Tuesday, December 15, 2020

කොළඔ කොටුවේ නටබුන්

 



(During the demolition of Colombo fort , in 1865)

යුරෝපා ජාතින් තුනකට යටත්ව සිටි නිසා අපේ රටේ ප්‍රදේශ කිහිපයකම අදටත් ඔවුන් විසින් ඉදි කරන ලද බලකොටු දකින්න පුළුවන්... මින් වඩාත්ම සුරක්ෂිතව හා මුල් ස්වරූප වලින්ම  පවතින්නේ ගාල්ල කොටුව සහ මාතර කොටුවයි.....මීට අමතරව යාපනය, කල්පිටිය, ත්‍රිකුණාමලය, ඩෙල්ෆ්ට්, මන්නාරම සහ තවත් ප්‍රදේශ කිහිපයකත් බලකොටු අපිට දකින්න පුළුවන්...

නමුත් කොටුව කිවව සැණින් අපිට මේ එකක්වත් මතක් වෙනවද..මටනම් නෑ..'කොටුව' කියපු සැණින් මට මතක් වෙන්නෙ කොළඹ කොටුව...ඒ වුණාට ගාල්ල මාතර වගේ කොළඹ අපිට දකින්න බලකොටුවක් කොළඹ නැහැනෙ?!...

ඔවු අද වෙනකොට අපිට දකින්න කොළඹ කොටුව නැත්තේ කොළඹ වාණිජ නගරයක් ලෙස පුළුල් කිරීමේදී 1865ත් 1871ත් අතර කාලයේදී  බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ කොටුව බිමට සමතලා කිරීමට කටයුතු යොදපු නිසයි...

,මගේ කොළඹ වීදියකදී 03වන ලිපියේ දිග හැරුණු බේරේ වැවේ කතන්දරයේදී ( https://ekaahasakyatadi.blogspot.com/search?q=%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A )  මම කොළඹ කොටුව ගැන සුළුවෙන් සටහන් කලා...කොළඹ කොටුවේ දිය අගල් ගැන කියවෙච්ච නිසා..

ඇත්තටම අපිට කොළඹ කොටුව ගැන කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ කොටුවෙ එක දිය අගලක් වෙච්ච බේරේ වැවත් , වරාය පැත්තෙන් මුහුදත් යා කරන ඇළ මාර්ගයත් , පිටකොටුවෙන් කොටුවට ඇතුළු වීමට තිබුණු දොර (කයිමන් දොරකඩ ) අසල තිබුණ ඝාණ්ඨාර කුළුනත් විතරද?
වාසනාවට නෑ..බ්‍රිතානීන් කොටුව උදුරා දමද්දී අනාගතය ගැන සිතා හෝ නොසිතා අපට කොළඹ කොටු පවුරේ යම් යම් කොටස් ඉතිරිකරලා තියෙනවා...නමුත් අප කිසිවෙක් මේ ගැන වැඩියමක් නොදන්නේ මෙම කොටස් වලින් වැඩි ප්‍රමාණයක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක් නොහොත් නාවුක හමුදා මූලස්ථානය තුළ වීම නිසයි..
එහෙන් මෙහෙන් හොයාගත්ත සහ දැක බලාගත් තොරතුරු අනුව අපි බළමු මොනවද මේ නටඹුන් කොටස් කියලා...
කොළඹ කොටුව කියන්නෙ බැස්ටියම් 9යක් තිබුණ බලකොටුවක්.බැස්ටියම කියන්නෙ මොකක්ද කියලා නොදන්න අය සිහි කර ගන්න ගාලු කොටුවෙ  මුළු වල ,කොටු පවුරෙන් එළියට නෙරන විදිහට තියෙන තිබෙන ත්‍රිකෝණාකාර , ෂඩාශ්‍රාකාර හෝ, අශ්ඨාෂ්‍රාකාර කොටස්. ඒවට තමයි බැස්ටියම කියන්නෙ. කොටුවේ ආරාක්ෂාවට තමයි මෙම කොටස් හදන්නේ...මේ කොටස් වල ආරාක්ෂක නිලධාරීන් සිටි අතර කාල තුවක්කු තබා තිබීමට කටයුතු කලා...
                                      (A Bastion in Galle fort )
 
කොළඹ කොටුවෙ බැස්ටියම් 9ය නම් කරලා තිබුණෙ නෙදර්ලන්තයේ නගර නමයක නම් වලින්... 
උතුරු දෙස සිට දක්ෂිණාවෘතව ගත් කල මේ බැස්ටියම් වල නම් වුණේ;

1. ලේඩන් බැස්ටියම (ලේඩන් බැස්ටියන් මාවත සිහි කරගන්න )
2. ඩෙල්ෆ්ට් බැස්ටියම
3.හූන් බැස්ටියම
4.රොටර්ඩෑම් බැස්ටියම
5.මිඩ්ල්බර්ග් බැස්ටියම
6.ක්ලිපන්බර්ග් බැස්ටියම
7.එන්කුය්සෙන් බැස්ටියම
8.ඩැන් බ්‍රියෙල් බැස්ටියම
9.ඇම්ස්ටර්ඩෑම් බැස්ටියම


තවද බැටන්බර්ග් සහ වෝටර් පාස් නමින් විශාල කාලතුවක්කු දෙකකුත් තිබිලා තියෙනවා,කොළඹ කොටුවෙ.

අද වෙනකොට  නාවුක හමුදා මූලස්තානයේ , නාවුක හමුදාපති තුමාගේ කාර්යාලය අසල , ගෝල් බක් පාර අසල ඩැන්බ්‍රියෙල් බැස්ටියමේ කොටස් ඉතිරිවී තිබෙනවා.. 

     



                                   (Ruins of Dan Briel Bastion)
 
මෙම බැස්ටියම , පසුකාලීනව සිදුවුණ නවීකරණයන් හේතුවෙන් මුලින් පැවති හැඩයෙන් වියුක්තව නිසි හැඩයක් නොමැති ඉදිකිරීමක් ලෙස පැවතියත්, පැති පහකින් යුත් බැස්ටියමක් බවට සාක්ෂි අදටත් තිබෙනවා.බැස්ටියමේ මුවවිට වසා දැමූ කාලතුවක්කු දක්නට ලැබෙන අතර බිත්තියක් අඩි 15ක් පමණ උස විය හැකි බව කියවෙනවා.

මෙම බැස්ටියමේ පිටුපසින් ගොස්  වම්පසට වන්නට කොඩිගහ වීදිය/ෆ්ලැග්ස්ටාෆ් ස්ට්‍රීට් හි කොළඹ කොටුවේ කුඩා දොරටු දෙකක් දකින්නට තියෙනවා...

කොළඹ කොටුව ප්‍රධාන දොරටු තුනකින් යුතු වුණා. ඒ;
.1. නැගෙනහිරින් - ඩෙල්ෆ්ට් දොරටුව (ඩෙල්ෆ්ට් ගේට්),
.2. දකුණින් - ගාලු දොරටුව (ගෝල් ගේට්)
සහ
.3. බටහිරින් ,වරාය දෙසට විවර වුණ වෝටර් ගේට් යන දොරටුවයි.


එක් කුඩා දොරටුවක් මෙම ෆ්ලැග්ස්ටාෆ් ස්ට්‍රීට් ප්‍රදේශයේ දකින්න පුලුවන්. එය ගස් වලින් සහ මුල් වලින් වැසී ගිය එකක් වෙන අතර, දොරටුව මැදින් බිත්තියක් බැඳ වසා දමා තිබෙනවා. එම දොරටුවේ ඉහල '1676' යන්න සඳහන් කර තිබෙනවා.
                                  ( "1676" )

ප්‍රධාන දොරටුවක් වුණ 'ඩෙල්ෆ්ට් ගේට්' දොරටුව අද දක්නට ලැබෙන්නෙ බ්‍රිස්ටල් වීදිය පසින් කමර්ෂල් බැංකු භූමියේය. 

