Tuesday, December 15, 2020

ලාංකික කතෝ­ලික බැති­ම­තුන්ගේ ඉති­හා­සය ජීව­මාන කරන කොළඹ පැරණි දේව­ස්ථාන

  ශාන්ත පීතර පල්ලිය හැදුවෙ ඕලන්ද ආණ්ඩු­කාර නිල නිවසෙ

* අවු­රුදු හාර­සී­ය­යක් පැරණි ඝණ්ඨා­ර­යක් කොල්ලු­පි­ටිය ශාන්ත මයි­කල් පල්ලියෙ
* කොටුවෙ පෘතු­ගීසි පල්ලියෙ තිබුණු ඝණ්ඨා­රය අද තිබෙන්නෙ කයි­මන් දොර­කඩ
* දොන් ජුවන් ධර්ම­පාල රජුගේ සොහොන් කොත ඇති බව කියන්නෙ ආදු­රු­ප්පු­වී­දිය පල්ලියෙ

සීවලී බණ්ඩාර මන­තුංග
ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය
ඉති­හා­සය හා පුරා­විද්‍යා අධ්‍ය­ය­නාං­ශය
රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය

කැලණි ගඟේ කෙළ­වර වූ මෝදර, මට්ට­ක්කු­ලිය, කොට­හේන වැනි කොළ­ඹට උතුරු ප්‍රදේ­ශය වර්ත­මා­නයේ වැඩි ම ජන­වර්ග හා ආග­මික මිශ්‍ර­ණ­ය­කින් යුත් ප්‍රදේ­ශය වේ. මෙහි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ප්‍රමු­ඛව බර්ගර්, මැලේ, ජා, හෙට්ටි, කාපිරි, ඇෆ්ගන් බෝරා ආදී වෙළ­ඳාම හා යුධ කට­යුතු හේතු­වෙන් ස්ථාන­ගත වූ මිශ්‍ර සුළු ජන වර්ග ද රාශි­යකි. නග­ර­යෙන් බැහැ­රට බහු­ත­රය සිංහ­ලයෝ වෙති. ඉන් වැඩි ප්‍රමා­ණ­යක් බෞද්ධ­යන් වන අතර සෙසු අය හින්දු, ඉස්ලාම්, කතෝ­ලික හා ක්‍රිස්ති­යානි ආගම් අද­හන්නෝ ය.

8 -9 සිය­වස් වන විට ඉස්ලාම් දහමේ ව්‍යාප්ති­යත් සමග බල­වත්වූ අරාබි වාණිජ ලෝකය තුළ කොළඹ නග­රය ප්‍රච­ලි­තව තිබු­ණෙන් මෙහි පැමිණි අරාබි ජාති­ක­යින්ගේ සංඛ්‍යාව ක්‍රම­යෙන් වර්ධ­නය විය. අරාබි පූජ­ව­ර­යෙ­කුගේ මිහි­දන් කිරී­මක් පිළි­බ­ඳව 10 වන සිය­ව­සට අයත් ‘කුෆික්’ (Kufik) අක්‍ෂර කෙටූ සොහොන් ගලක් කොළ­ඹින් හමුවී තිබේ. ‘ඉබ්න් අබු බකායා’ නම් එම පූජ­ක­ව­රයා මෙරට සිටි ඉස්ලාම් භක්ති­ක­යින් විසින් තම ආග­මික කට­යුතු ඉටු කර ගැනීම පිණිස බැග්බෑඩ්හි කාලිෆ් රජු මගින් ගෙන්වූ අයෙකි. 14 වන සිය­වස වන විට මර­ක්කල හා ‘හම්බන්’ නමින් හඳු­න්වන ඉස්ලාම් භක්ති­ක­යන් රෙදි­පිළි, කුරුඳු, ඇත්දළ, රන්, රිදී, මැණික් වෙළ­ඳාම පිණිස කොළ­ඹට පැමිණ තිබේ. මෙසේ අරා­බින් හා සම්බන්ධ කට­යුතු වර්ධ­න­යත් සමග කොළඹ දකුණු ඉන්දීය කලා­පයේ සැළ­කිය යුතු වරා­යක් බවට පත් විය.

