදියේ ආරම්භ කර තිබූ දේවස්ථානය වෙනුවට පසුව කොල්ලුපිටියේ ඉදිකරන ලද මෙය වර්ෂ 1907 ට අයත් ය. ජේ. ජී.මැක්විදර් මෙහි මූලාරම්භක පියතුමා ය. එවකට මෙම පරිශ්‍රයේ තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉවත් කර ලංකාවේ සිටි ස්කොට් ජාතිකයින්ගේ ආගමික කටයුතු වෙනුවෙන් මෙය භාවිත වන්නට වූයෙන් එතැන් පටන් ‘ස්කොට් කර්ක්’ ( Scots Kirk) දේවස්ථානය නමින් ද හඳුන්වයි.
ගොඩනැගිල්ලේ සැලැස්ම සකස් කර ඇත්තේ එඩ්වඩ් ස්කිනර් ය. ගොතික් ශෛලියට (Gothic Perpendicular Style) ඉදිකර ඇති මෙහි කැපී පෙනෙන ලක්ෂණය නම් එහි ඉදිරිපස ඇති චතුරස්‍රාකාර කුළුණු දෙක ය. විශාල ගොතික් ආරුක්කු ද ඒ මැද ඒ හැඩයේ ම සුවිසල් වීදුරු ජනේලයක් ද මගින් දේවස්ථාන ශාලාවට ආලෝකය ලබා ගනී. මෙම වීදුරු ජනේලය වර්ෂ 1921 දී සවිකරණ ලද්දකි. ආරුක්කු කොරිඩෝරය හා කවුළුවලින් ද ශාලාවට මනා පෙනුමක් ලබා දීමට සමත් වී තිබේ.
ශාන්ත මයිකල් දේවස්ථානය - කොල්ලුපිටිය
කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතෙන් නැගෙනහිරට හැරී යන ශාන්ත මයිකල් පාරේ පිහිටා ඇත. මේ ස්ථානයේ දේව මෙහෙයයන් පොල් අතු ගොඩනැගිල්ලක ආරම්භ වී ඇත්තේ වර්ෂ 1814 දී ය. එකල එය ‘ශාන්ත තෝමස් පල්ලිය’ නම් විය. වර්ෂ 1864 දී කොළඹ අගරද ගුරු ක්ලොෆ්ටන් පියතුමාගේ සිට ශාන්ත මයිකල් ශාන්තුවර හා සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය ලෙස භාවිත කළේ ය.
ගොතික් ශෛලියට ඉදිකරන ලද මෙහි කවුළු, දොරටු, කොරිඩෝර සියල්ල කෝණාකාර ආරුක්කු හැඩයට තබා ඇත. ත්‍රිකෝණාකර මුදුන් ගේබලයක් එක්කර ඇත්තේ 1887 දී කළ ප්‍රතිසංස්කරණවලදී ය. වර්ෂ 1648 පමණ අයත් යැයි සැලකෙන පෘතුගීසි යුග ඝණ්ඨාරයක් ද මෙහි සංරක්ෂණය කර ප්‍රදර්ශනය කරයි.
ශාන්ත පාවුළු දේවස්ථානය - මිලාගිරිය
ගාලු පාරත් ඩික්මන් පාරත් එකිනෙක සම්බන්ධ වන කෝණාකාර භූමියේ පිහිටා ඇත. පෘතුගීසි පාලන සමයේ ‘Milagres’ ස්වාමි දුවගේ නමින් පල්ලියක් මෙහි තිබුණි. වර්ෂ 1848 දී ගොතික් ශෛලියේ කුඩා දේවස්ථානයක් සමග ම පාසැලක් ද (1853 දී) මෙහි ආරම්භ විය. දැන් එහි ඇති දේවස්ථානය 1890 දී ඉදිකරන ලද්දකි. උස් කෝණාකාර මුදුනක් සහිත වූ එය දෙපසට විහිදුණු පල දෙකක වහලයකින් යුක්ත ය. ඉදිරිපස ප්‍රවේශය විශාල ගොතික් ආරුක්කුවකින් ද, ශාලාවේ දෙපස පටු ආරුක්කු පෙළකින් ද නිර්මාණය කර ඇත. මේ බොහෝ ලක්ෂණ 1903 දී සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසු ඊට ලැබුණු දෑ ය. ක බැසිලිකාවක ස්වරූපයට කරන ලද එම ප්‍රතිසංස්කරණවලින් අටපට්ටම් කුළුණු දෙකක් ද ඊට එක්වී ඇත.