එහි තිබෙන ගොඩනැගිලි දෙකකට මැදිව මෙම ලන්දේසි ආරුක්කු හැඩයේ දොරටුවේ කොටස තිබෙනවා. වර්තමානයෙ එය වර්ණ පින්තාරු කොට නව පෙනුමක් ලබා දී තිබෙණවා.

(Colombo :Mango Tree, Logo in Delft Gate)


ඩෙල්ෆ්ට් දොරටුව ; ඩෙල්ෆට් සහ හූන් බැස්ටියම් අතර පිහිටි අතර එය පිටකොටුව දෙසට විවෘත වන ලෙස පැවතී තිබෙනවා.කයිමන් දොරටුවේ සිට පැමිණෙන පිටකොටුව කෙලින් වීදිය සම්බන්ධ වි තිබෙන්නේ ඩෙල්ෆ්ට් දොරටුවටයි.

මෙම දොරටුව වෙත ඒමට පිටකොටුව දෙසින් පැමිණ කොටුව දිය අගල ( වර්තමානයේ රේගු මූලස්තානය, කොටුව දුම් රිය ස්ථානය හා ලේක් හවුසිය  අසලින් දිවෙන ඇළ මාර්ගය ) මතින් පිහිටි ඉහල පහල දැමිය හැකි පාළමකින් පැමිණිය යුතුව තිබෙනවා.එය කොළඹ කොටුවට කෙලින්ම නොපැමිණීමට ගත් ආරක්ෂක මාර්ගයක්.

කොළඹ කොටුවේ තවත් ඉතිරිව තිබෙන තවත් කොටසක් නම් "බැටන්බර්ග් බැටරි" නම් වන කාලතුවක්කු පිහිටා තිබුණු කොටසයි. මෙය අද වන විට කොළඹ වරාය භූමියේ තිබෙනවා. 


                                  (Battenburg battery)

ගඩොලින් සහ කබොක් ගලින් කල බිත්තියක් මෙම ස්ථානයේ තිබෙනවා.කොළඹ කොටුව උදුරා දැමීමෙන් පසුවත් මෙම කාලතුවක්කු භාවිතා කල බව වාර්තා වෙනවා.මෙය ලන්දේසි කොටුවේ තිබුණු විශාල කලතුවක්කු දෙකින් එකක් වන අතර පසුව බ්‍රිතානීන් විසින් කොළඹ ආරාක්ෂාවට , දෙවන ලෝක යුද්ධයේ අවසානය තෙක් පවත්වාගෙන ගිය කාල තුවක්කු හතරෙන් එකක්ද වෙනවා. අද වන විට දකින්න ලැබෙන්නේ එහි පාදමක් පමණයි.


 චෛත්‍ය පාර අවසානයේ තිබෙන , වර්තමාණයේ සාමුද්‍රීය කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන ගොඩනැගිල්ල , කොළඹ කොටුවට සම්බන්ධව තිබුණු ගබඩා සංකීර්ණයක ඉතිරිව පවතින කොටසක්.වරායත් , කාලතුවක්කුවත් අතර ප්‍රදේශයේ 'පාකුයිzඑන් ' නමින් හඳුන්වනු ලැබූ ගබඩා ගොඩනැගිලි දෙපේළියක් තිබී තිබෙනවා.මෙම ගොඩනැගිලි ලන්දේසි සම්ප්‍රදායේ වෘත්තාකාර වහල් සහිත ගොඩනැගිලිය.

චෛත්‍ය පාරේ වරාය දෙසට යන විට දකුණත් පසින් හමු වන කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ශාලාවට දකුණු පසින් එම ශාලාවෙ පිටුපසට දිවෙන ලෙස කොළඹ කොටු පවුරේ කොටසක් ඉතිරිව පවතිනවා...වර්තමානයෙ සිදු වුණ නොඒක පිළිසකර කිරීම් සහ එකතු කිරීම් අතරින් මෙම කොටුපවුරු බිත්ති තවමත් ඉතිරිව තිබෙනවා දකින්න පුළුවන්....





ඉතින් මෙම සියලුම නටඹුන් ගත් කල කොළඹ කොටුවේ ඉතිරිව තිබෙන ස්ථාන 7ත් 9ත් අතර තිබෙන බව පැවසෙනවා...

මේ අතරින් ඔබට  පහසුවෙන් දැකිය හැකියි චෛත්‍ය පාරේ තිබෙන නටඹුන් සහ ඩෙල්ෆ්ට් දොරටුවේ කොටස්. අනෙක්වා නැරඹීමටනම් විශේෂ අවසරයකින් නාවුක හමුදා මූලස්ථානයට යායුතු අතර එය පහසු කටයුත්තක් නොවනු ඇත...
ඉතින් හැකි අවස්ථාවක , කොළඹ වීදි වලින් අප වැඩිපුර නොයන වීදි වල සැන්නගවී ඇති මෙම නටඹුන් දැක ගන්න... .

කොළඹ වීදියකදී නැවත හමුවෙමු..

- අමිල -
(ඡායාරූප මිනෝල් පීරිස් විසිනි )

Gallery




                                      (Delft gate)
උපුටා ගැනීම - http://thearchive123.blogspot.com/2018/10/14.html

Friday, November 27, 2020

 

සියවස් හතරකට වැඩි කලක් යුරෝපීය ජාතීන් තුනකට යටත්වී පැවති කොළඹ කොටුව, යටත්විජිත යුගයේ මතක අදටත් අපට ළං කිරීමට සමත් තැනක්. කොටුවට යන වැඩි දෙනෙක් ඒවා ගැන උනන්දුවක් නොදැක්වුවත් මේවායේ අතීත පුවත් විමසා බැලීම කුතුහලය දනවන වැඩක්. මේ එවැනි ගොඩනැගිලි කිහිපයක් ගැන සොයාබැලීමක්.

සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලට නම ලැබුණේ කොහොම ද?

ගොඩනැගිල්ලේ පැති පෙනුම- Lego.lk

අද අහස සිඹින ගොඩනැගිලි පිරිලා තිබුණත්, කොළඹ උසින් වැඩිම ගොඩනැල්ල ලෙස කලක් පැවතියේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල යි. එය පිහිටා ඇත්තේ මහ බැංකුවට නුදුරින්, ඉදිරිපිට චැතැම් වීදියේ. එය අයිති ශ්‍රී ලංකා මහ බැංකුවට යි. අද එහි ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය පිහිටා තිබෙනවා. මහල් හතකින් යුත්, ඉංග්‍රීසි හා ග්‍රීක රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනුණු මෙම ගොඩනැගිල්ලට 1996 මහ බැංකු බෝම්බයෙන් හානි පැමිණෙනවා. පසුව එය තාවකාලික හමුදා බැරැක්කයක් ලෙස පාවිච්චි කළ අතර යළිත් 2013 දී ප්‍රතිසංස්කරණය කර නැවත මහ බැංකුවේ භාවිතයට යොදා ගත්තා.

