Friday, November 6, 2020

දෑවැද්දට ලැබුණු කොළඹ රජගෙදර


රජගෙදර නොහොත් වත්මන් ජනාධිපති මන්දිරය ගැන ඉතිහාසය තොරතුරු සොයාගෙන යද්දී පෙනී යන්නේ දැනට සියවස් ගණනාවකට පෙර මෙම මන්දිරය සුරූපී ලන්දේසි යුවතියකගේ දෑවැද්දට දුන් දේපලක් බවය.   


මෑතකාලීන ඉතිහාසය අධ්‍යයනයේදී පෙනී යන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාව වෙනතුරු මෙරට රජවාසල් තුනක් තිබූ බවකි. කොළඹ රජගෙදර, මහනුවර රජගෙදර සහ නුවරඑළියේ රජගෙදර වනාහි මෙම මැදුරු තුනයි. 72 ජනරජ ව්‍යවස්ථාවත් සමඟම මේ මැදුරු තුන ජනපති මැදුරු තුනක් බවට පත්විය. මෙම කොළඹ ජනපති මැදුර ආණ්ඩුවට පවරා ගන්නා ලද්දේ නෝර්ත් ආණ්ඩුකාරයාගේ යුගයේ වුවත් මෙයට ‘රජගෙදර’ නමින් මෙම මන්දිරය හඳුන්වනු ලැබුවේ සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා විසිනි.   


මහනුවර ජනපති නිවෙස ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව තිබී ඇත්තේ එහි විසූ ප්‍රසිද්ධ කවියකු වූ බයිරන්ගේ නෑනා කෙනෙකු නිසාය. ඇය සෝර්ටන් ආණ්ඩුකාරතුමාගේ ප්‍රිය බිරිඳ වූවාය. මෑත කාලීන ඉතිහාසය තුළ ​ෙකාළඹ රජගෙදර ජීවත් වූ ජනාධිපති ධුරය හෙබවූ කවියකු වූයේ නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය. එතුමාගේ බිරිඳ ද කලක් ගායිකාවක ලෙස රාජ්‍ය රූපවාහිනී මාධ්‍යවල ගී ගයන යුගයක් තිබූ බව අද බොහෝ දෙනාට අමතකව ඇත. නමුදු ඉංග්‍රීසි කවියකු වූ බයිරන්ගේ නෑනාගේ කෙරුවාවට නොදෙවෙනි වෙන්නට රජ මැදුරු ඉතිහාසය තුළ ඇගේ නමට කලාකාරියක ලෙස ඉතිහාසගත කළ යුතුම නිසා මෙම සටහන තැබීමේ එකම අරමුණයි.   


මෙම වත්මන් ජනපති මැදුරේ ඉතිහාසය ගැන ඇති ලිඛිත සාක්ෂි සොයාගෙන යාමේදී පෙනී යන්නේ 1785 වර්ෂයත් 1789ත් අතර වකවානුවේ මෙම මන්දිරය ගොඩනගා ඇති බවය. රාජ්‍ය ලේඛනාගාරයේ දීර්ඝ කාලයක් සේවය කළ නුවරඑළියේ හේමපාල මහතා මීට දශක 4කට පෙර අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පතට ලිපියක් ලියමින් කරුණු දක්වා ඇත්තේ එවකට මෙම මන්දිරය ඉදිකළ භූමිය කුඩා කඳු ගැටයක් වූ බවය. එදවස එක් දිසාවකින් ඉන්දීය සයුරු ඉම දක්නට හැකිවිය. අනෙක් පසෙන් රට මැද උස්ව නැගී සිටි සමනල කඳු සිරස පෙනිණි යනුවෙන් හේමපාල මහතා සටහන් කොට ඇත. එම සටහනෙන් පෙනී යන්නේ කොටුවේ වත්මන් ජනපති මැදුරේ සිට සමනොල කන්ද පෙනුණේ නම් ඔය කියන සන්දියේ එම මන්දිරය වටා උස් ගොඩනැගිලි කිසිවක් නොවූ බව නොවේද?   


කොළඹ කොටුවේ ඇති ඉපැරණිම සිතියමක් නම් මීට වසර 233කට පෙර කපිතාන් පෝයන්ඩර් විසින් අඳින ලද සිතියමයි. එම සිතියමේ වත්මන් ජනපති මැදුරු භූමිය ඇත්තේ හිස් බිමක් ලෙසය. පෝයන්ඩර් වාත්තියෙන් ලන්දේසි යුද හමුදාවේ ඉං​ජිනේරු බළකායේ කපිතාන්වරයකු විය. ප්‍රවීණ ලේඛකයකු වූ නීල් ද මොරායන් මහතාගේ ලේඛනයක දැක්වෙන්නේ 1789 අඳින ලද සිතියමක මෙම ස්ථානයේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ වෑන් එ්න්ජල්බෙක් මහතාට අයත් පෞද්ගලිකදේපලක් වූ කොනින්ස් හවුස් නම් මන්දිරය වූ බවය. රාජ්‍ය ලේඛනාගාරයේ හේමපාල මහතාගේ ලේඛනවල මෙම ආණ්ඩුකාරවරයාගේ නම වරනගා ඇත්තේ වෑන් ඇන්ගල්බික් යනුවෙනි. කෙසේ වෙතත් මෙම ලේඛකයන් දෙදෙනාම නිගමනය කොට ඇත්තේ 1785-1789 වකවානුව අතර මෙම මන්දිරය ගොඩනගා ඇති බවය.   


බ්‍රිතාන්‍යයන් කොළඹ අල්ලාගත් වසර ලෙස සැලකෙන්නේ 1796 වසරය. එවකට කොනින්ස් හවුස්හි පදිංචිව සිට ඇත්තේ වෑන් එන්ජල්බෙක්, ඔහුගේ දියණියක සහ තරුණ නෑඹුල් ​ෙයාවුන් වියේ සුරූපිනියක වූ මිනිබිරිය ලැකොම්නා ගර්ට්රූඩ් මෙනෙවියයි.   


වෑන් එන්ජල්බෙග්ගේ එකම මල්ලී තම වාසය සඳහා තෝරාගෙන තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයයි. ඔහු නමින් ක්‍රිස්ටියන් විය.   