ලංකාවේ මුල්ම පල්ලිය

කොළඹ නූතන ඉති­හා­ස­යට වැඩි බල­පෑ­මක් එල්ල වන්නේ පෘතු­ගී­සින්ගේ පැමි­ණී­මත් සමග ය. වර්ෂ 1505 නොවැ­ම්බර් මස දකුණු ඉන්දි­යාවේ ගෝව හි පෘතු­ගීසි අධි­රා­ජ්‍ය­යාගේ පුත් ලොරොන්සෝ ද අල්මේදා ප්‍රමුඛ නාවික පිරි­සක් මෙහි පැමි­ණෙන විට කොළඹ ජන­ප්‍රිය වෙළ­ඳ­පො­ලක් විය.

කෝට්ටේ එව­කට සිටි වීර පරා­ක්‍ර­ම­බාහු (1484-1508) රජු­ගෙන් කොළඹ වෙළ­ඳාම් කිරී­මට හා කොළො­න්තොට ආරක්ෂා කර දීමට පොරොන්දු ලබා ගැනී­මෙන් පසු තම ඓති­හා­සික ගමන සිහි­වී­මට කොළඹ ගල්බොක්කේ ගල්ප­ර­යක පෘතු­ගීසි රාජ්‍ය ලාංජ­නය කොටනු ලැබිණ. ගල්බොක්ක තුඩුව මුහුදු ආර­ක්ෂාව පිළි­බඳ සාන්තු­ව­ර­යෙකු වූ ‘ශාන්ත ලෝරන්ස්’ නමින් නම් කෙරිණි. පෘතු­ගී­සීන් ලංකා­වට පැමි­ණෙන විට මෙම ස්ථානය සොහොන් බිමක් ද සහිත එළි­ම­හන් භූමි­යක් විය. (අරාබි පූජ­ව­ර­යෙ­කුගේ මිහි­දන් කිරී­මක් පිළි­බ­ඳව 10 වන සිය­ව­සට අයත් ‘කුෆික්’ (Kufik) අක්‍ෂර කෙටූ සොහොන් ගල හමු­වන්නේ මෙය අස­ළිනි). ඒවා ඉවත් කර‘ශාන්ත ලෝරන්ස්‘ නමින් ම ඔවුන්ගේ මුල් ම දේව­ස්ථා­නය එහි ඉදි කෙරිණ.

පසුව පෘතු­ගී­සීන්ගේ ආධාර ලැබූ කෝට්ටේ දොන් ජුවන් ධර්ම­පාල රජු (1551-57) තම ආර­ක්ෂාව පිණිස කොළඹ කොටුවේ පෘතු­ගී­සින් වෙත පැමි­ණියේ ය.

ඒ වන­විට කොටුව තුළ ශාන්ත ප්‍රැන්සිස් නම් ස්ථාව­රව තැනූ පල්ලි­යක් විය. පසුව එහිදී මිය ගිය ධර්ම­පාල රජු කොටුවේ භූම­දා­නය කරන ලද්දේ ද මෙම ශාන්ත ප්‍රැන්සිස් පල්ලියේ ය.