පිලිප් නේරි දේවස්ථානය - ඕල්කට් මාවත
රෝමානු කතෝලික දේවස්ථානයක් වන මෙහි මූලාරම්භය 1862 වුවත් අද එහි ඇත්තේ 1906 දී ඉදිකරන ලද්දකි. වඩාත් උස්ව ඉදිකර ඇති ඉදිරිපස මුහුණත සීනු කණු දෙකකින් සමන්විත ය. මුදුනේ වූ කුරුසය දෙපසින් බීරළු වැටවල් ද, කුඩා කොත් කීපයක් ද අර්ධ උන්නත කොරින්තියානු ශෛලියේ කුළුණු සහ ආරුක්කු හැඩැති බිත්ති කපරාරු ද වෙයි.
සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය - අලුත්කඩේ
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට පසුපසින් පිහිටා ඇත. උස් කෝණාකාර මුදුන් කොතක් සමග ගොතික් වාස්තුවිද්‍යාවට අනුව ඉදිකර ඇති මෙය වඩාත් ඈතට දර්ශනය වේ. මුදලියර් ජේ. ඒ. පෙරේරාගේ අධීක්ෂණය යටතේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් ඉදිකරන ලද මෙහි සැලැස්ම ජේ. එෆ්. චර්චිල් ගේ ය. ප්‍රධාන ශාලාවේ ඇතුළත ද ගොතික් ශෛලියට ම නිම කරන ලද දැව ආරුක්කු, පරාල ආදියෙන් අලංකාර කර ඇත. ශාලාවේ ඉහළ කොටස්වලට ළඟා වීමට පටු දැව පඩිපෙළක්, ආරුක්කු ජනේල හා දොරටුවලින් ද යුත් මෙය 1895 වර්ෂයේදී තනා නිම කරන ලද්දකි.
වුල්වැන්ඩාල් පල්ලිය - කොටහේන
ශ්‍රී රතනජෝති සරවනමුත්තු මාවතේ කෙළවර පිහිටා ඇත. ඕලන්ද රෙපරමාදු සභාව විසින් 1749 දි එවකට එහි තිබූ පෘතුගීසි පල්ලියක් ඉවත් කර මෙම ගොඩනැගිල්ල තනනු ලැබිණ. ලංකාවේ පළමු පොන්තකොස්ත පල්ලිය වන මෙයට ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ අනුග්‍රහය ලැබිණ. ආරම්භක වර්ෂය එහි නැගෙනහිර දොරටුවට ඉහළින් සටහන් කර ඇත.
මුදුන් පියස්ස බදාමයෙන් ම බැඳ තිබීම මෙහි විශේෂත්වයකි. ගොඩනැගිල්ලේ අත්තිවාරම කුරුසාකාර හැඩැති ය. ගෙබිමට කළුගල් අල්ලා ඇත. කබොක් ගලින් බැඳි බිත්තිවල ඝනකම අඩි 5ක් පමණ වේ. ප්‍රධාන ශාලාවේ පැරණි ධර්මාසන, පොකුරු පහන් ඇතුළත් ගෘහ භාණ්ඩ රැසකි. දැව බැල්කනියක් හා ආණ්ඩුකාරයාට වෙන් කරන ලද ආසන පෙළක් ද ඒ අතර වේ. වර්ණ වීදුරු පමණක් බ්‍රිතාන්‍ය යුගයේ දී කළ එකතු කිරීම් ය.
දේවස්ථානයේ ඓතිහාසික වැදගත්කම තීව්‍ර වන්නේ එහි ඇති පැරණි සොහොන් ඵලක 30කට අධික ප්‍රමාණය යි. ඕලන්ද ආණ්ඩුකාරවරුන් ද පූජකවරුන් හා ප්‍රභූවරුන් වෙනුවෙන් මේවා සකස් කර ඇත. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ පුවරුව ද ඉන් එකකි. දෙමළ, ඕලන්ද හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සටහන් සහිත මෙම සොහොන් පුවරු අතර පැරණිතම පුවරුව වර්ෂ 1607ට අයත් ය. අවට දේවස්ථානවලින් ඉවත් කරන ලද පුවරු ද මේ අතර වේ. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වර්ෂ 1783,1856,1969,1992 දී සිදු වී තිබේ.
ශාන්ත ලුසියා දේවස්ථානය - කොටහේන
කොළඹ නගරයේ පිහිටි විශාලතම දේවස්ථානයකි. වර්ෂ 1760 දී මෙය මුලින් ආරම්භ වී ඇත්තේ පොල් අතු මඩුවක් ලෙසිනි. 1782 වසරේදී නිකලස් රොඩ්රිගුස් පියතුමා එය ස්ථිර ගොඩනැගිල්ලක් බවට පත් කිරීමෙන් පසු 1820 හා 1834 ප්‍රතිසංස්කරණ ද සහිතව ලංකාවේ පළමු ආසන දෙව් මැදුර බවට උසස් කරන ලදී. වර්තමානයේ මෙහි දැකිය හැකි බොහෝ අංග 1881 - 1909 වර්ෂ අතරතුර වරින්වර එකතුකරන ලද ඒවා ය. ’ස්ටැනිස්ලූ තබරානි’ ( Stanisloo Tabarani ) පියතුමා විසින් යෝජනා කරන ලද ඉතාලි සැරසිලි මෝස්තර අනුව ගොඩනැගිලි සැලසුම් ශිල්පී එච්. එෆ්. තොම්ලන් හා ජේ. සී. හැමොන්ස් ගේ සැලස්ම්වලට අනුව වෝකර්ස් සමාගම විසින් ඉදිකිරීම් සිදුකර තිබේ. නව දේවස්ථානයේ පළමු දේව මෙහෙය 1887 දී සිදු විය.