​ෙෆ්‍රඩික් නෝර්ත් මේ සිලෝන් එකේ නොහොත් අපේ සිරිලංකාවේ ආණ්ඩුකාරයා ලෙස වැඩ බාර ගත්තේ 1798 ඔක්තෝබර් 12 වැනි දින පෙරවරු 9ටය. ස්වකීය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පටන් ගත් ෆ්‍රෙඩික් නෝර්ත්ට පරහට හිටියේ එංගලන්තයේ ආණ්ඩුව ඒ සඳහා ඔහුට පවුම් ලබා නොදීමය. වත්මන් පාලකයින්ට මෙන් මුදල් නෝට්ටු කෝටි ගණනක් මුද්‍රණයකොට පරිපාලනමය ප්‍රශ්න විසඳා ගැනීමට පිනක් එවකට ෆ්‍රෙඩික් නෝර්ත්, ආණ්ඩුකාරවරයාට වුවත් තිබුණේ නැත. කොළඹ අල්ලා ගැනීමේ මහ සටනට බ්‍රිතාන්‍ය රජයට රන් පවුම් 12,000ක මුදලක් වියදම් වී තිබුණි. යටත්විජිත ලේකම්වරයාගේ මතය වූයේ මෙම මුදල ලංකාව තුළම බදු අයකර ගැනීම තුළින් සොයාගත යුතු අතර පාලන කටයුතු වෙනුවෙන් මහරැජින කිසිදු මුදලක් ලබා දිය යුතු නැති බවය. යටත්විජිත ලේකම්වරයාගේ මෙම තීරණය නිසා විනෝදකාමී අවිවාහකයකු වූ ෆ්‍රෙඩික් නෝර්ත් ආණ්ඩුකාරයාගේ සියලු ප්ලෑන් කොට උඩ යන්නට විය. ලංකාවේ සුන්දරත්වය අසා කුලප්පු වූ ෆ්‍රෙඩික් නෝර්ත් ලංකාවට ගොඩබැස්සේ මේ සුන්දර බිමේ පවුම සිලිමට වියදම් කොට හොඳ විනෝදකාමී ෆන් එකක් ගැනීමටය.   


නමුත් යටත්විජිත ලේකම්වරයා ‘පවුම්’ එවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ෆ්‍රෙඩික් නෝර්ත්ට සිදුවූයේ දුෂ්කර දිවියක් ගත කිරීමටය. මේ වෙන විට ලන්දේසින් බ්‍රිතාන්‍යයට යටත්වී සිටියේ කොන්දේසි සහිතව නිසා ඔවුන්ගේ පෞද්ගලික දේපල පවරා ගන්නට ද ෆ්‍රෙඩික් නෝර්ත්ට හැකියාවක් තිබුණේ නැත. ආණ්ඩුකාරයා වුවත් ඔහුට ජීවත් වීමට හරිහමන් නිවසක් වූයේ නැත. අහිකුන්ටකයකු මෙන් විවිධ ස්ථානවල ජීවත් වූ ඔහු යොක් වීදියේ වූ ලීවලින් නැගූ නිවසක ද කුලියට සිටි බව ලේඛනවල ඇත. මෙම ස්ථානයේ වත්මනෙහි ඇත්තේ ලංකා බැංකු ගොඩනැගිල්ලයි. ලන්දේසින් සතු දැවැන්ත මංදිර විශාල ගණනක් කොළඹ කොටුවේ එවකට පැවැති අතර ඒවා ගැන ඒවා ළඟින් යනවිට ගියේ දත්මිටි කමිනි. ආණ්ඩුකාරයා වුවත් තමන්ට එම මන්දිරයක්වත් පවරා ගැනීමට ‘බ්‍රිතාන්‍ය නීතිය’ අසමත් වීම ගැන ෆ්‍රෙඩික් නෝර්ත් හිටියේ යටත්විජිත ලේකම්වරයා සමග බද්ධ වෛරයෙනි. ලන්දේසි මංදිරවල උන් අති සුරූපී ගැටිස්සියක් ගැන ආණ්ඩුකාරයා දැක්වූයේ සුවිශේෂී ඇල්මකි. ​   


ෆ්‍රෙඩික් නෝර්ත්ට තම පාලනය ගෙන යන්නට සිවිල් නිලධාරීන් 20ක් පත් කරන්නට අවශ්‍ය විය. මේ සඳහා එවකට ඉන්දියාවේ මදුරාසියේ සේවය කළ සිවිල් නිලධාරීන් කීප දෙනෙක් ද ගෙන්වාගෙන ඇත. ජෝර්ජ් මෙල්වික් ද එවකට ඉන්දියවේ සිට පැමිණි සිවිල් සේවකයකු විය. ඔහු අතිශයින් කඩවසම් තරුණයකු විය. ඔහු එංගලන්තයේ ලෙවන්හි අර්ල් ආදිපාදවරයාගේ එකම පුත්‍රරත්නය විය. ඔහු​ගේ සම්පූර්ණ නම ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි ලෙස සඳහන්ය. ඔහු ලංකාවට සේන්දු වී ඇත්තේ 1802දීය. ඔහුගේ තනතුර ලෙස ඉංග්‍රීසි ලේඛනවල දක්වා ඇත්තේ PAYMASTRR (පේ මාස්ටර්) තනතුරයි. එය හමුදාවට පඩිගෙවන තනතුරක් ලෙස එක් තැනක සඳහන් වෙත්දි තව තැනක ඇත්තේ එය මුදල් ඇමැති තනතුරට සමාන රජයේ ගබඩා පාලක තනතුරක් බවය.   


බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු බොහෝ ලන්දේසින් තම නිජබිම වූ ඕලන්දයට ගියත් ලංකාවේ දේපල හිමි බොහෝ ලන්දේසින් මෙහිම පැලපදියම් වූහ. එවකට මෙරට සුපිරි පැලැන්තිය වූයේ ලන්දේසි සුපිරි පවුල් ය (HIGH CLASS FAMILY). තම සුපිරි පැලැන්තියට අභියෝගයක් වූ එංගලන්තයේ සිට ආ ආගන්තුක සුපිරි ස්ටාර් එකට ලන්දේසීන් සමීප වූයේ ‘කපන්නට බැරි අත සිඹින්නාක්’ වාගේය.   