ගොඩනැගිල්ල පැති කිහිපයකින්- attractionsrilanka.com

මෙම ගොඩනැගිල්ල  මහජනයා වෙත විවෘත වූයේ 1914 වර්ෂයේ දී යි. එවකට ගෝලීය රක්ෂණ සමාගමක් වූ නැෂනල් මියුචුවල් ලයිෆ් ඇසෝසියේෂන් ඔෆ් ඔස්ට්‍රලේෂියා ලිමිටඩ්හි කර්යාලය පිහිටි ගොඩනැගිල්ල මෙය වුණා. කොළඔ කොටුවේ පැරණි ඔරලෝසු කණුවට යාබදව පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ඒ නිසා  සෙන්ට්‍රල් පොයින්ට් ලෙස හැඳින්වෙනවා. එම ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ “සෙන්ට්‍රල් පොයින්ට්”  ලෙස සැලකෙනවා.

ලාල් චාන්ද්ස් කඩ කාමරය පැරණිම කඩේ ද?

ලාල් චාන්ද්ස් කඩ කාමරය නමින් හැඳින්වෙන්නේ චැතැම් වීදියේ බටහිර දෙසින් පිහිටා ඇති දේශීය ශෛලියේ පැරණි ගොඩනැගිල්ලක් මෙය 1815 තරම් ඈත කාලයකට අයත්යැ යි සැලකෙනවා. පැරණි තනි මහලේ සිල්ලර කඩයක් වශයෙන් යොදාගත් ස්ථානයක්. පෙනුම ඉතා සරල යි. ඉදිරිපස පිල්කඩක් හා එය ආවරණය කිරිමට යෙදූ දැව කුලුනු 4ක් මත වහලය ඉදිවී තිබෙනවා. ඇතුළු කාමරය වෙන් කර තිබෙන්නේ දැව දොරටුවලින්. පසුකාලිනව මෙහි බිමට සිමෙන්ති යොදා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අද දකින්න ලැබෙන ලංකාවේ පැරණිම කඩය විදිහටත් මේක සලකන්න පුළුවන්.

ආනන්දෙ මුලින්ම තිබුණු ඕල්කට් නිවස

හෙන්රි ස්ටීල් ඕල්කට්- Wikipedia.org

ඕල්කට් පාරෙන් මල්වත්ත පාරට ඇතුළු වී ඇතුළු වී වරාය දෙසට යන විට දකුණට ඇති මාර්ගය මැලිබන් වීදිය යි. මැලිබන් වීදියේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වන ඕල්කට් නිවස ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන්නක්. ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයට මුල්වූ පුද්ගලයෙක් වන අමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්  ලංකාවට ආවේ 1880 මැයි 16 වැනිදා කොළඹ වරායෙන් බව සඳහන් වෙනවා. 1881- 85 අතර කාලයේ මෙම ගෙඩනැගිල්ල ඉදිව තිබෙන්නේ ඔහුට මෙරට ජීවත්වීමට යි. පසු කාලයක පිටකොටුව ඉංග්‍රිසි පාඨශාලාව ඔහු මෙහි ආරම්භ කළා. ළමුන් 20කගෙන් ආරම්භ වූ එය පසුව ආනන්ද විද්‍යාලය ලෙස මරදානේ ස්ථාපිත වුණා.

ඕල්කට් නිවස- lankadeepa.lk

පරම විඥානාර්ථ සමාගමේ මූලස්ථානය වූයේ ද මෙම ගොඩනැගිල්ල යි. අද ඕල්කට් නිවස ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ යි. ඕල්කට්තුමා පරිහරණය කළ භාණ්ඩ මෙහි සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. පහත මාලය ආරුක්කු සහිත කොරිඩෝරයක්, ඩොරික් ශෛලියේ කුලුනුවලින් යුක්ත යි. ඉහළ මාලයට යාමට දැව තරප්පු පෙළක් තනා තිබෙනවා. පහත මාලය කාමර කිහිපයක් සහිත යි. ඒවා සමාගමේ මුද්‍රණාලය ලෙස මුල දී භාවිතා කර තිබෙනවා. පසුකාලීනව මෙම කාමර කඩ කාමර ලෙස භාවිත කළත් පුරාවිද්‍යා ස්මාරයක් කිරීමෙන් පසු ඒවා ඉවත්කර තිබෙනවා.  ඕල්කට් නිවස ගොඩනගන්නට යොදාගෙන ඇත්තේ කබොක්ගල් හා ගඩොල්. මෙය ඉදිකිරීමට  තේක්ක, නැදුන්, කොස්  යන දැව භාවිත කර තිබෙනවා. 1929 දී පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ කටයුතු සඳහා මෙයට යාබදව බෞද්ධ මන්දිරය නමින් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසා මෙහි භාවිතය අඩුවුණා.

ආභරණ විකුණූ ගෆුර්  ගොඩනැගිල්ල

ගොඩනැගිල්ල 1900 දී - lankapura.com

ලේඩ්න් බැස්ටියන් මාවතට යාවන පරිදි  බාරොන් ජයතිලක මාවතේ පිහිටි අලංකාර ගොඩනැගිල්ලක්. මෙය ඉදිවුණේ 1907 දී යි. එක් පැත්තක දිග මීටර් 100ක්. මුලින්ම මෙම ගොඩනැගිල්ලේ එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ සංචාරක හා ආගමික පතපොත ප්‍රකාශනය සිදුවුණා. ක්‍රීඩා භාණ්ඩ, සංගීත භාණ්ඩ, පිඟන් හා වීදුරු අලෙවියත් මෙහි සාප්පුවල සිදුවුණා. පසුව ගොඩනැගිල්ල  ලංකාවේ ප්‍රකට මැණික් හා රන්ආභරණ ව්‍යාපාරිකයකු වන අබ්දුල් ගෆුර් විසින් මිලට ගෙන නවීකරණය කළා. ඊට පසු ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා මෙය යොදාගත්තා.  

මෙය වර්ෂ 2000 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්ව තිබෙනවා. පසුගිය දා කොළඹ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම යටතේ දිරාපත්ව තිබූ මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කෙරුණා. එහි කාමර 70ක හෝටලයක් ආරම්භ කිරීමට යෝජිත යි. ඒ සඳහා රු. මිලියන 620ක් වෙන්කර ඇති බව සඳහන්.

මෑතක දී ගෆුර් ගොඩනැගිල්ල - Wikipedia.org

ත්‍රිකෝණාකාර සැලසුමකට අනුව තැනූ මෙම ගොඩනැගිල්ල ඉදිරිපස මුදුනේ බුබුලාකර ශිඛරයකින් යුක්ත යි. ප්‍රධාන මහල් හතරකින් යුත් ගොඩනැගිල්ල ශිඛරය හා බැඳුණු කවාකාර කුටියකින් සමන්විත යි. අඩකව, ආරුක්කු සහිත කවුළු, කොරිඩෝර හා විශාල ජනේල ගොඩනැගිල්ලට ප්‍රෞඪ පෙනුමක් ගෙන දෙනවා.