දේවස්ථානය මුදුනේ ඇති ප්‍රධාන ඩෝමය හා පරිවාර ඩෝමය 1937 වසරේදී එක් වූ ඒවා ය. ඒවාට ඉදිරියෙන් ශාන්ත ලුසියා හා පරිවාර ශාන්තුවරුන්ගේ ප්‍රතිමා කීපයකි. ප්‍රංශ සමාගමක නිර්මාණයක් වූ ලංකාවේ දැනට ඇති බරැති ම හා විශාල ම ඝණ්ඨාවක් (රාත්තල් 4300ක් පමණ) හා පරිවාර ඝන්ඨා ද බීරළු පේළි, සිලින්ඩාකාර කුළුණු, ආරුක්කු දොරටු, කෝණාකාර මුදුන්පෙත් ආදී පැරණි රෝම හා වික්ටෝරියානු ශෛලීන්ට ඉදිකරන ලද අංග ද මෙහි වෙයි. දේවස්ථානයට ම අනුබද්ධව 1856 දී ශාන්ත බෙනඩික් විද්‍යාලය ද 1869 දී යහපත් එඬේරාගේ කන්‍යාරාමය ද ආරම්භ විය.
ශාන්ත අන්තෝනි දේවස්ථානය - කොච්චිකඩේ
විශේෂයෙන් ධීවර ප්‍රජාව අතර ප්රවලිත මෙම පල්ලිය කොළඹ වරාය ආසන්නව පිහිටා ඇත. එහි මුහුණතේ ආරුක්කු හැඩැති දිගැටි වීදුරු කුටියක තැන්පත්ව ඇත්තේ 1822 වසරේ ගෝවෙන් වැඩමවන ලද ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ප්රතිමාවකි. මුදුන් කොත්, බීරළු වැට, ඩොරික් කුළුණුවලින් ද දේවස්ථාන මුහුණත සමන්විත වේ. ඒවාට දෙපසින් උස් චතුරස්‍රාකාර සීනු කුළුණු (Squre Tower) දෙකකි. පහත භාගයේ දොරටු හා ජනේල ගොතික් ශෛලියට කෝණාකාරව තබා ඇත. මෙහි ආරම්භකයා ගෝවේ අන්තෝනි කොච්චියාල් පියතුමා ය.
ශාන්ත තෝමස් දේවස්ථානය - ජින්තුපිටිය
කොළඹ නගරයේ ඇති ඇන්ග්ලිකානු නිකායට අයත් පැරණි දේවස්ථානයකි. පැරණි පෘතුගීසි දේවස්ථානයක් හා ඕලන්ද බැරැක්කයක් ලෙස භාවිත වූ ගොඩනැගිල්ලක් ඉවත්කර තනන ලද්දකි. ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් (1812-22) විසින් මුල්ගල තබා 1815 දී වැඩ ආරම්භ කළ මෙහි ප්රධාන අනුග්‍රාහකයා වූයේ ද ඔහු ය. රජයේ මිනුම්පති ජී. ස්කින්ඩර්ගේ අධීක්ෂණය යටතේ ඉදි වූ මෙය ප්රදේශයේ ද්‍රවිඩ ක්‍රිස්තියානුවන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් එංගලන්ත සභාව යටතේ පාලනය විය. දේවස්ථානයට අයත් පැරණි සුසාන භූමියේ කුරුස රූප හා මත්ස්‍ය රූප රැගත් පෘතුගිසි පාලන සමයේ සිට පැවතෙන සොහොන් පුවරු කීපයක් වේ. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය 1804දී මුලින් ම ආරම්භ වූයේ ද මේ ස්ථානයේ උස් බිමක ය. 1903 දී දේවස්ථානය ප්‍රතිසංස්කරණවලට ලක් වීමෙන් පසු එහි මුහුණත ත්රිකෝණාකාරව ස්වරූපයට සකස් කරන ලදී.
උපුටා ගැනීම - http://www.silumina.lk/2018/12/22/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%9D%C2%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B6%B8%C2%AD%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B6%BA-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%C2%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%C2%AD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1