තනිකඩයකු වූ නෝ්ර්ත් ආණ්ඩුකාරයාගේ කාන්සිය මකා ගැනීමට කළේ හවසට පොඩි ෂොට් එකක් දමා ගැනීමට පාටි දැමීමය. එවකට කොළඹ රැඳී සිටි ඉංග්‍රීසි නිලධාරින් ගණන සියයක් පමණ වුවත් ඒ අතරින් තරුණියන් සිට ඇත්තේ විස්සකට අඩු ප්‍රමාණයකි. ආණ්ඩුකාරතුමා බාල් නැටුම් වලදී සුරූපිනියන් බදාගෙන නටන්නට දැක්වූයේ දැඩි ගිජුකමකි. ඒ නිසාම කොළඹ ලන්දේසි මන්දිරවල ජීවත්වෙන සුරූපිනියන් ගැන සෝදිසි කර බැලූ ආණ්ඩුකාරතුමා බෝනික්කන් මෙන් සුරූපී එම යුවතියන්ට ද තම සාදවලට ආරාධනා කරන්නට විය. මත්පැනට සහ සාදවලට කවදත් උපතෙන්ම ලොල්වූ මෙම ලන්දේසි යුවතියන් සාදවලදී කාටත් පෙර පැමිණ සිටීම ආණ්ඩුකාරවරයාගේ මනදොල සපුරාලන්නට විය.   


තමන් කාන්සිය දුරු කර දැමීමට දැමූ මෙම පාටි ඉංග්‍රීසි ලන්දේසි භේදය තුරන් වී යාමට හේතු  වේ යයි ආණ්ඩුකාරයා නිකමටවත් හිතුවේ නැත.   


ජෝර්ජ් මෙල්විල් ලෙස්ලි ආණ්ඩුකාරතුමාගේ ප්‍රියසාදවල අග්‍රපුරෝහිතයකු විය. ඔහු රජ පවුලට වූ නෑකම ඊට ප්‍රධාන හේතුවක් විය. ෆ්‍රෙඩික් නෝර්ත් සාදවලදී බමන මතින් මත්වූ විට බාල් නැටුම් සඳහා ලෙස්ලිට ආරාධනා කළේ අපේ රජ පවුලේ නියෝජිතයා තම නැටුම සඳහා තෝරා ගන්නා සුරූපිනිය කවුදැයි පළාතම දෙවනත් කරමින් සිනා සෙමිනි. ලෙස්ලිගේ බමන මතට දිනක් ප්‍රියසාදයට පැමිණ සිටි සුරූපිනියක් නතුවිය. දෙවඟනක් බදු ඈ ලන්දේසි ජාතික සුරූපිනිය වූ ලැකොම්නා ගර්ට්රූඩ් නම් වූවාය. ඇය වෑන් එන්ජල්බෙක් ලන්දේසි ආණ්ඩුකාරතුමාගේ මිනිබිරිය වූවාය. ආණ්ඩුකාරතුමා මියගොස් මේ වනවිට තෙවසරකි. ඇගේ රූපශ්‍රීයෙන් මත්වූ ලෙස්ලි ඇයට පෙම් කරන්නට වූයේ තම රාජකීය ලෙය යටත් වූ ජාතියක් වූ ලන්දේසින්ගේ යුවතියකගේ දෙපාමුල ප්‍රේමය ඉල්ලා හඬා වැටීම තම රාජකීය ලෙයට උරුම වූ ගාම්භීරත්වය ගැන ‘පයිසයකට’වත් නොතකාය. නමුත් අවසානයේ මෙම විවාහයට ෆ්‍රෙඩික් නෝර්ත් ආණ්ඩුකාරයාගේ අවසරය අවශ්‍ය විය. නමුත් ලෙස්ලිගේ රජ පවුලට වූ නෑකම හුවා දක්වමින් යටත් වූ ලන්දේසි ජාතික තරුණියක සමඟ රාජකීයකු විවාහ වීම ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට හේතු නොවීය. ආණ්ඩුකාරතුමාට වැරදුන තැන නම් ලෙස්ලිගේ පෙම්වතියද බ්‍රිතාන්‍ය රජ පවුල තරම් උසස් ලන්දේසි වංශවත් පවුලක එකියක වූ බව නොදැන සිටීමය. අවසානයේ අර්ල් සාමිවරයා මේ ගැන රජ මාලිගයට කරුණු දැක්වීමෙන් පසු විවාහයට අනුමැතිය රජමාලිගය නිල වශයෙන් නිකුත් කරන ලදී.   


ලෙස්ලිගේ මඟුලට රජමාලිගයේ අනුමැතිය ලැබුණු පසු ෆ්‍රෙඩික් නෝත් ආණ්ඩුකාරවරයා හිටියේ ‘වෙඩි කෑ ඌරෙකු’ මෙනි. ලෙස්ලි හා ලැකොමිනාගේ විවාහය සිදුවී ඇත්තේ මනාලියගේ සීයාගේ මල්ලි වූ ක්‍රිස්ටියන්ගේ මන්දිරයේදීය. කොල්ලුපිටියේ පිහිටි එම දැවැන්ත මැදුර විවාහ දින අතුරු සිදුරු නැතුව පිරීගියේ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූවරුන්ගේ සහ එවකට ලංකාවේ ජීවත් වූ ලන්දේසි ප්‍රභූවරුන්ගෙනි. මංගල උත්සවයේ ෆ්‍රෙඩික් නෝර්ත් ආණ්ඩුකාවරයාද ප්‍රධාන ආරාධිතයා විය. නව යුවලට දැවෑද්ද ලෙසින් ලැබුණේ කොනින්ග් හවුස් නොහොත් වත්මන් ජනපති මැදුරයි.   