කාගිල්ස් - මිලර්ස් ගොඩනැගිල්ලේ කතා

කාගිල්ස් ගොඩනැගිල්ලේ පැරණි සේයාරුවක් -  lankapura.com

යෝක් වීදිය සහ බාරොන් ජයතිලක මාවතට යාබදව පිහිටි ආරුක්කු රැසකින් සහ පුළුල් කොරිඩෝරයකින් යුත් රතු පැහැති දෙමහල් ගොඩනැගිල්ල කොටුවේ පුරාණ ගොඩනැගිලි අතර කැපී පෙනෙනම තැනක්. ලංකාවට පැමිණි විලියම් මිල්නේ නම් ව්‍යාපාරිකයා මෙම ස්ථානයේ තිබූ ඕලන්ද ගොඩනැගිල්ලක් කඩා ඉවත්කර 1844 දී නව ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඔහු එහි තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහි අයිතිය 1896 දී ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් සයිම් කාගිල්ට පවරා දුන් අතර, ඊට පසුව ලොව පුරා ප්‍රකට කාගිල්ස් සමාගම එහි ආරම්භ කළා. කොළඹ වරායෙන් ගොඩබසින මඟීන් සහ කොළඹ ජිවත්වූ ධනවත් ජනතාව ඉලක්ක කර ඹෟෂධ, ඇඟලුම්, පාවහන්, කුඩ, දුම් පයිප්ප ඇතුළු සිල්ලර භාණ්ඩ වෙළෙඳාම මෙහි පවත්වාගෙන ගොස් තිබෙනවා. දැනට දක්නට ලැබෙන ගොඩනැගිල්ල මෙහි ඉදිකළේ 1902- 04 අතර කාලයේ දී යි. පුනරුද ශෛලියේ සැලසුමකට අනුව එය සැලසුම් කළේ එඩ්වඩ් ස්කීන් විසින්. ගොඩනැගිල්ල ඉදිකළේ වෝකර්ස් සමාගම යි.

කාගිල්ස් ගොඩනැගිල්ල අද පවතින ආකාරය- smritidanielcom

1907 දී මෙම ගොඩනැගිල්ලට යාකර තවත් ගොඩනැගිල්ලක් ඉදිවුණා. එයත් ස්කීන්ගේම සැලසුමකට අනුව යි තැනුණේ. විලියම් ක්‍රැමන්ඩ් මිලර්ට අයිති වූ එහි මිලර්ස් සමාගම ආරම්භ කළා. එහි පිටරටින් ගෙනා ආහාර ද්‍රව්‍ය සහ රටබීම අලෙවි කෙරුණා. පසුව වීදුරු බඩු අලෙවියත් මිලර්ස් සමාගම ආරම්භ කළා.

1946 දී දේශීය ව්‍යාපාරික චිත්තම්පලම් ඒ. ගාර්ඩ්නර් මෙම ව්‍යාපාරය මිලට ගත් අතර කාගිල්ස් නමින්ම සිල්ලර බඩු ව්‍යාපාරයක් ලෙස අදටත් එය පවත්වාගෙන යනවා. ඉදිරිපස බිත්තිවල අර්ධ කවාකාර ඩෝම සහිත විසිතුරු මල්, ලියවැල්, හා සිමෙන්ති බිරළු සහිත ඉංග්‍රිසි ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන ආකර්ශනීය ගොඩනැගිල්ලක්. චතුරස්‍රාකාර ජනේල 50කට අධික සංඛ්‍යාවක් මෙහි අලංකාරත්වය ඉහළ නංවනවා.

පෙරදිග හොඳම ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය

1900 දී පමණ හෝටලය අවට දැක්වෙන පින්තුර පතක්- hippostcard.com

පෙරදිග ඉදිවූ ප්‍රථම ඉහළ පන්තියේ හෝටලය ලෙස සැලකෙන්නේ යෝක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යි. මුලින්ම 1832 දී ඉදිවූ මෙම ගොඩනැගිල්ල 1837 දී බ්‍රිතාන්‍ය හමුදා බැරැක්කයක් ලෙස භාවිත වුණා. එය 1873 වඩාත් විශාල කර නවීකරණයකින් අනතුරුව හමුදා නේවාසිකාගාරයක් බවට පත් කෙරුණා. පසුව එය හෝටලයක් බවට පත් කිරීමට තීරණය කෙරුණා. ඒ සඳහා ගොඩනැගිල්ල විශාල කර නවීකරණය කිරීමට පවුම් 1868ක් වැයවූ බව සඳහන්. හෝටලයේ සැලැස්ම ජේ. ජී. ස්මිදර්ගේ වන අතර ඉදිකළේ රැල්ෆ් මැක්ඩොනල්ඩ් සමාගම යි. එය කොළඹ වරායෙන් මෙරටට පය තබන සංචාරකයන්ගේ පළමු නවාතැන වුණා. 

1875 නොවැම්බර් 5 දා හෝටලය නිල වශයෙන් විවෘත වුණා. එය නවීන පහසුකම් සපිරි හෝටලයක් ලෙස එංගලන්තයේ පවා ප්‍රචලිත වුණා. පසුව 1912 සහ 1924 වර්ෂවල ද එහි ප්‍රතිසංස්කරණ සිදුවුණා. එවකට වරාය මඟී පර්යන්තයේ සිට කෙළින්ම හෝටලයට පැමිණිය හැකි පරිදි මාර්ගයක් විවෘතව පැවතියා. නමුත් අවට උස් ගොඩනැගිලි ඉදිවීම නිසා අද වරාය දර්ශනය වන්නේ හාබර් රූම් නම් ස්ථානයට පමණ යි. රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් 1890 නොවැම්බරයේ ලංකාවට පැමිණි අවස්ථාවේ නවාතැන් ගෙන ඇත්තේ මේ හෝටලයේ යි. ඔහු නවාතැන් ගත් කාමරය අදත් දැකගත හැකියි.

ඇන්ටන් චොකොෆ් කාමරය අද දිස්වන අයුරු- Wikipedia.org

හෝටලය පිළිබඳ පින්තූර කාඩ්පත් මුද්‍රණය කරවා රට රටරටවලට පුරා බෙදාහැර ඇති අතර ඒ ගැන දැන්වීම් ද ප්‍රචාරය කර තිබෙනවා. මේ එවන් දැන්වීමක් කොටසක්:

කොළඹට පැමිණෙන අමුත්තන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ නවාතැන් ගත යුතු ය. 

එය ලෝකයම හඳුන්වන්නේ GOH යනුවෙනි. 

නවීන කාණු පද්ධති

නිදන කාමර සහ නාන කාමරවලට උණු සහ සීත ජලය. විදුලියෙන් ක්‍රියාකරන පංකා, පොත් කියවීමේ සහ  චිත්‍ර ඇඳීමේ කාමර, සෑම දිනකම සංගීත කණ්ඩායමක නාද සංධ්වනි විශේෂාංග කිහිපයක් පමණ යි.

පෙරදිගකරයේ හොඳම හෝටලය (https://www.grandoriental.com/history)

හෝටල ගොඩනැගිල්ල-  lankapura.com

1907 දී හෝටලයේ යුගල කාමරයක් රු. 6ක් වූ අතර උදේ ආහාරයට අමතර රු. 2ක් අයකරනු ලැබුවා. පැයක නගර සංචාරයකට කරත්තයට අය කළ මුදල රු. 1ක්. මෙය වර්ෂ 2000 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරයක් ලෙස නම් කෙරුණා.

පැරණිම පාර්ලිමේන්තුව තිබූ ජනරජ ගොඩනැගිල්ල

ජනරජ ගොඩනැගිල්ල ඉංග්‍රීසි යුගයේ- hippostcard.com

අපේ  රාජ්‍ය සභාව හෙවත් පාර්ලිමේන්තුව සුද්දගෙ කාලෙ මුලින්ම තිබුණු තැන තමයි කොටුවේ ජනාධිපති මාවතේ කෙළවර පිහිටා තිබෙන ජනරජ ගොඩනැගිල්ල. තරමක් දිගටි දෙමහල් ගොඩනැගිල්ල ඉංග්‍රීසි ගෘහනිර්මාණ ශිල්පය සිහිපත් කරනවා. ඉංග්‍රීසින් විසින් 1860 දී එවකට පැවති පැරණි ඕලන්ද ගොඩනැගිල්ලක් ඉවත් කිරීමෙන් පසු යි මෙය ඉදිකර තිබෙන්නේ. ඒ, බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් කාර්යාලය ලෙස යි. පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර කාර්යාලය, ජාතික රාජ්‍ය සභාව, අග්‍රාමාත්‍ය කාර්යාලය, විගණකාධිපති කාර්යාලය, රාජ්‍ය ලේඛනාගාරය වැනි ආයතනත් විදේශ කටයුතු අමාත්‍යාංශය,  ආරක්ෂක අමාත්‍යාංශය වැනි අමාත්‍යංශත් මෙහි පවත්වාගෙන ආවා. 1948 දී මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට ලක්කරනවා. මැදින් පෝටිකෝ දෙකක් ද දෙපසින් දිගු කොරිඩෝ දෙකක් ද වන සේ ජනරජ ගොඩනැගිල්ල සැලසුම් කර තිබෙනවා.

