Tuesday, December 15, 2020

කොළඔ කොටුවේ නටබුන්

 



(During the demolition of Colombo fort , in 1865)

යුරෝපා ජාතින් තුනකට යටත්ව සිටි නිසා අපේ රටේ ප්‍රදේශ කිහිපයකම අදටත් ඔවුන් විසින් ඉදි කරන ලද බලකොටු දකින්න පුළුවන්... මින් වඩාත්ම සුරක්ෂිතව හා මුල් ස්වරූප වලින්ම  පවතින්නේ ගාල්ල කොටුව සහ මාතර කොටුවයි.....මීට අමතරව යාපනය, කල්පිටිය, ත්‍රිකුණාමලය, ඩෙල්ෆ්ට්, මන්නාරම සහ තවත් ප්‍රදේශ කිහිපයකත් බලකොටු අපිට දකින්න පුළුවන්...

නමුත් කොටුව කිවව සැණින් අපිට මේ එකක්වත් මතක් වෙනවද..මටනම් නෑ..'කොටුව' කියපු සැණින් මට මතක් වෙන්නෙ කොළඹ කොටුව...ඒ වුණාට ගාල්ල මාතර වගේ කොළඹ අපිට දකින්න බලකොටුවක් කොළඹ නැහැනෙ?!...

ඔවු අද වෙනකොට අපිට දකින්න කොළඹ කොටුව නැත්තේ කොළඹ වාණිජ නගරයක් ලෙස පුළුල් කිරීමේදී 1865ත් 1871ත් අතර කාලයේදී  බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ කොටුව බිමට සමතලා කිරීමට කටයුතු යොදපු නිසයි...

,මගේ කොළඹ වීදියකදී 03වන ලිපියේ දිග හැරුණු බේරේ වැවේ කතන්දරයේදී ( https://ekaahasakyatadi.blogspot.com/search?q=%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A )  මම කොළඹ කොටුව ගැන සුළුවෙන් සටහන් කලා...කොළඹ කොටුවේ දිය අගල් ගැන කියවෙච්ච නිසා..

ඇත්තටම අපිට කොළඹ කොටුව ගැන කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ කොටුවෙ එක දිය අගලක් වෙච්ච බේරේ වැවත් , වරාය පැත්තෙන් මුහුදත් යා කරන ඇළ මාර්ගයත් , පිටකොටුවෙන් කොටුවට ඇතුළු වීමට තිබුණු දොර (කයිමන් දොරකඩ ) අසල තිබුණ ඝාණ්ඨාර කුළුනත් විතරද?
වාසනාවට නෑ..බ්‍රිතානීන් කොටුව උදුරා දමද්දී අනාගතය ගැන සිතා හෝ නොසිතා අපට කොළඹ කොටු පවුරේ යම් යම් කොටස් ඉතිරිකරලා තියෙනවා...නමුත් අප කිසිවෙක් මේ ගැන වැඩියමක් නොදන්නේ මෙම කොටස් වලින් වැඩි ප්‍රමාණයක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක් නොහොත් නාවුක හමුදා මූලස්ථානය තුළ වීම නිසයි..
එහෙන් මෙහෙන් හොයාගත්ත සහ දැක බලාගත් තොරතුරු අනුව අපි බළමු මොනවද මේ නටඹුන් කොටස් කියලා...
කොළඹ කොටුව කියන්නෙ බැස්ටියම් 9යක් තිබුණ බලකොටුවක්.බැස්ටියම කියන්නෙ මොකක්ද කියලා නොදන්න අය සිහි කර ගන්න ගාලු කොටුවෙ  මුළු වල ,කොටු පවුරෙන් එළියට නෙරන විදිහට තියෙන තිබෙන ත්‍රිකෝණාකාර , ෂඩාශ්‍රාකාර හෝ, අශ්ඨාෂ්‍රාකාර කොටස්. ඒවට තමයි බැස්ටියම කියන්නෙ. කොටුවේ ආරාක්ෂාවට තමයි මෙම කොටස් හදන්නේ...මේ කොටස් වල ආරාක්ෂක නිලධාරීන් සිටි අතර කාල තුවක්කු තබා තිබීමට කටයුතු කලා...
                                      (A Bastion in Galle fort )
 
කොළඹ කොටුවෙ බැස්ටියම් 9ය නම් කරලා තිබුණෙ නෙදර්ලන්තයේ නගර නමයක නම් වලින්... 
උතුරු දෙස සිට දක්ෂිණාවෘතව ගත් කල මේ බැස්ටියම් වල නම් වුණේ;