විවාහයෙන් පසු නව යුවල පදිංචියට ආවේ කොනිංස් හවුස් මන්දිරයටය. එකල මේ මංදිරයේ වූ උද්‍යානය වත්මනෙහි මහ තැපැල් භූමිය තෙක් වූ බව ලේඛනවල දැක්වේ. මෙම උද්‍යානයේ විවිධ විසිතුරු පොකුණුවලින් අලංකාර වූ අතර මල් ගොමු අතර වූ දිවිත්ව ආසන කිරිගරුඬෙන් නිමවා තිබූ අතර ඒවා ඕලන්දයෙන් නැව් මගින් ගෙන ආ ඒවා විය. ලෙස්ලි හා ලැකොම්නා විවාහපත් වුවත් මේ කිරිගරුඬ ද්විත්ව ආසන මත පෙමින් වෙලී අතැඟිලි බැඳ පෙම්බස් දෙඩූ වාර අනන්තය. ෆ්‍රෙඩික් නෝර්ත් ආණ්ඩුකාරයා මෙම කොනිංස් හවුස් මන්දිරය දැක ආණ්ඩුකාරයා මොහොතින් මොහොත කල්පනා කළේ තම නිල නිවස බවට මෙම මන්දිරය පත් කර ගන්නේ කවදාද යන පැනයයි. නව යුවල කොනිංස් හවුස් උද්‍යානයේ පෙම් බස් තෙපලන ආකාරය ආණ්ඩුකාරයාගේ සිත්ගත් එකක් ​ෙනාවීය. නව යුවලගේ ආදාරය ආණ්ඩුකාවරයාගේ හදෙහි වෛරයක් ලෙස බුර බුරා නැගෙන්නට වූයේ තමන් මේ සිලෝන් එකේ ප්‍රධාන පුරවැසියා වුවත් තමන්ටම තම රාජක්‍රියා වික්‍රමයන් පෙන්වීමට කොන්ංස් හවුස් මෙන් මන්දිරයක් නොවීමය.   


මිහිරි විවාහ දිවියක රස විඳිමින් සිටි යුවලට වැඩිකල් පෙම්සුව විඳින්නට පුළුවන් වූයේ නැත. හිටි අඩියේ ආණ්ඩුකාරවරයා විසින් ලෙස්ලිගේ වැඩ තහනම් කරන ලද්දේ රික්ස් ඩොලර් ලක්ෂයක ආසන්න වටිනාකමක් යුත් භාණ්ඩ හා මුදල් නිසිපරිදි ලේඛනවල නොමැති නිසාය. එහෙත් මේ සියල්ල පිටුපස තිබුණේ මන්දිරයක් හිමිකර ගැනීමේ බල ලෝභී ආණ්ඩුකාරයකුගේ න්‍යාය පත්‍රයක් බව කිසිවකු දැන සිටියේ නැත. ආණ්ඩුකාරයා වෙත පමුනුවන ලැබූ ලෙස්ලිව සිරභාරයට ගැනීමට ප්‍රථම මේ මුදල ගෙවා දමන ලෙස දන්වන ලදී. නමුත් අවසානයේ කොනිංස් හවුස් මන්දිරය ආණ්ඩුකාරවරයා මගින් රජයට පවරාදීම විනා අන් සරණක් ජෝර්ජ් මෙල්වින් ලෙස්ලිට නොවීය. 1804 ජනවාරි 07 වැනි දිනම කොනින්ස් හවුස් රජයට පවරාගත් මොහොතේම තම ලට්ට ලොට්ට රැගෙන එහි පදිංචියට ආවේ එය ආණ්ඩුකාරතුමාගේ නිල නිවස ලෙස නෛතිකව හඳුන්වමිනි. අන්තිමේදී ෆ්‍රෙඩික් නෝර්ත්ගේ කෛරාටික මොලය ජය ගත්තේ ලෙස්ලි එංගලන්තයේ රජ පෙලපතකට නෑකම් කියූ හෙයින් මුදල් හබය රහසක් වශයෙන් තබාගෙන රහසිගතව ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය සමඟ ලිපි ගනුදෙනු කිරීම නිසාය. ලෙස්ලි තම බිරිඳ සහ කුඩා දියණිය ද කැටුව එංගලන්තයට ගොස් ඇත්තේ දැඩි කලකිරීමකින් යුතුවය.   


තම ඥාතීන්ට පිං පිණිස ඔහු රටහැර යන මොහොතේ අාදුරුප්පු වීදිය පල්ලියට පරිත්‍යාග කළ ගෘහ භාණ්ඩ කිහිපයක් තවමත් දැකගත හැකිවිය. ලෙස්ලි අඩු වයසින් දැඩි ලෙස මත්පැනට ඇබ්බැහිවී මියගියත් ඔහුගේ දියණිය 1892 තෙක් ජීවත්වී ඇත.   


මේ ජනපති මැදුරේ පරණ ලේඛන පිරික්සන විට සොයාගත හැකිවූයේ රසවත් ලේඛන කිහිපයකි. මෙරට ආණ්ඩුකාරවරයකු ලෙස සේවය කළ ස්ටුවටර්ස් මැකෙන්සි 1837 දී රජගෙදරට ඒමට පෙර ආණ්ඩුකාරයාගේ බිරිඳ ලෙස කළ යුතු කාර්යන් ගැන වාර්තාවක් ඔහුගේ ආර්යාවට ලබාදී ඇත. මේ ලේඛනය සැකසූ ලේඛකයාගේ නම සඳහන්ව නැත. එම ලේඛනය අනුව එකල ආණ්ඩුකාරවරුන්ගේ ජනප්‍රිය ආහාරයක් වී ඇත්තේ ‘පෝක්’ නො​හොත් ඌරු මස්ය. එමෙන්ම ලංකාවේ ඇත්තන් අතුරුපස නොහොත් ‘ඩෙසට්’ ගැනීමට ද ප්‍රියතාවක් නැති බව එම ලේඛනයේ සඳහන්ය.   


‘‘කේජු සහ ලුණු දමා වේළුෑ ඌරු මස් රැගෙන යා යුතුය. ලංකාවේ ඒවා මිල අධික බැවින් කලින් කළ ඒවා එංගලන්තයෙන් ලබාගැනීමට පිළිවෙළක් මෙහිදීම සලසා ගෙන යා යුතුය. කොළඹ ආණ්ඩුකාර මන්දිරයේ සිටින විට සන්ධ්‍යා සංග්‍රහ සහ නැටුම් උත්සව ඔබ විසින් සැලසුම් කළ යුතුය. ඉන්දියාවේ මෙන් මෙහි ජනතාව අතුරුපස (Dessert) ගැනීම සඳහා නොපැමිණෙති. යනුවෙන් එහි සඳහන්ය.’