1933 දී ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකළ පසු ජාතික රාජ්‍ය සභාව එයට ගෙන ගියා. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වන අවස්ථාවේ සෙනෙට් කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාලය ආදී ජනරජ පරිපාලන ගොඩනැගිලි මෙහි පවත්වාගෙන ගිය නිසා එය ජනරජ ගොඩනැගිල්ල නමින් හැඳින්වුණා. ‍

උපුටා ගැනීම - https://roar.media/sinhala/main/history/stories-of-the-old-ceylon-colombo-fort


Sunday, November 22, 2020

කොටුව දුම්රිය ස්ථානය ඉදිරියෙන් ගාලු ගිය ගාලු කුමාරී

 කොටුව දුම්රිය ස්ථානය ඉදිරියෙන් ගාලු ගිය ගාලු කුමාරී

Floating Market අසල අතහැර දැමූ දුම්රිය පාලම
===================================
පිටකොටුවේ ඇවිදින ඔබට එහි මෑතක ඉදිකරන ලද පාවෙන වෙළදපොල (floating market) අසල අතහැර දැමූ දුම්රිය පාලමක් දැකගත හැකිය. වසර සියයකටත් එහා ගිය ඉතිහාසයක් මේ කුඩා දුම්රිය පාලමට තිබෙන නමුත් බොහෝ දෙනා මේ පාලම ගැන නොදනිති. එක්කෝ එතරම් අවධානයක් යොමුකරන්නේ නැත.
මේ පාලමේ ඉතිහාසය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉතිහාසයටත් වඩා පැරණිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය 1911-17 අතර කාලය තුල සාදන ලද අතර එය විවෘත වූයේ 1917 මාර්තු 04 වෙනිදාය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය හදා ඇත්තේ බේරේ වැවේ විශාල පෙදෙසක් ගොඩකරනු ලැබීමෙන් පසු ඒ මතය.අද දකින මේ කොටුව දුම්රිය ස්ථානය හදන්නට පෙරද ‘කොටුව“ නමින් හදුන්වන ලද වෙනත් දුම්රිය ස්ථානයක් තිබුණි. එය තිබුණේ පිටකොටුවේ ඕල්කට් මාවත අද්දර දැන් මැනිං මාර්කට් එක තිබෙන ඉඩමේ කොටසකය. මරදානේ පාලම යටින් කොටුව පැත්තට යන දුම්රිය මාර්ගය එදා තිබුණ විශාල බේරේ වැව හමුවත්ම දකුණට හැරී එහි ඉවුර දිගේ ගොස් ඕල්කට් මාවතට සමාන්තරව දිව යන සේ එදා සකස්කර තිබුණී. මුහුදුබඩ දුම්රිය මාර්ගය ලෙස එදා හැදින්වූයේ එයයි. ඒ දුම්රිය මාර්ගය දිවගියේ අද තිබෙන කොටුව දුම්රිය පලේ ඉදිරිපසිනි. හරියටම කිවහොත් දැන් තිබෙන කොටුව දුම්රිය පලේ වාහන නවතන රථගාල මතිනි. මා මේ කියන දුම්රිය පාලම ඒ පැරණි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හමුවූ පළමුවෙනි පාලම ය.


අද තිබෙන කොටුව දුම්රිය ස්ථානය හැදීමෙන් පසුව ඒ පැරණි දුම්රිය මාර්ගය භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ගොඩකරන ලද බේරේ වැවෙහි කොටසක් මත නව දුම්රිය මාර්ගයක් සෑදූහ. මේ කියන පාලමෙන් එහාට (කොටුව දෙසට) තිබූ පැරණි දුම්රිය මාර්ගයේ කොටසක් ඉවත් කර එහි ‘කොළඹ දොඹකර අංගනය“ (colombo crane yard) සකස්කරන ලදී. විවෘත වැගන් වල කොළඹින් පිටතට ගෙනයන අතින් පැටවිය නොහැකි තරමේ බරින් යුත් බඩු එකල පැටවූයේ වාෂ්ප දොඹකර මගින් colombo crane yard එක තුල දීය. 1970 දශකයේ අග භාගය තෙක් මේ පාලම මතින් වැටීතිබූ දුම්රිය මාර්ගයෙන් colombo crane yard එක වෙත දුම්රිය යාම ඊම විය.
විවෘත ආර්ථිකයේ ආගමනයත් සමග දුම්රිය භාණ්ඩ ප්රවාහනයෙන් ඉවත්වූ අතර කොළඹ දොඹකර අංගනය වසා දමන ලදී. ඒ සදහා මේ පාලම මතින් ඉදිකර තිබූ සියවසකට එහා ඉතිහාසයක් ඇති පැරණි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අවසන් කොටසද ඒ හා සමගම ගැලවී ගියේය. එදා දුම්රියට අයත්ව තිබූ කොළඹ දොඹකර අංගනය (colombo crane yard) අද බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පල බවට පරිවර්තනය වී තිබේ.
(ෆ්ලෝටින් මාකට් හි ඡායාරූපයේ කොළ පැහැ කවයෙන් දැක්වෙන්නේ ඉපැරණි දුම්රිය පාලමයි. සිතියම් දෙක 1909 සහ 1960 වර්ෂයන්ට අයත්ය. ඒවායේ පාලම ඇති තැන රතු තිත මගින් දක්වා ඇත.)
(උපුටා ගැනීම නලින් අබේසිංහ මහතාගේ ලිපියකින් ..)



උපුටා ගැනීම - Facebook

Friday, November 6, 2020

ශ්‍රී ලංකාවේ පළමු නගර සභාව සහ නගර ශාලාව

 

ශ්‍රී ලංකාවේ පළමු නගර සභාව සහ නගර ශාලාව


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක් ස්ථාපිත වූයේ මීට අවුරුදු 152 කට පෙරය. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් ප්‍රථම වරට මහජන මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීමටත් අවුරුදු 45 කට කලිනි. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ 1911 දීය. මුල් රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත් වුණේ 1931 දීය. මුල්ම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුණේ 1947 දීය. එබැවින් පළාත්පාලන ක්‍රමයක් පළාත් පාලන ඡන්දයත් බොහෝ වැඩිමහල්ය.

 

මෙරටට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාව මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1865 සිට 1872 දක්වා ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ සර් හර්කියුලස් පී. ආර්. රොබින්සන් විසිනි. ආණ්ඩුකාරවරයා නිල බලයෙන් එවක පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ද විය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සෙසු සාමාජිකයන් වූයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරයා විසින්ම පත්කර ගන්නා ලද තවත් කීප දෙනෙකු පමණි.


ආණ්ඩුකාරවරයාගේ අදහස වූයේ නගරයේ පවිත්‍රතාව ජල සම්පාදනය සෞඛ්‍ය සංරක්ෂණය ආදී අවශ්‍යතා ක්‍රමවත්ව මෙහෙයවීම උදෙසා පාලන මණ්ඩලයක් පත් කිරීමත් එකී සේවා පවත්වාගෙන යෑම නගරවාසී ජනතාවක් බදුවලින් සිදු කළ යුතු බවත්ය.