කොළඹ වරාය භූමියේ දැනට ඇති කුරු­සිය සහිත පර්ව­තය

1656 මැයි මසදී දෙවන රාජ­සිංහ (1629-87) රජුගේ ද සහය මත කොළඹ පෘතු­ගීසි කොටුව දීර්ඝ හා දරුණු සට­න­කින් පසු ඕල­න්ද­යින්ට යටත් විය. කෝට්ටේ නග­රයේ හා කොළඹ ප්‍රදේ­ශයේ තිබූ පෘතු­ගීසි පල්ලි ඕලන්ද පාල­නය තුළදී විනාශ කෙරිණ. කොටුවේ ශාන්ත ලෝරන්ස් පල්ලිය විනාශ කෙරණි. ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය ද විනාශ කර එහි ඕලන්ද පෙර­දිග ඉන්දීය වෙළඳ සමා­ගමේ (V.O.C සමා­ගමේ) නිල දේව­ස්ථා­නය ඉදි කෙරිණි. එහි වූ සොහොන් බිම ප්‍රධාන සොහොන් බිම ලෙස 1813 වර්ෂය තෙක් භාවිත විය. පසුව සොහොන් ඵලක සියල්ල වුල්වෙ­න්ඩාල් පල්ලිය (ආදු­රුප්පු වීදියේ පල්ලිය) වෙත ගෙන යන ලදී. ෆ්‍රැන්සිස් පල්ලියේ තිබූ ධර්ම­පාල රජුගේ සෙහොන් ඵල­කය 1766 දී කොටුවේ ශාන්ත පීතර පල්ලි­ය­ටත්, 1813 දී ආදු­රුප්පු වීදියේ වුල්වෙ­න්ඩාල් පල්ලි­ය­ටත් රැගෙන යන ලදී. එහි සවි­කර තිබු ලෝහ­මය ඝණ්ඨා­රය කයි­මන් දොර­කඩ අස­ළ­ඝ­ණ්ඨාර කුළුණේ සවි­ක­රන ලදැයි කියවේ.

‘ශාන්ත ලෝරන්ස්’ හා ශාන්ත බාබරා’ ලෙසින් නම් කර තිබූ පෘතු­ගීසි කොටුව ද සම්පූ­ර්ණ­යෙන් ම සම­තලා කෙරිණි.

පිට­කො­ටුවේ සෙක්කු වීදියේ ශාන්ත මේරි පල්ලිය ද එසේ ගොඩ­න­ගන ලද්දකි. මෙම භූමියේ පෘතු­ගීසි පාලන අව­ධියේ පැවති පල්ලි­යක් කඩා දමා 1655-56 වර්ෂ­වල ඕලන්ද පාල­ක­යින් එම ස්ථානයේ ම වෙනත් පල්ලි­යක් ඉදි­කර ඇත. වර්ෂ 1814 පමණ වන­තුරු පැවති එහි බොහෝ පැරණි කොටස් ඉවත් කොට ඉංග්‍රීසි පාල­න­යේදී ප්‍රොතෙ­ස්තන්ත පල්ලි­යක් බවට පත් කෙරිණ.

අලු­ත්කඩේ ප්‍රදේ­ශයේ ඇති මෙතෝ­දිස්ත පල්ලිය (1816), මට්ට­ක්කු­ලිය ප්‍රංශ වත්තේ මෙතෝ­දිස්ත පල්ලිය (1895), ප්‍රදේ­ශයේ ඓති­හා­සික වැද­ග­ත්ක­මක් ඇති පැරණි දේව­ස්ථාන වේ. දැනට කොළඹ ඇති වෙනත් පෞරා­ණික, ඓති­හා­සික හා සංස්කෘ­තික වටි­නා­ක­මක් ඇති දේව­ස්ථාන කීප­යක් පහත දැක්වේ.

ශාන්ත පීතර දේව­ස්ථා­නය -කොටුව

වර්ෂ 1680 දී ඉදිවූ, ඕලන්ද ආණ්ඩු­කා­ර­ව­රුන්ගේ නිල නිවස ලෙස ද කලක් භාවිත වූ මෙම දේව­ස්ථා­නය එව­කට නග­රයේ තිබූ විශා­ල­තම පෞද්ග­ලික ගොඩ­නැල්ල විය. පැරණි ලක්ෂණ අද එලෙ­සින් ම නැතත් ලංකා ඉති­හා­සය හැදෑ­රීමේ බොහෝ ප්‍රයෝ­ජ­න­වත් මූලාශ්‍ර කීප­යක් මෙහි වෙයි. ඕලන්ද පාල­ක­යන් ඔවුන්ගේ පාලක මණ්ඩල රැස්වීම් සඳහා මෙම ස්ථානය භාවිත කළේය.