’   
80 දශකයේදී රජගෙදර ගැන පළවු රසවත් කතාවක් සොයා ගැනීමට අපට හැකිවිය. මේ පුද්ගලයා නමින් ඇම්.පී. පෙරේරා මහතාය. ඔහුව එම ලේඛනයේ හඳුන්වා ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරුන්, අග්‍රාණ්ඩුකාරවරුන් හා එක් ජනාධිපතිවරයකුගේ ද රජගෙදර රියැදුරා වශයෙනි. ඔහු රජගෙදර සේවයට පැමිණෙ ඇත්තේ 1936දීය.   


‘‘ජපනුන් කොළඹට බෝම්බ දාපු කාලේ රජගෙදර ආරක්ෂක බිංගෙවල් හදල තිබුණා. යුද සයිරන් එක ගැහුවාම කොල්සිකොට් ආණ්ඩුකාරතුමා ඇතුළු රජගෙදර කවුරුත් බිංගෙහි හැංගුනා. ආණ්ඩුකාරයාට බිංගෙයි විශේෂ පහසුකම් වගේම දුරකතනයක් පවා තිබුණා යයි පෙරේරා මහතා පවසා ඇත.   


ජනපති මැදුර වරින්වර පිළිසකර කෙරෙමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු 14කගේ හා අග්‍රාණ්ඩුකාරවරයකුගේ ද සිංහල ආණ්ඩුකාරවරුන් දෙදෙනකුගේ නිල භවන විය. 1972දී ජනරජ ව්‍යවස්ථාවෙන් පසු ජනපති නම් වූ රටේ පාලකයා එහි පදිංචියට ආවේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මේ දක්වා විධායක ජනපතිවරුන්ගේ නිල වාසභවන වූයේ මේ ඓතිහාසික මන්දිරයයි.   

උපුටා ගැනීම

http://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%AF%E0%B7%80%E0%B6%AF%E0%B6%AF%E0%B6%A7-%E0%B6%BD%E0%B6%B6%E0%B6%AB-%E0%B6%9A%E0%B7%85%E0%B6%B9-%E0%B6%BB%E0%B6%A2%E0%B6%9C%E0%B6%AF%E0%B6%BB/57-528722

කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා


පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා

ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා

සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා

කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා”

කයිමන් දොරකඩ? මොකක්ද ඒ ?? ඒ කිවුවේ අර සෙලෙස්තිනා බලා සිටියා කියන තැනද? එතකොට ඒකටමද කොළොම්පුරේ කිඹුල් දොරටුව කියන්නෙත්??

ඔව්... ඒ එතන තමයි... එන්න අපි යමු ! ගිහිල්ලා කයිමන් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුනු කතන්දරේ දැනගෙන එන්න.

කොළඹ රජ වීදිය (KONINGS STREET/ KINGS STREET) නමින් එදා හැඳින්වු පිටකොටුවේ කෙලින් වීදියේ (MAIN STREET) කෙළවරේ කොළඹ ගෑස්පහ හන්දියේ ඇත්තේ පැරණි නගර ශාලාවයි. එය ටිකක් පසුකොට වරාය දෙසට එන විට හතරවැනි හරස් වීදිය බෝඩ් ලෑල්ල ඔබට හමුවේ. එතැන සීනු කණුවක් වටකොට කිසිවකුට යා ​නොහැකි ලෙස කොළ පැහැති දැල් වැටක් ගසා ඇත. සීනු කණුව මුදුනේ කපුටු බෝවහන්සේ නමක් කදිමට පැළවී සීනු කණුව තව නොබෝ කලකින් බිම පත බෑවෙන ලෙස යන්තම් ඉතිරිතලාද ඇත. ගසා ඇති දැල් වැට අතරින් සීනුව අසල සවිකොට ඇති බෝඩ්ලෑල්ල කියවීමටද අපහසු වුවත් එහි සඳහන්ව ඇත්තේ එය පුරාවිද්යා ස්මාරකයක් බව පමනි. මෙය අතීතයේ කයිමන් දොරකඩ ගාණ්ඨාර කුළුණ (BELFRY AT KAYMAN'S GATE) නමින් හැඳින්වුනු මේ සීනු කනුව හා ලෝ පුරා ප්රකට වූ ඓතිහාසික උරුමයක් වූ කොළඹ කොටුව හා බැදි මෙම වස්තූන් කිසිවෙකුගේ අවධානයට ලක්නොවි තිබීම කෙතරම් අවාසනාවක්ද...

මෙතරම් වටිනා පුරාවිද්යා ස්ථානයක් කිසිවකුට සමීපයට යා නොහැකි ලෙස වැටක් ගසා ඇත්තේ ඇයි දැයි කිසිවෙකුටවත් නොතේරෙන කරුනකි... පාරට​ පෙනෙන ලෙස නිකල් ප්ලේට් තහඩුවක හාරන ලද අකුරෙන් මුද්රණය කළ සටහන කියවීමට පවා අපහසුය.

මෙම ගාණ්ඨාර කුලුණ අසල ඇති සටහන අනුව පෙනී යන්නේ ලන්දේසින් විසින්​ කොළඹ නගරය පෘතුගීසින්ගෙන් අත්පත් කර ගන්නා විට දැනට කොටුව නමින් හැඳින්වෙන පෙදෙසේ පෘතුග්රීසීන් විසින් ඉදි කරන ලද ඔවුන්ගේ ප්රධානතම බලකොටුව තිබූ බවයි...