1. ලේඩන් බැස්ටියම (ලේඩන් බැස්ටියන් මාවත සිහි කරගන්න )
2. ඩෙල්ෆ්ට් බැස්ටියම
3.හූන් බැස්ටියම
4.රොටර්ඩෑම් බැස්ටියම
5.මිඩ්ල්බර්ග් බැස්ටියම
6.ක්ලිපන්බර්ග් බැස්ටියම
7.එන්කුය්සෙන් බැස්ටියම
8.ඩැන් බ්‍රියෙල් බැස්ටියම
9.ඇම්ස්ටර්ඩෑම් බැස්ටියම


තවද බැටන්බර්ග් සහ වෝටර් පාස් නමින් විශාල කාලතුවක්කු දෙකකුත් තිබිලා තියෙනවා,කොළඹ කොටුවෙ.

අද වෙනකොට  නාවුක හමුදා මූලස්තානයේ , නාවුක හමුදාපති තුමාගේ කාර්යාලය අසල , ගෝල් බක් පාර අසල ඩැන්බ්‍රියෙල් බැස්ටියමේ කොටස් ඉතිරිවී තිබෙනවා.. 

     



                                   (Ruins of Dan Briel Bastion)
 
මෙම බැස්ටියම , පසුකාලීනව සිදුවුණ නවීකරණයන් හේතුවෙන් මුලින් පැවති හැඩයෙන් වියුක්තව නිසි හැඩයක් නොමැති ඉදිකිරීමක් ලෙස පැවතියත්, පැති පහකින් යුත් බැස්ටියමක් බවට සාක්ෂි අදටත් තිබෙනවා.බැස්ටියමේ මුවවිට වසා දැමූ කාලතුවක්කු දක්නට ලැබෙන අතර බිත්තියක් අඩි 15ක් පමණ උස විය හැකි බව කියවෙනවා.

මෙම බැස්ටියමේ පිටුපසින් ගොස්  වම්පසට වන්නට කොඩිගහ වීදිය/ෆ්ලැග්ස්ටාෆ් ස්ට්‍රීට් හි කොළඹ කොටුවේ කුඩා දොරටු දෙකක් දකින්නට තියෙනවා...

කොළඹ කොටුව ප්‍රධාන දොරටු තුනකින් යුතු වුණා. ඒ;
.1. නැගෙනහිරින් - ඩෙල්ෆ්ට් දොරටුව (ඩෙල්ෆ්ට් ගේට්),
.2. දකුණින් - ගාලු දොරටුව (ගෝල් ගේට්)
සහ
.3. බටහිරින් ,වරාය දෙසට විවර වුණ වෝටර් ගේට් යන දොරටුවයි.


එක් කුඩා දොරටුවක් මෙම ෆ්ලැග්ස්ටාෆ් ස්ට්‍රීට් ප්‍රදේශයේ දකින්න පුලුවන්. එය ගස් වලින් සහ මුල් වලින් වැසී ගිය එකක් වෙන අතර, දොරටුව මැදින් බිත්තියක් බැඳ වසා දමා තිබෙනවා. එම දොරටුවේ ඉහල '1676' යන්න සඳහන් කර තිබෙනවා.
                                  ( "1676" )

ප්‍රධාන දොරටුවක් වුණ 'ඩෙල්ෆ්ට් ගේට්' දොරටුව අද දක්නට ලැබෙන්නෙ බ්‍රිස්ටල් වීදිය පසින් කමර්ෂල් බැංකු භූමියේය. 

එහි තිබෙන ගොඩනැගිලි දෙකකට මැදිව මෙම ලන්දේසි ආරුක්කු හැඩයේ දොරටුවේ කොටස තිබෙනවා. වර්තමානයෙ එය වර්ණ පින්තාරු කොට නව පෙනුමක් ලබා දී තිබෙණවා.

(Colombo :Mango Tree, Logo in Delft Gate)


ඩෙල්ෆ්ට් දොරටුව ; ඩෙල්ෆට් සහ හූන් බැස්ටියම් අතර පිහිටි අතර එය පිටකොටුව දෙසට විවෘත වන ලෙස පැවතී තිබෙනවා.කයිමන් දොරටුවේ සිට පැමිණෙන පිටකොටුව කෙලින් වීදිය සම්බන්ධ වි තිබෙන්නේ ඩෙල්ෆ්ට් දොරටුවටයි.

