Friday, April 23, 2021

ලංකාවේ පළමු පුවත්පත මුද්‍රණය කළ ලංකෝපාකාර යන්ත්‍රාලය

 

ලංකාවේ පළමු පුවත්පත මුද්රණය කළ ලංකෝපාකාර යන්ත්රාලය

ලංකාවේ සිංහල බසින් පළමුවරට ප්රකාශයට පත් කෙරුණු පුවත්පත වන්නේ ලංකාලෝකය පුවත්පතයි. ක්රි. ව. 1860 ආරම්භ කරන ලද එම පුවත් පතේ ප්රකාශකයා වූයේ ඩබ්ලිව්. ඒ. ඊට්න් නමැත්තකු බව කලුකොඳයාවේ ප්රඥාසේකර මහ නාහිමියන්ගේ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය කෘතියේ සඳහන්. 1860 ජූනි මාසයේ මුල්වරට ප්රකාශට පතත් කෙරුණු මෙම පුවත්පත ෆුල්ස්කැප් පිටුවක ප්රමාණයෙන් යුතු වූ බවද සඳහන්. මසකට දෙවරක් මුද්රණය වූ මෙම පුවත්පත ආර්ථික දුුෂ්කරතා හේතුවෙන් නවතා දැමුණු අතර 1886 යළි සතිපතා පුවත්පතක් ලෙස මුද්රණය කෙරුණු එය සෑම බදාදා දිනයකම නිකුත් කෙරුණා.
එහෙත් රාජ්ය ලේඛනාගාරයේ සඳහන් වන පරිදි ලංකාලෝකය පුවත්පතක් ලෙස ලියාපදිංචි කර නොතිබු බැවින් 1862 සැප්තැම්බර් මස එළිදක්වන ලද ලක්මිණිපහන පුවත්පත මෙරට ලියාපදිංචි පළමු සිංහල පුවත්පත ලෙස පිළිගැනෙනවා. මේ පුවත්පත් දෙකම ගාල්ල නගරය කේන්ද්රකර ගනිමින් බිහිවූ පුවත්පත්.
ලංකාලෝකය පුවත්පත දෙවැනිවර මුද්රණය කෙරුණේ ලංකෝපකාර යන්ත්රාලය නමැති මුද්රණාලයේ. ලංකාවේ ප්රථම සිංහල බෞද්ධ මුද්රණාලය ලෙස සැලකෙන එය ආරම්භ කිරීමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණේ බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස නාහිමියන් විසින්. එකල ක්රිස්තියානි ආගමිකයන් සහ බෞද්ධයන් අතර විවිධ වාද ඇතිවී තිබුණා. මේ කාලයේ පහසුකම් තිබුණේ ක්රිස්තියානි ආගමික පාර්ශවයන්ට පමණයි. එබැවින් ඔවුන් බෞද්ධාගමට එල්ල කරන විවේචනවලට පිළිතුරු දීමට ද, බෞද්ධයන් දැනුවත් කිරීමට ද ක්රමයක් තිබුණේ නැහැ.
බෞද්ධයන් සතුව මුද්රණාලයක් නොතිබි හෙයින් බෞද්ධාගමට එල්ලවුණු ප්රහාරවලට පිළිතුරු දීමට මඟක් නොතිබි බැවින් බෞද්ධයන් වෙනුවෙන් මුද්රණාලයක් පවත්වාගෙන යෑමේ අවශ්යතාව බුලත්ගම හිමියන්ට වැටහී තිබුණා. බෞද්ධයන් සඳහා මුද්රණාලයක් ආරම්භ කිරීම සඳහා උන්වහන්සේ දායකයන්ගෙන් සම්මාදම් මුදලක් එකතු කරන්නට පියවර ගත්තා. උන්වහන්සේ තමන් ආරම්භ කිරීමට අපේක්ෂිත මුද්රණාලය නම් කර තිබුණේ ලංකෝපකාර යන්ත්රාලය නමින්. සම්මාදම් මුදල එක් අයකුගෙන් පවුම් දහයක්. ඒ සඳහා පොරොන්දු පත්රයක්ද ලබා දීමට උන්වහන්සේ කටයුතු කළා. එහෙත් මුදල් දීමට පොරොන්දු දායකයන්ගෙන් දෙදෙනෙක් මුදල් දුන්නේ නැහැ. පස් දෙනෙක් ලබා දුන්නේ පවුම් 10ට වඩා අඩුවෙන්. ඉතිරි පසළොස් දෙනා පවුම් දහය බැගින් ලබා දුන්නා. මේ සියල්ලේ එකතුව වූයේ පවුම් 181ක්. එහෙත් එංගලන්තයෙන් මුද්රණ යන්ත්රයක් මිලදී ගැනීමට එම මුදල ප්රමාණවත් වූයේ නැහැ.