බ්‍රිතාන්‍ය පාලන සම­යේදී ආණ්ඩු­කාර ෆෙඩ්රික් නෝර්ත් (1798-1805) ද මෙහි වාසය කළේ ය. එසේ ම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ රැස්වීම් සඳහා ද කලක් භාවිත විය. 1804 වස­රේදී ප්‍රති­සං­ස්ක­ර­ණය කර ‘ශාන්ත පීතර ඉංග්‍රිසි ගැරි­සන් දේව­ස්ථා­නය’ නමින් පූර්ණ ආග­මික ආය­ත­න­යක් බවට මෙම ස්ථානය පත් කරන ලදී. එතෙක් බ්‍රිතාන්‍ය ජාති­ක­යින් තම ආග­මික කට­යුතු සඳහා භාවිත කරන ලද්දේ ඕලන්ද වුල්වැ­න්ඩාල් පල්ලිය යි.

වර්ෂ 1881 දී නැවත කළ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් පසුව දේව­ස්ථා­න­යට අවශ්‍ය අංග කීප­යක් ඊට එක් කරනු ලැබී ය. මෙම දේව­ස්ථා­නයේ වර්ෂ 1930 වස­රේදී ද ප්‍රති­සං­ස්ක­රණ සිදු කොට ඇත. දේව­ස්ථාන ශාලාවේ වම් පස කොටස බැති­ම­තුන්ගේ ආසන පේළි­යක් ද කෙළ­වර ඇති වේදි­කා­වට ඉහ­ළින් අතින් ක්‍රියා කර­වන පැරණි අවා­නක් ද වේ. බිත්ති­වල ඕලන්ද හා බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගේ අනු­ස්ම­රණ ගල් පුවරු රැසකි.

ශාන්ත ඇන්ඩෲ දේව­ස්ථා­නය - ගාලු පාර

මුහුදු බඩ දුම්රිය මාර්ගය ගාලු පාරට යටින් දිවෙන පාලම අසළ අංක 73 හි පිහිටා ඇත. මැකන්සි ආණ්ඩු­කා­ර­ව­රයා (වර්ෂ 1841) මුල්ගල තබා කොළඹ කොටුවේ රජ වීදියේ ආරම්භ කර තිබූ දේව­ස්ථා­නය වෙනු­වට පසුව කොල්ලු­පි­ටියේ ඉදි­ක­රන ලද මෙය වර්ෂ 1907 ට අයත් ය. ජේ. ජී.මැක්වි­දර් මෙහි මූලා­ර­ම්භක පිය­තුමා ය. එව­කට මෙම පරි­ශ්‍රයේ තිබූ ව්‍යාපා­රික ගොඩ­නැ­ගි­ල්ලක් ඉවත් කර ලංකාවේ සිටි ස්කොට් ජාති­ක­යින්ගේ ආග­මික කට­යුතු වෙනු­වෙන් මෙය භාවිත වන්නට වූයෙන් එතැන් පටන් ‘ස්කොට් කර්ක්’ ( Scots Kirk) දේව­ස්ථා­නය නමින් ද හඳු­න්වයි.