1865 මෙරටට පත්ව ආ රොබින්සන් ආණ්ඩුකාරවරයා ඒ වර්ෂයේ ඔක්තෝබර් මාසයේම මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් මෙය ඔහුගේ මුල් කර්තව්‍යයෙන්ගෙන් එකක් වූ බව පෙනේ. 1865 නොවැම්බර් මාසයේ මේ යෝජනාව දෙවැනි වර කියැවීමෙන් පසු සම්මත කර ගැනුණි.

 

 


ඒ අනුව 1866 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ මහනුවර නගර සඳහා නගර සභා දෙකක් ස්ථාපනය කෙරිණි. එයින් ද ප්‍රථමයෙන් ඡන්දය විමසන ලද්දේ කොළඹ නගර සභාවටයි. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර සභාව කොළඹ නගර සභාව විණි. කොළඹ නගරය කොට්ඨාස නවයකට බෙදා ඒ ඒ කොට්ඨාසය සඳහා දිසාපතිවරයා විසින් කොළඹ කචචේරියේදී නාම යෝජනා භාර ගන්නා ලදී. කොළඹ නගරයේ බදු ගෙවන නගරවාසීහු ඡන්ද දායකයෝ වූහ. කොළඹ කච්චේරියේ දී ඔවුන්ගේ කැමැත්ත විමසා වැඩි දෙනාගේ කැමැත්ත පරිදි කොට්ඨාසවලට නියෝජිතයන් පත් කර ගැණුනි. ඒ අනුව කොට්ඨාස නවයට පත් කර ගත් සභිකයෝ මෙසේ වූහ.


1. කොටුව ජේ. ඩබ්. වෑන්

2. පිටකොටුව ජේ. ඩබ්. වෑන් ගයිසල්

3. සාන්ත බස්තියම ඇස්. ජේ. ද සේරම්

4. සාන්ත පාවුලු ඇස් තම්බයියා

5. කොටහේන සී. ඒ. ලෝරන්ස්

6 අලුත්කඬේ ජේම්ස් ද අල්විස්

7. මරදාන ඇම්. සී. ලෝස්

8. කොම්පඤ්ඤවීදිය වීලිස් පොර්ඞ්

9. කොල්ලුපිටිය එල්. සී. ප්‍රදිනන්දස්

 

මේ හැර නිලධාරීන් පස් දෙනෙක් ද නගර සභා නියෝජිත මණ්ඩලයට ඇතුළත් වූහ.


1. සී. වී. ලෙයාර්ඞ් බස්නාහිර පළාත් දිසාපති

2. දොස්තර චාර්ල්ස් වෛද්‍ය නිලධාරී

3. මාර්ග කොමසාරිස්/ ඉංජිනේරු ඉඩම්

4. උප නිීතිපති/ මිනින්දෝරු - ග්‍රීන් හේලීස්

5. සභා ලේකම් - සැමුවෙල් ග්‍රෙනියර්


කොළඹ නගර සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ මහජන නියෝජිතයකු නොව බස්නාහිර දිසාපතිවරයා වූ සී. පී. ලෙයාර්ඞ්ය.


1866 ජනවාරි 16 වැනිදා මංගල රැස්වීම පැවැත්වීමෙන් කොළඹ නගර සභාවේ වැඩ කටයුතු පටන් ගැණුනි. කොළඹ කච්චේරියේ පැවැති මේ ප්‍රථම රැස්වීමේ දී සාකච්ඡාවට ගැනුණු වැදගත් කාරණයක් වූයේ නගර සභා කටයුතු පවත්වාගෙන යෑමට විධිමත් නගර ශාලාවක ඇති අවශ්‍යතාවයි.


එයින් පසු නගර සභාව සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සපයා දෙන ලෙස ලංකාණ්ඩුවෙන් සභාව විසින් ඉල්ලා සිටින ලද නමුත් ඒ ඉල්ලීම් සාර්ථක නොවිණි. ඒ නිසා සභාවට යෝග්‍ය වන ආකාරයේ ගොඩනැගිල්ලක් ඉදිකර ගත යුතු යැයි සභාව විසින්ම යෝජනා සම්මත කර ගන්නා ලදී.


ඒ සඳහා කොළඹ පිටකොටුවෙන් තෝරා ගන්නා ලද භූමි භාගය ජලාශ්‍රිත එකක් විය. එය සාන්ත ජෝන් ඇළ මාර්ගය සමග පිහිටා තිබුණි. එබැවින් එකී භූමිය පස් පුරවා අලුතෙන් සකස් කර ගත යුතු විණි. ඒ අනුව ගොඩනැගිල්ල ඉදිකිරීම පිණිස සැලසුම් සහ ඇස්තමේන්තු කැඳවිමට කටයුතු කෙරිණි.


ඉදිරිපත් වූ සැලසුම් අතුරින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පී. බර්මන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ සැලැස්ම නගර සභාව විසින් පිළිගන්නා ලදී. ඒ සැලැස්ම වෙනුවෙන් බර්මන් මහතාට ගිනි පනහක ගෙවීමක්ද සිදු කෙරිණි. කලානුරූපී අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස පෙණුන ද ඊට වැය වන අධික වියදම ගැන සලකා බැලු සභාව ඒ සැලසුම අතහැර දැමීමට තීරණය කළ බැවින් නගර ශාලාවක් ඉදිකිරීමේ කාර්යය කල් ගියේය.
එහෙත් නොබෝ කාලකින්ම ඒ යෝජනාව යළි ඉස්මතු විය. එබැවින් නැවත සුදුසු සැලසුම් පිළියෙල කරවීමට කටයුතු කෙරිණි. 1868 දී ඉදිරිපත් වූ නව සැලසුම් අතුරින් බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී ජේ. පී. ස්මිතර් විසින් ඉදිරිපත් කළ සැලසුම පිළිගැනීමට තීරණය විණි. ඓතිහාසික අගයෙන් යුක්තව අභිමානවත් ගොඩනැගිල්ලක් ලෙස අදත් කොළඹ පිටකොටුව නගර මධ්‍යයේ පිහිටා තිබෙන පැරැණි නගර ශාලාව ඒ සැලසුම අනුව බිහි විණි.
නගර ශාලාවේ පිහිටීම අනුව එහි ඉදිරිපසින් පිහිටා තිබුණේ සාන්ත පාවුලු දේවස්ථානයයි. එය පෘතුගීසි යුගයට නෑකම් කී එකක් වූ අතර ඒ වන විට ද එකී දේවස්ථානයට සම්බන්ධිත බොහෝ දෙනා එවක ශේෂව සිටි පෘතුගීසීහු වූහ. නගර ශාලාව පිටු පසින් පිහිටියේ එඩින්බරෝ පොදු වෙළෙඳ පොළයි. 1870 දී එය එඩින්බරෝ පොදු වෙළෙඳ පොළයි. 1870 දී එය එඩින්බරෝ ආදිපාදවරයා විසින් මුල්ගල් තබා ආරම්භ කරන ලද්දක් වූ හෙයින් ඒ නමින් හැඳින්විණි.


නගර ශාලා ගොඩනැගිල්ල දෙමහලකින් සැදුම් ලදුව ඉදිවිණි. උඩුමහලෙහි පිහිටි රැස්වීම් ශාලාව දිගින් අඩි 58ක් ද පළලින් අඩි 25 ක්ද වූ වපසරියකින් යුක්ත විණි.