මෙම දොරටුව වෙත ඒමට පිටකොටුව දෙසින් පැමිණ කොටුව දිය අගල ( වර්තමානයේ රේගු මූලස්තානය, කොටුව දුම් රිය ස්ථානය හා ලේක් හවුසිය  අසලින් දිවෙන ඇළ මාර්ගය ) මතින් පිහිටි ඉහල පහල දැමිය හැකි පාළමකින් පැමිණිය යුතුව තිබෙනවා.එය කොළඹ කොටුවට කෙලින්ම නොපැමිණීමට ගත් ආරක්ෂක මාර්ගයක්.

කොළඹ කොටුවේ තවත් ඉතිරිව තිබෙන තවත් කොටසක් නම් "බැටන්බර්ග් බැටරි" නම් වන කාලතුවක්කු පිහිටා තිබුණු කොටසයි. මෙය අද වන විට කොළඹ වරාය භූමියේ තිබෙනවා. 


                                  (Battenburg battery)

ගඩොලින් සහ කබොක් ගලින් කල බිත්තියක් මෙම ස්ථානයේ තිබෙනවා.කොළඹ කොටුව උදුරා දැමීමෙන් පසුවත් මෙම කාලතුවක්කු භාවිතා කල බව වාර්තා වෙනවා.මෙය ලන්දේසි කොටුවේ තිබුණු විශාල කලතුවක්කු දෙකින් එකක් වන අතර පසුව බ්‍රිතානීන් විසින් කොළඹ ආරාක්ෂාවට , දෙවන ලෝක යුද්ධයේ අවසානය තෙක් පවත්වාගෙන ගිය කාල තුවක්කු හතරෙන් එකක්ද වෙනවා. අද වන විට දකින්න ලැබෙන්නේ එහි පාදමක් පමණයි.


 චෛත්‍ය පාර අවසානයේ තිබෙන , වර්තමාණයේ සාමුද්‍රීය කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන ගොඩනැගිල්ල , කොළඹ කොටුවට සම්බන්ධව තිබුණු ගබඩා සංකීර්ණයක ඉතිරිව පවතින කොටසක්.වරායත් , කාලතුවක්කුවත් අතර ප්‍රදේශයේ 'පාකුයිzඑන් ' නමින් හඳුන්වනු ලැබූ ගබඩා ගොඩනැගිලි දෙපේළියක් තිබී තිබෙනවා.මෙම ගොඩනැගිලි ලන්දේසි සම්ප්‍රදායේ වෘත්තාකාර වහල් සහිත ගොඩනැගිලිය.

චෛත්‍ය පාරේ වරාය දෙසට යන විට දකුණත් පසින් හමු වන කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ශාලාවට දකුණු පසින් එම ශාලාවෙ පිටුපසට දිවෙන ලෙස කොළඹ කොටු පවුරේ කොටසක් ඉතිරිව පවතිනවා...වර්තමානයෙ සිදු වුණ නොඒක පිළිසකර කිරීම් සහ එකතු කිරීම් අතරින් මෙම කොටුපවුරු බිත්ති තවමත් ඉතිරිව තිබෙනවා දකින්න පුළුවන්....





ඉතින් මෙම සියලුම නටඹුන් ගත් කල කොළඹ කොටුවේ ඉතිරිව තිබෙන ස්ථාන 7ත් 9ත් අතර තිබෙන බව පැවසෙනවා...

මේ අතරින් ඔබට  පහසුවෙන් දැකිය හැකියි චෛත්‍ය පාරේ තිබෙන නටඹුන් සහ ඩෙල්ෆ්ට් දොරටුවේ කොටස්. අනෙක්වා නැරඹීමටනම් විශේෂ අවසරයකින් නාවුක හමුදා මූලස්ථානයට යායුතු අතර එය පහසු කටයුත්තක් නොවනු ඇත...
ඉතින් හැකි අවස්ථාවක , කොළඹ වීදි වලින් අප වැඩිපුර නොයන වීදි වල සැන්නගවී ඇති මෙම නටඹුන් දැක ගන්න... .

කොළඹ වීදියකදී නැවත හමුවෙමු..

- අමිල -
(ඡායාරූප මිනෝල් පීරිස් විසිනි )

Gallery




                                      (Delft gate)
උපුටා ගැනීම - http://thearchive123.blogspot.com/2018/10/14.html

No comments:

Post a Comment