එකල සියම් දේශයේ (වත්මන් තායිලන්තයේ ) රජු වූ වරපරමේන්ද්ර මහමකුට සම්මත දේවවංශ වංගාතීස්වර (සිව්වැනි රාමා) රජතුමා බුලත්ගම හිමියන්ගේ මිතුරකු වුණා. උන්වහන්සේ තමන් මුහුණ පා සිටින ගැටලුව පිළිබඳව රජතුමාට දන්වා යැව්වා. උන්වහන්සේගේ අරමුණ පිළිබඳව බෙහෙවින් සතුටට පත් සියම් රජතුමා ලංකෝපකාර යන්ත්රාලය ආරම්භ කිරීම සඳහා අවශ්ය මුද්රණ යන්ත්රය ලබා ගැනීමට කුරුම් දහසක මුදලක් උන්වහන්සේට පරිත්යාග කළා. එය එකල ලංකාවේ භාවිත වූ එංගලන්ත මුදලින් පවුම් 212කුත් සිලිම් 10ක්. එම මුදලින් 1862දී එංගලන්තයෙන් කොළොම්බියන් නමැති මුද්රණ යන්ත්රය මිලදී ගැනීමට උන්වහන්සේට හැකි වුණා. මුද්රණාලය මුලින්ම පවත්වාගෙන ගියේ ගාල්ලේ කුඩා නිවෙසකයි. ඒ ගාල්ල කොටුවේ, චර්ච් වීදියේ අංක 02 දරන ස්ථානයේ. පසුව ගාල්ලේ දංගෙදර වීදියේ අංක 369 දරන ස්ථානයට ගෙන ගියා.
එවක සිංහල බෞද්ධ පොත්පත් මුද්රණය කිරීමට අන්යාගමික මුද්රණාල ඉදිරිපත් නොවූ බැවින් බෞද්ධ පොත්පත් බොහෝ විට අතින් ලියා බෙදාහැර තිබුණා. එහෙයින් ලංකෝපකාර මුද්රණාලය සුදර්ශන සඟරාව, ආගම් පරික්ෂාව, සුමති සංග්රහය, බද්දේගම වාදය, සිදත් සඟරාව වැනි සඟරා සහ පොත් එහි මුද්රණය කළා. එම මුද්රණාලයේ එකල මුද්රණය කළ පොත් හා සඟරා සංඛ්යාව 39,865ක් යැයි සඳහන්. ඒ හැර බෞද්ධාගම සම්බන්ධ ලේඛන දහස් ගණනක් සහ පුවත්පත්ද වනවා.
මෙම මුද්රණ යන්ත්රය 1912දී බුලත්ගම හිමියන් විසින් කතළුව, රුවන්වැල්ල පුරාණ මහා විහාරස්ථානයට රැගෙන ලැබුවා. පසු කාලීනව එම මුද්රණ යන්ත්රය භාවිත නොකළද එම විහාරස්ථානයේ එය සුරැකිව තිබුණා. 2012 නොවැම්බර් 19 වැනි ඇතිවූ ගින්නකින් එම යන්ත්රය හා එහි තිබූ ලීයෙන් තනන ලද පැරණි අකුරු සියල්ල ද විනාශ වුණා. ඓතිහාසික අගයකින් යුතු මෙම මුද්රණ යන්ත්රය විනාශ වී වසර 9ක් ගතවුවද එය ප්රතිසංස්කරණය කිරීමට කිසිදු බලධාරියකුගේ ඇස යොමු වූයේ නැහැ. පසුව වත්මන් විහාරාධිපති මාරකොල්ලියේ විමලජෝති හිමියන් මෙය ප්රතිසංස්කරණය කිරීමට වෙහෙස දැරුවා. එහෙත් ඒ සඳහා අවශ්ය බරපැන සහ පැරණි යන්ත්රය අලුත්වැඩියා කළ හැකි ශිල්ප ඥානය සොයා ගැනීමට අසීරු වුණා. පසුව උන්වහන්සේ තායිලන්ත තානාපතිවරයා හමුවී මුද්රණ යන්ත්රයට අත්ව ඇති ඉරණම පිළිබඳව කරුණු පැහැදිලි කිරිමෙන් පසු එය ප්රතිසංස්කරණය කිරිමට තායිලන්ත රජය ඉදිරිපත් වුණා. සම්පූර්ණයෙන්ම තායිලන්ත රජයේ වියදමින් එම යන්ත්රය ප්රතිසංස්කරණය කර වත්මන් තායිලන්ත තානාපතිනි චූලමනි චට්සුආන් මහත්මිය අතින් එය 2021 ජනවාරි මාසයේ විවෘත කෙරුණා. අනාගත පරපුරට අපේ මුද්රණ ඉතිහාසය පිළිබඳ සිහිවටනයක් ලෙස දැකගැනීමට දැන් එය විශේෂ කුටියක තැන්පත් කර තිබෙනවා.
ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා










No comments:

Post a Comment