උඩුමහලේ පිහිටි සභා කාර්යාලය අඩි 25ං21 ප්‍රමාණයෙන්ද ඊට යාබද විශ්‍රාම ශාලාව අඩි 21ං18 ප්‍රමාණයෙන්ද යුක්ත විණි. පහත මහල සුවිසල් ආලින්දයකින් ද පුළුල් බරාදයකින් සමන්විත වූ අතර නාගරික උසාවිය පිහිටියේද පහත මහලයේය. උසාවිය දෙපස බරාද පමණක් අඩි 21-7 ප්‍රමාණයේ විය. ගොඩනැගිල්ලේ දොර ජනේල විවිධ කැටයම් සහිත නිමැවුවෙන් චිත්තාකර්ෂණීයව සකස් විණි. මෙකී දැව භාණ්ඩ නිර්මාණය ද ස්ටිකරයේ සැලසුම් පරිදි විණි. මන්දිර අංගණය ද ප්‍රධාන දොරටුව ද ශෝභාමත්ව සැකසුණි.


මෙසේ අංගසම්පූර්ණව නිමැවුණු නගර ශාලා ගොඩනැගිල්ල සඳහා එවක ඇස්තමේන්තු ගත මුළු වියදම පවුම් 7,000ක් විය. 1873 දී මේ නගර ශාලා ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ඒ වන විට ලංකාණ්ඩුවරයාණන් ලෙස පත්ව සිටි සර් විලියම් ග්‍රෙගරි විසිනි.


1873 සිට 1928 දක්වා අවුරුදු 55 ක් පුරා කොළඹ නගර සභාව ලෙස භාවිත වූයේ පිටකොටුවේ පිහිටි මේ ගොඩනැගිල්ලයි. 1928 දී කොළඹ හතේ වික්ටෝරියා උද්‍යානය (වර්තමාන විහාර මහාදේවී උද්‍යානය) නුදුරේ කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිකෙරෙන තුරු කොළඹ නගරයේ සකල නාගරික පරිපාලන කාර්යයන් සිදු වූයේ පිටකොටුවේ මේ නගර සභා ගොඩනැගිල්ල තුළය.


1928 න් පසු විවිධ කාර්යයන් උදෙසා භාවිතයට ගැනුණු පැරැණි නගර සභා ගොඩනැගිල්ල පසු කාලයක අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරී ‘බැසට් වෙළෙඳ පොළ’ බවට පත්විය. 1984 දී එවක රජය විසින් යළි මේ පැරැණි මන්දිරය කොළඹ මහ නගර සභාව වෙත පවරන ලදී. කොළඹ නගර සභා ඉතිහාසය පමණක් නොව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ ද ඉපැරණි දෘශ්‍යමාන සංකේතය ලෙස අදත් කොළඹ පිටුකොටුවේ මේ පැරැණි නගර සභා ගොඩනැගිල්ල අභිමානවත් දර්ශනයක් සේ දැකිය හැකිය.


ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ
හිටපු නාගරික ලේකම්

කොළඹ යුගයේ කවියෝ ගැන දැනගනිමු

 

කොළඹ යුගයේ කවියෝ ගැන දැනගනිමු!

අපේ අපේ ඉතිහාසය ගැන ඉගෙන ගනිද්දි රටේ එවකට පැවති අගනුවර අනුව අපි කොටස්වලට බෙදා ගන්නවා. උදාහරණයක් විදිහට අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය ආදී වශයෙන්. හැබැයි  ලංකාවේ අගනුවර කොළඹට, එහෙමත් නැත්නම් හරියටම කියනවා නම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට මාරු වුණු මේ කාලේ ගැන කතා කරද්දි අපි කොළඹ යුගය හෝ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දෙවැනි යුගය කියලා සඳහන් කිරීමක් කරන්නේ නැහැ.

හැබැයි සාහිත්‍යය ඉතිහාසය ඉගෙන ගනිද්දි අපි කොළඹ යුගය ගැන කතා කරනවා. මෙහෙම කොළඹ යුගය කියලා සාහිත්‍යය ඉතිහාසයේ දී මේ යුගය විශේෂ කරන්න එක හේතුවක් තියෙනවා. ​ඒ තමයි එතෙක් කල් සම්භාව්‍ය සාහිත්‍යය හැදෑරීමට පමණක් සීමා වෙලා තිබ්බ අපේ අධ්‍යාපන රටාව බටහිර අධ්‍යාපනයේ ආභාෂය ලබමින් වෙනස් වීම නිසා අලුත් සාහිත්‍යයක් අපේ රටේ ගොඩනැගීම.

මේ නිසා එච්චර කල් ජාතක කතා, බුදු ගුණ ආදිය පමණක් විස්තර කිරීමට තිබූ කවිය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ නිසා කොළඹ යුගයේ කවිය නමින් විශේෂයෙන් මේ කවි සම්ප්‍රදායය හඳුන්වනවා. ඇතැම් අය මේ කොළඹ යුගයේ කවියන්ව කොළඹ යුගයේ පළමු පරපුර, කොළඹ යුගයේ දෙවැනි පරපුර ආදි වශයෙන් පරම්පරාවලටත් බෙදා වෙන්කරනවා. අපි අද මේ ලියන සටහනේ අරමුණ නම් ඒ වගේ දීර්ඝ විස්තරයක් නෙමේ, අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කොළඹ යුගයේ කවීන් කීප දෙනෙක් ගැන මතකය ඔබට ගෙන එන්​න.

1. විමලරත්න කුමාරගම

අවුරුදු 43ක කෙටි ආයු කාලයක් ගත කරපු විමලරත්න කුමාරගම අපේ සාහිත්‍ය ලෝකයේ අමරණීය චරිතයක්. කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවියෙක් විදි​හට සලකන්න පුළුවන් ඔහු ඉපදුණේ උඩරට වංශවත් පවුලක. නමුත් රාජ්‍ය සේවයට බැඳිලා ඩී. ආර්. ඕ කෙනෙක් විදිහට ඔහු අනුරාධපුරය, මහියංගනය වගේ දුෂ්කර පළාත්වල සේවයට ගියා. එහිදී ඔහු ආශ්‍රය කළේ නූගත්කමින්, නිලධාරීවාදයෙන්, අඩු පහසුකම්වලින් වගේම ස්වභාවධර්මයෙනුත් පහර පිට පහර කමින් ජීවිතය ගැටගහගන්න උත්සාහ කරපු ගැමියන්ව. මේ නිසා ඒ ගැමියන් පිළිබඳ ඔහුගේ අත්දැකීම් ඔහු කවියට නැගුවා. කුමාරගමගේ “හේරත් හාමි”, “අයියනායක” වගේ කවි පන්ති අපේ පාසල් පෙළ පොත් වලට පොත්වලට ඇතුළත් වීම නිසා ඔහුව වඩාත් අපේ පරම්පරා වලට සමීප වුණා.