ගොඩ­නැ­ගිල්ලේ සැලැස්ම සකස් කර ඇත්තේ එඩ්වඩ් ස්කිනර් ය. ගොතික් ශෛලි­යට (Gothic Perpendicular Style) ඉදි­කර ඇති මෙහි කැපී පෙනෙන ලක්ෂ­ණය නම් එහි ඉදි­රි­පස ඇති චතු­ර­ස්‍රා­කාර කුළුණු දෙක ය. විශාල ගොතික් ආරුක්කු ද ඒ මැද ඒ හැඩයේ ම සුවි­සල් වීදුරු ජනේ­ල­යක් ද මගින් දේව­ස්ථාන ශාලා­වට ආලෝ­කය ලබා ගනී. මෙම වීදුරු ජනේ­ලය වර්ෂ 1921 දී සවි­ක­රණ ලද්දකි. ආරුක්කු කොරි­ඩෝ­රය හා කවු­ළු­ව­ලින් ද ශාලා­වට මනා පෙනු­මක් ලබා දීමට සමත් වී තිබේ.

ශාන්ත මයි­කල් දේව­ස්ථා­නය - කොල්ලු­පි­ටිය

කොල්ලු­පි­ටිය ආර්.ඒ.ද මෙල් මාව­තෙන් නැගෙ­න­හි­රට හැරී යන ශාන්ත මයි­කල් පාරේ පිහිටා ඇත. මේ ස්ථානයේ දේව මෙහෙ­ය­යන් පොල් අතු ගොඩ­නැ­ගි­ල්ලක ආරම්භ වී ඇත්තේ වර්ෂ 1814 දී ය. එකල එය ‘ශාන්ත තෝමස් පල්ලිය’ නම් විය. වර්ෂ 1864 දී කොළඹ අග­රද ගුරු ක්ලොෆ්ටන් පිය­තු­මාගේ සිට ශාන්ත මයි­කල් ශාන්තු­වර හා සියලු ශාන්තු­ව­රුන්ගේ දේව­ස්ථා­නය ලෙස භාවිත කළේ ය.

ගොතික් ශෛලි­යට ඉදි­ක­රන ලද මෙහි කවුළු, දොරටු, කොරි­ඩෝර සියල්ල කෝණා­කාර ආරුක්කු හැඩ­යට තබා ඇත. ත්‍රිකෝ­ණා­කර මුදුන් ගේබ­ල­යක් එක්කර ඇත්තේ 1887 දී කළ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී ය. වර්ෂ 1648 පමණ අයත් යැයි සැල­කෙන පෘතු­ගීසි යුග ඝණ්ඨා­ර­යක් ද මෙහි සංර­ක්ෂ­ණය කර ප්‍රද­ර්ශ­නය කරයි.

ශාන්ත පාවුළු දේව­ස්ථා­නය - මිලා­ගි­රිය

ගාලු පාරත් ඩික්මන් පාරත් එකි­නෙක සම්බන්ධ වන කෝණා­කාර භූමියේ පිහිටා ඇත. පෘතු­ගීසි පාලන සමයේ ‘Milagres’ ස්වාමි දුවගේ නමින් පල්ලි­යක් මෙහි තිබුණි. වර්ෂ 1848 දී ගොතික් ශෛලියේ කුඩා දේව­ස්ථා­න­යක් සමග ම පාසැ­ලක් ද (1853 දී) මෙහි ආරම්භ විය. දැන් එහි ඇති දේව­ස්ථා­නය 1890 දී ඉදි­ක­රන ලද්දකි. උස් කෝණා­කාර මුදු­නක් සහිත වූ එය දෙප­සට විහි­දුණු පල දෙකක වහ­ල­ය­කින් යුක්ත ය. ඉදි­රි­පස ප්‍රවේ­ශය විශාල ගොතික් ආරු­ක්කු­ව­කින් ද, ශාලාවේ දෙපස පටු ආරුක්කු පෙළ­කින් ද නිර්මා­ණය කර ඇත. මේ බොහෝ ලක්ෂණ 1903 දී සිදු කළ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් පසු ඊට ලැබුණු දෑ ය. ක බැසි­ලි­කා­වක ස්වරූ­ප­යට කරන ලද එම ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් අට­ප­ට්ටම් කුළුණු දෙකක් ද ඊට එක්වී ඇත.