1554දී පෘතුග්රීසීන් විසින් මෙම බලකොටුව ආරක්ෂක උපක්රමයක් ලෙස සාදා නිම කොට ඇත්තේ දෙස්/ විදෙස් හමුදා ප්රහාරයන් වලින් බේරී, ආරක්ෂා සහිතව සිය මාළිගා, මන්දීර හා නිවෙස් ඉදි කිරීමටත්, සිය වෙළද කටයුතු පහසු ලෙස පවත්වාගෙන යාම සදහාත්ය... අද හැදින්වෙන කොළඹ කොටුව, ඕල්කට් මාවත බේරේ වැව සහ අවට ප්රදේශය වට කරමින් ඔවුන් විසින් කබොක් ගල් වලින් විශාල ප්රාකාරයක් බදිමින් මෙම බලකොටුව නිමවා ඇත. එම විශාල තාප්පයෙන් කොටු වූ එම ප්රදේශය කොළඹ කොටුව ලෙසත්, එම තාප්පයෙන් පිටත ප්රදේශය පිටකොටුව ලෙසත් පසු කාලයේදී නම් වී ඇත... බ්රිතාන්ය ලේඛක ජෝන් කාපර් විසින් ‘ඔල්ඩ් සිලෝන්’ ග්රන්ථයේ සඳහන් කොට ඇත්තේ, මේ කොටු පවුර කබොක් ගලින් නිමවා හුණු පිරියම් කොට ඇති අතර මෙහි පිටත ප්රාකාරය ගං ඉවුරට සමාන්තරව මුහුදු වෙරළ දක්වා පැතිරි තිබී ඇති බවයි...

මෙම බලකොටුවට නැගෙනහිර දෙසින් ඇතුළු වීමට ප්රධාන පිවිසුම ඉදිවී තිබූ අතර එය විශාල ආරක්ෂක දොරටුවක් සහිත විය. මෙම ප්රධාන පිවිසුම් දොරටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St.John's Canel) මතින් ඉදිවුණ පාලම වෙතයි. පාලම ඔස්සේ බලකොටුවේ ප්රධාන පිවිසුමක් වන මෙම දොරටුව වෙත පැමිනිය යුතු නිසාම, බලකොටුවට සුවිශේෂී ආරක්ෂාවක් ඒ හරහා සැකසී තිබුනි.. ඒ නිසාම පෘතුගීසින් විසින් මෙම ආරක්ෂිත පාලම සහිත දොරටුව හැඳින්වූයේ “ PUENTE REINA” හෙවත් “රැජින පාලම හෙවත් රැජින දොරටුව” ලෙසයි...

1656 දී පෘතුගීසි යුගය නිම වී ලන්දේසි යුගය ඇරඹෙන විටත් කොළඹ වඩාත් ඉඩකඩ ඇති බලකොටු නගරයක් ලෙස සකස් වී තිබුණු බව ඉතිහාස මූලාශ්රවල සඳහන් වේ. කොටුව වටා තිබූ පවුර සැතපුම් තුනක් වූ අතර පවුරේ තැන තැන අට්ටාල දාහතරක් වූ බව කියවේ.

පෘතුග්රීසීන් විසින් ඉදි කල මෙම කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුව වූ රැජින පාලමට 'කයිමන් දොරටුව' හෙවත් කිඹුල් දොරටුව ලෙසින් නම තැබුවේ ලන්දේසින් විසිනි.. එයට විශේෂ හේතුවක් විය.. ඒ ඉහතින් සඳහන් සාන්ත ජෝන් ඇළ යාවී තිබී ඇත්තේ බේරෙ වැවටය. බේරෙ වැවේ කිඹුලන් සිටි බවත් එම කිඹුලන් මේ ඇළ මාර්ගය ඔස්සේ කයිමන් දොරටුව අසල ජලාශයේ කුණු කසල ආදිය කා දමමින් ජීවත් වූ බව කියවේ. හැම විටම කිඹුලන් ගැවසුණු ස්ථානයක් නිසා මෙම ස්ථානය ලන්දේසින් විසින් 'KAIMAAN POORT' හෙවත් කයිමන් දොරටුව ලෙස නම් කොට ඇත. කයිමන් යනු ඇමෙරිකානු /ඉන්දියානු වචනයක් වූ ‘ගෙයිමන්’ යන වචනයෙන් බිදී 'කයිමන්' ලෙස ලන්දේසී භාෂාවට එක් වූ වචනයකි. එහි අරුත ‘දැවැන්ත කිඹුලා’ යන්නයි... 'KAIMAAN POORT' යන්න ඉංගරීසියට 'KAYMAN'S GATE' ලෙසත් එය සිංහල බසට කයිමන් දොරකඩ ලෙසටත් පෙරලූනා.

කයිමන් දෙරකඩ ඉදිවී ඇති මෙම කුලුණ සහිත දොරටුවේ ඉහළ කොටස ආරක්කු හැඩයකින් යුක්තය. මෙහි ශීර්ෂය කේතු රූපාකාර මෝස්තරයකින් යුතුය. එහි සවිකොට ඇති ගාණ්ඨාරය නිමවූ ලෝහය ගැන නිශ්චිත සටහනක් නැත. එය දහසය වෙනි සියවසට අයත් බව සැලකේ. අද එය මුළුමනින් කළුගැන්වී ඇත... මෙය පෘතුගරීසින් විසින් ශරී ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරනු ලැබු ශාන්ත ෆරෑන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ ගාණ්ඨාරය බව ඓතිහාසික තොරතුරුවලින් කියවේ. පසු කාලෙක ලන්දේසින් ගේ අතින් බොහෝ කතෝලික දේවස්ථානය විනාශ වන විට ,එම දේවස්ථානයද විනාශ වූ අතර, එහි ඇති වටිනා ගාණ්ඨාරය ලන්දේසීන් විසින් කොළඹ බලකොටුවේ කයිමන් දොරකඩ පිවිසුමේ නව ගාණ්ඨාර කුළුනක් ඉදි කොට එහි මෙම වටිනා ගාණ්ඨාරය සවි කල බව විශ්වාස කිරීමට සාක්ෂි ඇත.




මෙම ගාණ්ඨාරය ලන්දේසීන් හට කයිමන් දොරකඩ සවි කිරීමට තරම් වැදගත් හා වටිනාකමක් ඇති වූයේම, එහි වෙනත් ගාණ්ඨාර වල මෙන් මුද්රා කොට තිබුනේ එහි නිෂ්පාදිත වර්ෂය හෝ නිපදවූ තැනැත්තාගේ නම පමනක් නොවීමයි. එහි "Ave Maria, gratia plena, Dominus tecum, Benedicta tu in mulieribus, et benedictus fructus ventris tui, Jesus." ලෙස ලතින් භාෂාවෙන් ලියැවුනු ක්රිස්තියානි යාච්ඤා කොටස මුද්රා වී තිබුණි. එය ඉංග්රීසි භාෂාවෙන් "Hail Mary, full of grace, The Lord is with thee. Blessed art thou among women, and blessed is the fruit of thy womb, Jesus" ලෙසටත්, සිංහලෙන් එය "නමෝ මරියනි, ප්රිය ප්රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය" යන අරුත දක්වයි.. එම නිසා මෙම ගාණ්ඨාරය ආරක්ෂ කිරීමට ඔවුන් කැප වූ බව කියවේ..