2. මීමන ප්‍රේමතිලක 

ලංකාවේ තමන්ගේ ගම තමන්ගේ නමට ​ඈ​ඳ ගන්න පිරිස් දෙවර්ගයක් ඉන්නවා. එක වර්ගයක් තමයි ස්වාමීන් වහන්සේලා, අනිත් වර්ගය තමයි කොළඹ යුගයේ මුල්කාලීන කවියෝ. මීමන ප්‍රේමතිලක නිසා හොරණ මීමන ගම ලංකා​වේම ප්‍රසිද්ධ වුණා. එක්තරා ලිපි රචකයෙක් මී බඳු මනසක් ඇති බැවින් මීමන කියලත් මීමන ගේ නම ගැන විස්තර කරලා තියෙනවා, ඒ මීමන ප්‍රේමතිලකගේ ස්වභාවය නිසා. එවකට සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වෙලා හිටපු මාර්ටින් වික්‍රමසිංහ, මීමනව සිළුමිණට හඳුන්වා දුන්නා. සිළුමිණේ පත්තර රස්සාව නිසා මීමනගේ දක්ෂතා තවත් ඔපමට්ටම් වුණා. විශේෂයෙන් විදේශීය කවියන්ගේ කෘති ඇසුරු කරමින් සොහොන් බිම, කිරිහාමි වගේ කවි පොත් රාශියක් රචනා කරන්න ඔහු සමත් වුණා. ඒ අතරින් පාළුගම ඔහුගේ විශිෂ්ටතම කෘතිය විදිහට බොහෝ දෙනෙක් සලකනවා. මීමනත් කුමාරගම වගේම අවුරුදු 50 පිරෙන්න කලින්, ඒ කියන්නේ අවුරුදු හතළිස් හතේදී තමන්ගේ ජීවිතයට සමු දුන්නා.

3. සාගර පලන්සූරිය 

සුදෝසුදු සහ සාගර පලන්සූරිය කියන නම එකිනෙකාගෙන් වෙන් කරන්න බැරි තරමට සමීපයි. දිළිඳු පවුලක උපත ලබපු මේ කවි‍යගේ උප්පැන්නෙ තිබ්බ නම වුණේ ඩිංගිරි බණ්ඩා. පවුලේ ඇතිවුණු අඟහිඟකම් නිසා ඔහු මහණ දම් පුරන්න පටන් ගන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අරමුණින්. ඉන්පසුව ශාන්ති නිකේතනයට යන ඔහු නැවතත් ලංකාවට ඇවිල්ලා නැවත වතාවක් මහණ වෙනවා, නැවතත් උපැවිදි වෙනවා.

දේශපාලනයට පිවිසෙන ඔහු 1956 දී හොරණ මන්ත්‍රීවරයා බවටත් පත්වෙන්න වාසනාව ලබනවා. නමුත් උගුරේ ඇති වන ආබාධයක් හේතුවෙන් මැදි වයසේ දී ඔහු ජීවිතයෙන් සමු ගන්නවා. නමුත් අපි කලින් කිව්වා වගේම සුදෝසුදු, විසිවුණු තරු, මල්හාමි වගේ කවි පොත් නිසා සාගර පලන්සූරිය තවමත් අපි අතර ජීවත් වෙනවා.

4. ආනන්ද රාජකරුණා

 

රෝස මලේ නටුවෙ කටු

 වන බඹරෝ ඔහොම හිටූ 

නටුව නොවේ මල සිඹිමී

 මම ළමයෝ පැණි උරමි

මේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් කියවපු, තාමත් කට පාඩම් තියෙන කවියක්. මේ කවිය අපි හැමෝම දන්නවා වුණාට මේ කවියේ රචකයා ගැන නම් දන්නේ නෑ. මේ කවියේ රචකයා තමයි ආනන්ද රාජකරුණා මහත්මයා. ‘හඳ’, ‘ගඟ’, ‘තාරකා’, ‘ගේ කුරුල්ලෝ’ වගේ පද්‍ය පන්ති හරහා ආනන්ද රාජකරුණා මහත්මයා කුඩා ළමයින්ට ඉතා සමීප වුණා. ගැමි වහරෙන් උකහා ගත්ත රසවත් ​බව එතුමාගේ කවිවලින් ගලා ගියා. ඇතැම් අවස්ථාවලදී  නම් එතුමා තමන්ගේ කවිය බටහිර ගැති සිංහලයන්ව උපහාසයට ලක් කරන්නත් යොදා ගත්තා .

5. එච්. එම් කුඩලිගම 

පී. බී ෂෙලී ලෝක ප්‍රකට ඉංග්‍රීසි ජාතික කවියෙක්. ඔහු තමන්ගේ කාව්‍ය රචනා වලට ප්‍රධාන වශයෙන් වස්තු විෂය කරගත්තේ ස්වභාවික සෞන්දර්යය. කොළඹ යුගයේ ස්වභාවික සෞන්දර්යය වර්ණනා කරමින් කවි ලියූ විශිෂ්​ටතම කවියා විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ කුඩලිගමව. මේ නිසා එච්. එම් කුඩලිගමව ඇතැම් අය සිංහල ෂෙලී විදිහටත් හඳුන්වනු ලබනවා. ‘ඈ’, ‘කුණාටුව’, ‘එකමත් එක රටක’ වගේ කවි පොත් කීපයක් රචනා කරපු කුඩලිගම එවකට ජනප්‍රියව පැවැති කවි සඟරා වෙනුවෙනුත් කවි රචනා කළා. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය පුවත්පත්වල තමන්ට ලැබුණු තීරු ලිපි පවා ඔහු රචනා කළේ කවියෙන්.

6. පී  බී අල්විස් පෙරේරා 

පී. බී අල්විස් පෙරේරා ගේ කවි කියවන ගොඩක් දෙනෙක් හිතන්නේ එතුමා චමත්කාරජනක ගැමි පරිසරයක උපත ලබපු කෙනෙක් කියලා. නමුත්  කොළඹ කොල්ලුපිටියේ දිළිඳු පැල්පතක උපත ලැබීමෙන් දිළිඳුකම නිසාම එතුමාට පාසල් අධ්‍යාපනය නිම කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් එතුමා ස්වෝත්සාහයෙන් පොතපත කියවලා ඉගෙනගන්නවා. ඒ වගේම එතුමාට පියදාස සිරිසේන මහත්මයාගේ ලේඛන වැඩි වශයෙන් බලපානවා. ‘උක් දඬු දුන්න’, ‘මිණි පාන’, ‘අන්ධ කවියා’ වගේ කවි පොත් ගණනාවක් එතුමා අතින් රචනා වෙනවා. එතුමාත් කොළඹ යුගයේ බොහෝ කවීන්  ගිය මගම යමින් වයස අවුරුදු පනහ එන්නත් කලින් නෙත් පියා ගන්නවා.

7. ජී. එච් පෙරේරා 

බොරලැස්ගමුවේ ජී. එච් පෙරේරා කවියා දේශාභිමානය ,බුදුගුණ, උපහාසය වගේ ඕනම අනුභූතියක් භාවිතා කරලා කවි ලියන්න සමත්කම් දක්වපු කෙනෙක්. ඒ අතරින් එතුමාගේ උපහාස කවි මී පැණි තැවරුණු කසපහර වගේ. ගල්හේනේ හෙන්ද්‍රික් පෙරේරා කියන නම ටිකක් රළු වැඩියි කියලා හිතුන නිසාද මන්දා එතුමා මුළු ජීවිත කාලේම භාවිතා කරේ බොරලැස්ගමුවේ ජී. එච් පෙරේරා කියන නම. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ එතුමා සටන්කාමීත්වය නිසාම ගුරු වෘත්තීය සංගම්වල නායකත්වයට පවා පත් වුණා. ‘බුද්ධ ස්ත්‍රෝත්‍ර’, ‘වරක මදුල’, ‘සිංහල මංගල සූත්‍ර’ එතුමා අතින් ලියැවුණු කවි පොත් අතරින් කීපයක්.ඒ වගේම එතුමා ඒ කාලේ හිටිවන කවි මඩුවලට නැතුවම බැරි හිටිවන කවියෙක් බවටත් පත්වෙලා තිබුණා. එතුමාත් වයස අවුරුදු පනස් දෙකේදී තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා.

 උපුටා ගැනීම

https://www.lifie.lk/2019/12/08/poets-of-colombo-era/