පිලිප් නේරි දේව­ස්ථා­නය - ඕල්කට් මාවත

රෝමානු කතෝ­ලික දේව­ස්ථා­න­යක් වන මෙහි මූලා­ර­ම්භය 1862 වුවත් අද එහි ඇත්තේ 1906 දී ඉදි­ක­රන ලද්දකි. වඩාත් උස්ව ඉදි­කර ඇති ඉදි­රි­පස මුහු­ණත සීනු කණු දෙක­කින් සම­න්විත ය. මුදුනේ වූ කුරු­සය දෙප­සින් බීරළු වැට­වල් ද, කුඩා කොත් කීප­යක් ද අර්ධ උන්නත කොරි­න්ති­යානු ශෛලියේ කුළුණු සහ ආරුක්කු හැඩැති බිත්ති කප­රාරු ද වෙයි.

සියලු ශාන්තු­ව­රුන්ගේ දේව­ස්ථා­නය - අලු­ත්කඩේ

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ සංකී­ර්ණ­යට පසු­ප­සින් පිහිටා ඇත. උස් කෝණා­කාර මුදුන් කොතක් සමග ගොතික් වාස්තු­වි­ද්‍යා­වට අනුව ඉදි­කර ඇති මෙය වඩාත් ඈතට දර්ශ­නය වේ. මුද­ලි­යර් ජේ. ඒ. පෙරේ­රාගේ අධී­ක්ෂ­ණය යටතේ රජයේ වැඩ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉදි­ක­රන ලද මෙහි සැලැස්ම ජේ. එෆ්. චර්චිල් ගේ ය. ප්‍රධාන ශාලාවේ ඇතු­ළත ද ගොතික් ශෛලි­යට ම නිම කරන ලද දැව ආරුක්කු, පරාල ආදි­යෙන් අලං­කාර කර ඇත. ශාලාවේ ඉහළ කොට­ස්ව­ලට ළඟා වීමට පටු දැව පඩි­පෙ­ළක්, ආරුක්කු ජනේල හා දොර­ටු­ව­ලින් ද යුත් මෙය 1895 වර්ෂ­යේදී තනා නිම කරන ලද්දකි.

වුල්වැ­න්ඩාල් පල්ලිය - කොට­හේන

ශ්‍රී රත­න­ජෝති සර­ව­න­මුත්තු මාවතේ කෙළ­වර පිහිටා ඇත. ඕලන්ද රෙප­ර­මාදු සභාව විසින් 1749 දි එව­කට එහි තිබූ පෘතු­ගීසි පල්ලි­යක් ඉවත් කර මෙම ගොඩ­නැ­ගිල්ල තනනු ලැබිණ. ලංකාවේ පළමු පොන්ත­කොස්ත පල්ලිය වන මෙයට ඕලන්ද පෙර­දිග ඉන්දීය වෙළඳ සමා­ගමේ අනු­ග්‍ර­හය ලැබිණ. ආර­ම්භක වර්ෂය එහි නැගෙ­න­හිර දොර­ටු­වට ඉහ­ළින් සට­හන් කර ඇත.

මුදුන් පියස්ස බදා­ම­යෙන් ම බැඳ තිබීම මෙහි විශේ­ෂ­ත්ව­යකි. ගොඩ­නැ­ගිල්ලේ අත්ති­වා­රම කුරු­සා­කාර හැඩැති ය. ගෙබි­මට කළු­ගල් අල්ලා ඇත. කබොක් ගලින් බැඳි බිත්ති­වල ඝන­කම අඩි 5ක් පමණ වේ. ප්‍රධාන ශාලාවේ පැරණි ධර්මා­සන, පොකුරු පහන් ඇතු­ළත් ගෘහ භාණ්ඩ රැසකි. දැව බැල්ක­නි­යක් හා ආණ්ඩු­කා­ර­යාට වෙන් කරන ලද ආසන පෙළක් ද ඒ අතර වේ. වර්ණ වීදුරු පම­ණක් බ්‍රිතාන්‍ය යුගයේ දී කළ එකතු කිරීම් ය.