මේ ගාණ්ඨාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (WOLVENDAAL CHURCH) ඉරිඳා දේව මෙහෙයන් දැනුම් දිමත්, රාතිර කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (CURFEW BELL) යොදාගත් බව කියවේ... දේව මෙහෙයන් දැනුම් දීමට උදේ/සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයක ලබා දුන් බව දන්වා සිටීමටත් මෙම සීනුව සහිතව තුන්වරක් නාදවූ බවද කියවේ... එත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ සිට ගාණ්ඨාරයර ඇති දුරත් සමගින් මේ නිවේදනය ලබා දීම සදහා මෙම සීනුව නාද කල බව විශ්වස නොකල හැකි බවයි...

මෙම ගාණ්ඨාර කුළුන අසලින්ම සන්නද්ධ මුරභටයින් රදවා තැබූ මුරගෙයක්ද ඉදිවී ඇත.. පසු කලෙක ඉංග්රීසීන් විසින් මෙම බලකොටුව සම්පූර්නයෙන්ම පාහේ විනාශ කොට දැමීමත් සමග එම මුරගෙයද කැඩිබිදි නටබුන් වී, කොටුව /පිටකොටුව ජනාකීර්ණ වෙළඳ පොලක් බවට පත්වී ඇත.

1870 සමයේ, ඉංග්රීසි පානලය යටතේ මෙම බලකොටුව සම්පූර්ණයෙන්ම වාගේ කඩා බිදා විනාශ කර දැමුවේ එම කොටුව වටේම ඉදි වී තිබූ ශාන්ත ජෝන් ඇළත්, බේරෙ වැවත්, වරායත් ඇළමාර්ග හා එකට බැදී තිබූ සියලු කුඩා ඇළ මාර්ගයන් වසා දමමිනුයි.. අද ඔබ කොළඹ කොටුවේ හා පිටකොටුවේ දකිනා සියලු හරස් වීදී එදා තිබූ ඇළ පාරවල්ය. එමෙන්ම ඒ අවට තිබූ සියලු පහත් බිම්ද ඉංග්රීසීන් විසින් පුරවා ගොඩකර නව ගොඩනැගිලි ඉදි කිරීම අරඹා ඇත.

මෙම කයිමන් දොරකඩ ගාණ්ඨාරය අවසන් වරට නිලවශයෙන් නාද වූ බවට සටහන්වෙන්නේ 1926 ජනවාරි 21 සහ 28 වෙනිදායි. ඒ පස්වෙනි ජෝර්ජ් රජතුමා අභාවපරාප්ත වුනු බව දැනුම් දීමටත්, රජතුමා වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වුනු අනුස්මරණ දේව මෙහෙය දැනුම් දීමත් සදහායී. ඊට අමතරව දෙවන ලෝක යුද සමයේ, 1945 අගෝස්තු 14 දින අනෙක් පල්ලිවල ගාණ්ඨාර සමගින් මෙම ගාණ්ඨාරයද නාද කල බව ජනප්රවාදයේ කියවේ.. අවසන් වරට මේ කුළුණ පිලිසකර කර ඇත්තේ 1926 මාර්තු මාසයේදි කොළඹ නාගරික ඉංජිනේරුතුමා විසිනි. ඒ ක්රිස්තියානි සභාවේ ඉල්ලීමක් මතයි.

ඉතිහාසය සාක්ෂි දරන්නේ පෘතුගීසින් රළු, කෲර හා ආගම පැතිරවීම සඳහා සැහැසි ක්රියාවල යෙදුන ජාතියක් ලෙසය. පෘතුගීසි සික්ක්රෝවරුන් විසින් තම මව් බිමේදී මෙන්ම සැහැල්ලුවෙන් ගෙවී ගිය බවට අනුමාන කළ හැකිය. කයිමන් දොරකඩ හරහා එකල බෙහෙවින් පිළිගැනුන සේද, විල්ලුද හා රනෙන් රිදියෙන් වැඩ දැමූ ඇඳුම් හා ආයිත්තම්වලින් සැරසුන පෘතුගීසි ජාතිකයන් ස්වදේශකයින් විශ්මයට පත්කරමින් අවි ආයුධ භාවිත කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. මේ කයිමන් දොරකඩින් ඇතුළු වූ කොටුව තුළ ප්රධාන විනෝදාස්වාද මාධ්යයක් වී ඇත්තේ ස්පාඤ්ඤ වීනා සංගීතයයි. පෘතුගීසින් ස්පාඤ්ඤ සංගීතයට බෙහෙවින් ලොල් වී සිටි බවට සාක්ෂි ඇත. එම නිසා ඔවුන් සෑම යටත් විජිතයක් පාසා ස්පාඤ්ඤ සංගීතය ව්යාප්ත කළ බැව් පෙනේ.

මෙම කයිමන් දොරකඩ ගැන ඇති ලේඛනවල ඇත්තේ මේ ප්රදේශය ආශ්රිත පවුල්වල පුද්ගලයින්​ගේ හා නිලධාරින්ගේ ජීවන රටාව කොටුව ඇතුලේ ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් වූ බවය. මෙම කයිමන් දොරකඩ ගැන අධ්යයනය කල ඉතිහාසඥයකයින් පවසන පරිදි එදා කයිමන් දොරකඩ අසල වරදකරුවන් එල්ලා මැරූ ස්ථානයක් තිබී ඇත. සෙනඟ පීරමින් එම ඝාතනයට ලක්වෙන පුද්ගලයින් බැලීමට පොරකන පිරිසක් ද හුරු වී සිට ඇත. 19 වන ශතවර්ෂයේ අග භාගය වන තෙක්ම යටත් විජිත පාලකයෝ කයිමන් දොරටුව පිහිටි ස්ථානය ප්රසිද්ධියේ වැරදි කරුවන් එල්ලා මැරීම සඳහා භාවිතා කළ බව ඉතිහාසය අපට කියා පායි...

ඉහතින් සදහන් පරිදි ශාන්ත ජෝන් ගංගාව දිගේ කිඹුලන් ඇදී එන්නට ඇත්තේ නගරයේ අපද්රව්ය ආහාරයට ගැනීමට යන්න ඉතිහාසයේ සදහන් වුවත්, එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් කොළඹ නගර සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් ඩේලිනිව්ස් පුවත්පතට ලියන ලද ලිපි පෙළක මේ කයිමන් දොරකඩ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබුණි. ඔහුට අනුව කයිමන් දොරකඩ මිනිසුන් එල්ලා මැරූ ස්ථානයක් ලෙසද යොදා ගෙන තිබීම යන්න හරහා, එම මිනිකදන් කිඹුලන්ගේ ආහාරය බවත් පත්වූවා දැයි ඔබට සැක පහල විය හැකි වුවත්, එල්ලා මැරූ මිනිසුන් මුහුදට ගසාගෙන යාමට ශාන්ත ජෝන් ගංගාවට දැමූ බවට සාක්ෂි නැති බැවින් කිඹුලන් පැමිණ ඇත්තේ අපද්රව්ය ආහාරයට ගැනීමටම බව මෙහිදී සාක්ෂාත් වේ.

එකල, කයිමන් දොරකඩ අසල පෘතුග්රීසි සෙබළුන් ජීවත් වී ඇත්තේ ජනතාව පීඩාවට පත්වන ලෙස බවය. මේ කයිමන් දොරකඩ අසල සිටි සෙබළුන් මේ අසල වූ මත්පැන් ගුදම්වලින් පිරි තැබෑරුම් තුළ එකක් ඉවර වෙන්නට එකක් වයින් පිරවූ වීදුරු හිස් කොට ඇත. පහත් පෙළේ විහිලු කරමින් ඔවුන් කාලය කා දමා ඇත.

ඉතිහාස දත්ත පිරික්සීමේදී පෙනී යන්​නේ ලංකාවේ එකල පැවැති ගෘහ නිර්මාණ ගැන ද තොරතුරක් දැනගත හැකි වී ඇත. ඒ එකල ඉදිවූ විශාල ආලින්ද සහිත නිවාස හේතුවෙන් පාරවල්වල ඉඩ ඇහිරී ඇත. එබැවින් 1846 දී බ්රිතාන්ය රජය ‘ආලින්දයේ නීතිය’ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කොට ඇත. ඉන්පසු කයිමන් දොරකඩ අසලත් රට පුරාමත් ආලින්ද සහිත නිවාස ඉදිවීම නතර වී ඇත.

කයිමන් දොරකඩ හරහා පිටකොටුවට තිබූ වීදිය එකල ඉතා පටු එකක් වී ඇත. එච්.ඒ.ජේ. හුලුගල්ල විසින් සංස්කරණය කළ කොළඹ සංවත්සර කලාපයේ කයිමන් දොරකඩ ගැන මෙසේ සදහන්ව ඇත...,

කයිමන් දොරටුව වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් ලෙස අද ද සිංහලයා තුළ හැඟීම් මාත්රයක් ඇත. කයිමන් දොරටුව නොහොත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනෙක් පසට වැටී ඇති වීදිය පටු හෙයින් මේ ප්රදේශය අධික රශ්මියෙන් යුක්ත බව කියන්නේ පර්සිවල් ය. සරප්වරු මුදල් මාරු කරන්නත් පදිංචි වී සිටියා යැයි සැලකෙන මේ ප්රදේශයේ කාර්යබහුලව නොතිබුණේ යයි කාටනම් කිව හැකිද? මුදල් මාරු කරන්නන් වඩාත් බලවත් පුද්ගලයින් ලෙස එකල සමාජයේ ජීවත් වූවාට සැකයක් නැත. ජේත්තුවට යුරෝපීය ඇඳුම් පැළඳුමෙන් සැරසුණු ස්වදේශිකයන් බර සපත්තු පැළඳ මේ වීදි පුරා ඇවිද යනු මඳකට නෙත් පියාගෙන මෙනෙහි නොකර සිටීමට කාට නම් හැකිවනු ඇතිද?”





හුලුගල්ලයන් එසේ සඳහන් කළද අද කයිමන් දොරටුව අසල සීනුව අසල මුදල් මාරු කරන්නන් බේතකටත් සොයා ගැනීමට නැත. මේ කයිමන් දොරකඩ අසලින් ඇරඹෙන හතරවැනි හරස් වීදියේ ඇත්තේ කරවල තොග කඩ සමූහයකි. බර සපත්තු කෙසේ වෙතත් ජේත්තුවට යුරෝපීය ඇඳුම් ඇඳ මේ කයිමන් දොරකඩ සීනු කණුව පසුකර යන ඇත්තන් දෙස මේ සීනු කනුව නිසොල්මනේ බලා සිටින්නේ දශක ගණනාවක ඉතිහාසයක් කියාගත නොහැකිව වේදනා බරිතව බලා සිටින්නාක් මෙනි...

එදා සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ...

අද එහි ඇත්තේ පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කල ගාණ්ඨාර කුළුණක් පමනයි...

කයිමන් දොරකඩ ගාණ්ඨාරය නාදවෙනවා අසන්නට මතු පරම්පරාවට කිසිදා නොහැකි වනු ඇත...

එහෙත් එම අතීත තොරතුරු ආරක්ෂා සහිතව අපට දායාද කල සියලු කතුවරුන්ට පින් සිදුවන්නට ඔබ වෙත මේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට මට හැකියාව ලැබුනි...

අද ඔබ මේ දකිනා අතීත තොරුතුරු ඔබෙන් මතු උපදින්නා වූ පරම්පරා වෙත දායද කිරිමට ඔබත් කැප වෙන්න...

- ක්රිස්ටෝපර් ප්රශාන් ප්රනාන්දු.

උපුටා ගැනීම - 

 Old Images of Ceylon

 https://www.facebook.com/groups/oldimages/