දේව­ස්ථා­නයේ ඓති­හා­සික වැද­ග­ත්කම තීව්‍ර වන්නේ එහි ඇති පැරණි සොහොන් ඵලක 30කට අධික ප්‍රමා­ණය යි. ඕලන්ද ආණ්ඩු­කා­ර­ව­රුන් ද පූජ­ක­ව­රුන් හා ප්‍රභූ­ව­රුන් වෙනු­වෙන් මේවා සකස් කර ඇත. බ්‍රිතාන්‍ය ආණ්ඩු­කාර එඩ්වඩ් බාන්ස්ගේ පුව­රුව ද ඉන් එකකි. දෙමළ, ඕලන්ද හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ව­යෙන් ම සට­හන් සහිත මෙම සොහොන් පුවරු අතර පැර­ණි­තම පුව­රුව වර්ෂ 1607ට අයත් ය. අවට දේව­ස්ථා­න­ව­ලින් ඉවත් කරන ලද පුවරු ද මේ අතර වේ. දේව­ස්ථා­නයේ ප්‍රති­සං­ස්ක­රණ වර්ෂ 1783,1856,1969,1992 දී සිදු වී තිබේ.

ශාන්ත ලුසියා දේව­ස්ථා­නය - කොට­හේන

කොළඹ නග­රයේ පිහිටි විශා­ල­තම දේව­ස්ථා­න­යකි. වර්ෂ 1760 දී මෙය මුලින් ආරම්භ වී ඇත්තේ පොල් අතු මඩු­වක් ලෙසිනි. 1782 වස­රේදී නික­ලස් රොඩ්රි­ගුස් පිය­තුමා එය ස්ථිර ගොඩ­නැ­ගි­ල්ලක් බවට පත් කිරී­මෙන් පසු 1820 හා 1834 ප්‍රති­සං­ස්ක­රණ ද සහි­තව ලංකාවේ පළමු ආසන දෙව් මැදුර බවට උසස් කරන ලදී. වර්ත­මා­නයේ මෙහි දැකිය හැකි බොහෝ අංග 1881 - 1909 වර්ෂ අත­ර­තුර වරි­න්වර එක­තු­ක­රන ලද ඒවා ය. ’ස්ටැනිස්ලූ තබ­රානි’ ( Stanisloo Tabarani ) පිය­තුමා විසින් යෝජනා කරන ලද ඉතාලි සැර­සිලි මෝස්තර අනුව ගොඩ­නැ­ගිලි සැල­සුම් ශිල්පී එච්. එෆ්. තොම්ලන් හා ජේ. සී. හැමොන්ස් ගේ සැල­ස්ම්ව­ලට අනුව වෝකර්ස් සමා­ගම විසින් ඉදි­කි­රීම් සිදු­කර තිබේ. නව දේව­ස්ථා­නයේ පළමු දේව මෙහෙය 1887 දී සිදු විය.

දේව­ස්ථා­නය මුදුනේ ඇති ප්‍රධාන ඩෝමය හා පරි­වාර ඩෝමය 1937 වස­රේදී එක් වූ ඒවා ය. ඒවාට ඉදි­රි­යෙන් ශාන්ත ලුසියා හා පරි­වාර ශාන්තු­ව­රුන්ගේ ප්‍රතිමා කීප­යකි. ප්‍රංශ සමා­ග­මක නිර්මා­ණ­යක් වූ ලංකාවේ දැනට ඇති බරැති ම හා විශාල ම ඝණ්ඨා­වක් (රාත්තල් 4300ක් පමණ) හා පරි­වාර ඝන්ඨා ද බීරළු පේළි, සිලි­න්ඩා­කාර කුළුණු, ආරුක්කු දොරටු, කෝණා­කාර මුදු­න්පෙත් ආදී පැරණි රෝම හා වික්ටෝ­රි­යානු ශෛලීන්ට ඉදි­ක­රන ලද අංග ද මෙහි වෙයි. දේව­ස්ථා­න­යට ම අනු­බ­ද්ධව 1856 දී ශාන්ත බෙන­ඩික් විද්‍යා­ලය ද 1869 දී යහ­පත් එඬේ­රාගේ කන්‍යා­රා­මය ද ආරම්භ විය.

ශාන්ත අන්තෝනි දේව­ස්ථා­නය - කොච්චි­කඩේ

විශේ­ෂ­යෙන් ධීවර ප්‍රජාව අතර ප්‍රව­ලිත මෙම පල්ලිය කොළඹ වරාය ආස­න්නව පිහිටා ඇත. එහි මුහු­ණතේ ආරුක්කු හැඩැති දිගැටි වීදුරු කුටි­යක තැන්පත්ව ඇත්තේ 1822 වසරේ ගෝවෙන් වැඩ­ම­වන ලද ශාන්ත අන්තෝනි මුනි­තු­මාගේ ප්‍රති­මා­වකි. මුදුන් කොත්, බීරළු වැට, ඩොරික් කුළු­ණු­ව­ලින් ද දේව­ස්ථාන මුහු­ණත සම­න්විත වේ. ඒවාට දෙප­සින් උස් චතු­ර­ස්‍රා­කාර සීනු කුළුණු (Squre Tower) දෙකකි. පහත භාගයේ දොරටු හා ජනේල ගොතික් ශෛලි­යට කෝණා­කා­රව තබා ඇත. මෙහි ආර­ම්භ­කයා ගෝවේ අන්තෝනි කොච්චි­යාල් පිය­තුමා ය.

ශාන්ත තෝමස් දේව­ස්ථා­නය - ජින්තු­පි­ටිය

කොළඹ නග­රයේ ඇති ඇන්ග්ලි­කානු නිකා­යට අයත් පැරණි දේව­ස්ථා­න­යකි. පැරණි පෘතු­ගීසි දේව­ස්ථා­න­යක් හා ඕලන්ද බැරැ­ක්ක­යක් ලෙස භාවිත වූ ගොඩ­නැ­ගි­ල්ලක් ඉව­ත්කර තනන ලද්දකි. ආණ්ඩු­කාර රොබට් බ්‍රවු­න්රිග් (1812-22) විසින් මුල්ගල තබා 1815 දී වැඩ ආරම්භ කළ මෙහි ප්‍රධාන අනු­ග්‍රා­හ­කයා වූයේ ද ඔහු ය. රජයේ මිනු­ම්පති ජී. ස්කින්ඩර්ගේ අධී­ක්ෂ­ණය යටතේ ඉදි වූ මෙය ප්‍රදේ­ශයේ ද්‍රවිඩ ක්‍රිස්ති­යා­නු­වන්ගේ අපේ­ක්ෂා­වන් වෙනු­වෙන් එංග­ලන්ත සභාව යටතේ පාල­නය විය. දේව­ස්ථා­න­යට අයත් පැරණි සුසාන භූමියේ කුරුස රූප හා මත්ස්‍ය රූප රැගත් පෘතු­ගිසි පාලන සමයේ සිට පැව­තෙන සොහොන් පුවරු කීප­යක් වේ. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යා­ලය 1804දී මුලින් ම ආරම්භ වූයේ ද මේ ස්ථානයේ උස් බිමක ය. 1903 දී දේව­ස්ථා­නය ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට ලක් වීමෙන් පසු එහි මුහු­ණත ත්‍රිකෝ­ණා­කා­රව ස්වරූ­ප­යට සකස් කරන ලදී.

උපුටා ගැනීම - http://www.silumina.lk/2018/12/22/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%9D%C2%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B6%B8%C2%AD%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B6%BA-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%C2%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%C2%AD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1

No comments:

Post a Comment